Spread the News

වෙලේ සුදාගේ නංගී කුඩු සමග කොටුවෙයි
කල්ලියේ තවත් දෙදෙනෙක්‌ අත්අඩංගුවට
තිදෙනා 26 දා තෙක්‌ රඳවාගෙන ප්‍රශ්න කෙරේ

හේමන්ත රන්දුණු

මරණ දඬුවම නියමවී සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාගේ නැගණිය විසින් මෙහෙයවූ බව කියන හෙරොයින් කල්ලියක්‌ පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගත් බොරැල්ල පොලිසිය ඔවුන් සතුව තිබී හෙරොයිsන් තොගයක්‌ද සොයාගෙන ඇත.

සැකකරුවන් අතර වෙලේ සුදාගේ සොහොයුරිය ඇතුළු තිදෙනකු සිටින බව පොලිසිය පවසයි. මෙහිදී අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් විසිලක්‍ෂය ඉක්‌මවන බව පොලිසිය පවසයි.

බොරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රගති නිල්මිණි අබේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරම්කරුවකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (20 දා) පෙරවරු කාලයේදීය.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත තවත් ජාවාරම්කාරයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයක්‌ සහ හෙරොයින් ග්‍රෑම් 40 ක්‌ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම හෙරොයින් ජාවාරම කරගෙන යන්නේ වෙලේසුදාගේ නැගණිය විසින් බවයි.

ඒ අනුව පොලිසිය උපායක්‌ යොදවා වෙලේසුදාගේ සොහොයුරිය බේස්‌ලයින් මාර්ගයේදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක්‌ සොයාගත් බව පොලිසිය පැවසීය.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැති තම සොහොයුරා අත්අඩංගුවට පත්වීමෙන් පසු තමන් සැඟවී ජීවත් වෙමින් මෙම ජාවාරම කරගෙන ගිය බව සැකකාරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. සැකකරුවන් තිදෙනා ලබන 26 වැනිදා දක්‌වා රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඒ. පනාමල්දෙණිය යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බොරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රගති නිල්මිණි අබේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවූහ.