Spread the News

වෙසක්‌ සිරි නරඹන්න නොවේ
මෝදි ලංකාවට එන්නේ යමපාලන දන්සැලෙන්
බඩ පැලෙන්න කාලා ඉන්දියාවටත් රැගෙන යන්නයි
උදය ගම්මන්පිල

ජනතාව මේ ආණ්‌ඩුවට බලය දී තිබෙන්නේ වසර 5 කට පමණයි. එම නිසා වසර සිය ගණනකට ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දීමට මේ ආණ්‌ඩුව කටයුතු කරනවා නම් ඒ පිළිබඳව ජනමත විමසීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ගම්මන්පිල මහතා එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ ඊයේ (24 දා) පිවිතුරු හෙළ උරුමය පක්‌ෂ මුලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගම්මන්පිල මහතා මෙසේද? පැවැසීය

වෙසක්‌ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දීය අගමැති මෝදි එනවා කිව්වාම බොහෝ දෙනෙක්‌ හිතුවේ වෙසක්‌ සිරි නරඹන්න එනවා කියලා. ඇත්තෙන්ම එන්නේ වෙසක්‌ සිරි නරඹන්න නොවේ. යමපාලන දන්සැලෙන් බඩ පැලෙන්න කාලා ඉන්දියාවටත් කෑම අරගෙන යන්න. මේ දන්සැලේ තිබෙන්නේ දුම්තෙල් බත්, අයිස්‌ක්‍රීම්, කිරි කෝපි නොවේ. ත්‍රිකුණාමලය වරාය, තෙල් ටැංකි සහ එක්‌ටා. වෙස්‌සන්තර රඡ්ජුරුවෝ නම් පින් තකා දන් දුන්නේ තමන්ගේ ධනය. නමුත් මේ පාලකයන් ඉන්දියාවට දන් දෙන්න යන්නේ සොබා දහමෙන් මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුණු උරුමය.

ත්‍රිකුණාමලය කියන්නේ ලොව විශිෂ්ටතම ස්‌වාභාවික වරාය දහයෙන් එකක්‌ පමණක්‌ නොවේ. ආසියාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත්ම ස්‌වාභාවික වරාය. මේ වරාය අත්පත් කර ගන්න ඉතිහාසය පුරා ඉන්දියාව, පෘතුගාලය, ප්‍රංශය, නෙදර්ලන්තය, එංගලන්තය සහ ජපානය යුද වැදිලා තිබෙනවා. බ්‍රිතාන්‍ය 1948 දී ලංකාවට නිදහස දුන්නත් ත්‍රිකුණාමල වරාය ඔවුන් තියා ගත්තා. 1957 දී බණ්‌ඩාරනායක අගමැතිතුමා තමයි වරාය නැවත ලංකාවට අත්පත් කර ගත්තේ. එහෙව් වරායක්‌ ලෝක බලවතකු වීමට සිහින මවන ඉන්දියාවට භාර දීම නරියට කුකුළන් භාර දීමක්‌.

ඉන්දියාව කියන්නේ අපේ ඓතිහාසික හතුරා. මහ වංශයේ තිබෙන්නේ වසර 2,600 පුරා ඉන්දියාව විසින් ලංකාව ආක්‍රමණය කළ හැටිත් ලංකාව නිදහස පතා සටන් කළ හැටිත් දැක්‌වෙන කතාන්දරය. අගමැතිතුමාගේ මාමා ඉන්දියානු හමුදා උතුරට ගෙන්නා ගෙන මහ විනාශයක්‌ වුණා. දැන් ත්‍රිකුණාමල වරාය ලබා දීමෙන් ශ්‍රී ලංකාව සදහටම ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ වීම නවත්වන්න බෑ. ත්‍රිකුණාමල තෙල් ටැංකිවලින් පටන්ගෙන මේ ගමන ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ වීම දක්‌වා ගමන් කිරීම නම් නතර කරන්න බැරිවෙනාවා කියන අනතුරු ඇඟවීම අපි කරනවා.

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඉතාම දූරදර්ශී යෝජනාවක්‌ ගෙනැවිත් තිබෙනවා. ලංකාවට ඛණිජතෙල් රැස්‌ කර තබා ගන්න පුළුවන් සති දෙකකට පමණයි. එය ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌. ඒ නිසා මෙම ටැංකි ලංකාවට අවශ්‍ය ඛණිජතෙල්

රැස්‌කර තබා ගන්න පාවිච්චි කරමු කියලා. එතුමා මේ යෝජනාව ප්‍රසිද්ධියේ පැවසීමෙන් පේන්නේ අවම වශයෙන් තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම ඇමැති මණ්‌ඩලයේදී වත් සාකච්ඡා කරලා නැති බවයි. අගමැතිතුමන් තනිමතයට හිතුවක්‌කාරව මේ තීන්දු ගන්න බව තමයි සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්ගේ මේ ප්‍රකාෂයෙන් පේන්නේ.

මේ ආණ්‌ඩුව රට කෑලි කඩලා විකුණන්නේ දේපළ වෙන්දේසිකරුවන් වගේ. උතුර කොටියට. නැඟෙනහිර ඉන්දියාවට. දකුණ චීනයට. බස්‌නාහිර ඇමරිකාවට. මෙහෙම ගියොත් අපේ දරුවන්ට මොනවාද ඉතුරු වෙන්නේ? එදා ගැමුණු කුමාරයා යන්තම් වකුටුවෙලා නිදා ගත්තේ. අපේ දරුවන්ට නිදා ගන්න වෙන්නේ හැකරැල්ලෙක්‌ වගේ වකුටු වෙලා.