වෘත්තීය පුහුණු අවස්ථා දෙගුණ කරන්න… සීතා අරඹේපොලගෙන් උපදෙ

Spread the News

සුජීව තත්සර – Divaina

seeta222මෙරට තරුණ තරුණියන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා ඔවුනට වෘත්තීය පුහුණුව ලැබීමේ වැඩි අවස්ථා උදා කිරීමටත්, පුහුණු අවස්ථා දෙගුණ කිරීමටත්, අවශ්‍ය පියවර ගන්නා ලෙස නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

පසුගියදා ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරිය වෘත්තීය පුහුණුව සඳහා අලූතින් පාඨමාලාවක් හඳුන්වාදී ඒ සඳහා සිසුන් එකසිය පනහක ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කි‍්‍රයා කරන ලෙස ද මෙහි දී උපදෙස් ලබා දුන්නාය. ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සතු කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයෙන් මේ වන විට මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය, ඉදිකිරීම්, පරිගණක ඉංජිනේරු හා අධිපීඩන තාක්ෂණ විෂයයන් ගණනාවක් හැදෑරිය හැකි අතර රොබෝ තාක්ෂණය පිළිබඳව පාඨමාලාවක් ද හඳුන්වා දී තිබේ.

කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ වත්මන් තත්ත්වය සහ එහි ප‍්‍රගතිය පිළිබඳව සොයා බැලූ ඇමැතිවරිය එහි ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරමින් කියා සිටියේ දැනට NVQ Level 5, 6 පාඨමාලා හදාරන සිසුන් 350 දෙනා අර්ධකාලීන පාඨමාලා හරහා 720 දක්වා වැඩි කිරීමට කටයුතු කළ යුතු බවයි. නව NVQ Level 4 පාඨමාලා හඳුන්වා දීමත් ICT විෂය වෙනුවෙන් සිසුන් 500 දක්වා වැඩිකිරීමටත් අර්ධකාලීන කෙටි පාඨමාලා සඳහා අවුරුද්දකට සිසුන් 860ක් දෙනා දක්වා වෙන්කිරීම පිළිබඳව තීරණය කෙරිණි. ආයතනයෙහි පවතින ගැටලූ පිළිබඳ සොයාබලමින් එහි ඇති අඩු පාඩු, මානව සම්පත දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී ඇමැතිවරියගේ විශේෂ අවධානය යොමුව ඇත.

මෙම අවස්ථාවට කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ සහ මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ පාලනාධිකාරිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.