වීර කැප්පෙටිපොල සමරුව අද

Spread the News
වීර කැප්පෙටිපොල සමරුව අද

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

SOURCE:

ඉංග්‍රීසින්ගෙන් ලාංකික ජාතියට එල්ලවූ තාඩන පීඩනවලට එරෙහිව අභීත සෙන්පතියෙකු ලෙසින් සිය දිවි පිදූ මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ 194 වැනි ගුණානුස්‌මරණය අදට (26 දාට) යෙදී ඇත.

1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුම් ප්‍රකාර කඩ කරමින් ජනතාව මත විවිධ බදු බර පටවමින් ජන ජීවිතයට බලපෑම් එල්ල කළ ඉංග්‍රීසීන්ට විරුද්ධව ජාතිය පෙළ ගැස්‌වූ මේ අභීත සෙන්පතියා රාජ්‍ය ද්‍රෝහියෙකු ලෙසින්ද හංවඩු ගැසූහ.

ඉංග්‍රීසීන්ගෙන් එල්ලවූ තාඩන පීඩනවලට එරෙහිව මුළු උඩරටම එක්‌ සේසත් කරමින් ක්‍රියාත්මක කැරැල්ලට අභීතව නායකත්වය දුන් සෙන්පති මොණරවිල කැප්පෙටිපොල දිසාව ඉංග්‍රීසීන්ගෙන් කදමලු ලබාගත් ඇතැමුන්ගේ කේලාම් නිසා අත්අඩංගුවට පත්විය.

නඩු විභාගයකින් පසුව 1818 නොවැම්බර් මස 26 වැනිදා බෝගම්බර වධකාගාරයේදී ජාතිය වෙනුවෙන්ම තම හිස වධකයාගේ කඩු පහරට නමන්ට තරම් මේ අභීත විරුවා නිර්භීත විය.

මේ අභීත විරුවාගේ 194 වැනි ගුණානුස්‌මරණය අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මොණරවිල කැප්පෙටිපොල ස්‌මාරකය අබියසදී පැවැත්වේ.

මේ අවස්‌ථාවට මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල යන මහත්වරුන්ද එක්‌වීමට නියමිතය. මේ සඳහා අභීත සෙන්පති මොණරවිල කැප්පෙටිපොල මහා දිසාවගේ මී මුණුපුරු මිණිපිරින්ද ඥතීන්ද එක්‌වීමට නියමිතය.

වීර කැප්පෙටිපොළ විරු සමරු උළෙලක්‌ අද (26) සවස 3.30 ට කොළඹ 7 විඡේරාම මාවත සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා විරු සමරු දේශනය පවත්වයි. කැප්පෙටිපොළ තරුණ ව්‍යාපාරය එම උළෙල මෙහෙයවයි.