Spread the News

ambandanයුද අපරාධ හා මානව හිමිකම් කඩ කළ බවට චෝදනා එල්ල වී ඇති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කඩිනමින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ චෝදනාවන් එල්ලවී ඇති බවත් එසේ චෝදනා එල්ල වී තිබියදී ඔහු යුද හමුදාපති ධුරය සඳහා පත් කිරීමට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සංවිධාන සහ ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක්‌ ද සිය විරෝධය හා අප්‍රසාදය පළ කරනු ලැබූ බවත් ආර්.සම්බන්ධන් මහතා සඳහන් කළේය.

මහේෂ් සේනානායක මහතාගේ විශ්‍රාම යැමෙන් පසුව නව යුද හමුදාපතිවරයා වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම පිළිබඳ අදහස්‌ දක්‌වමින් ඊයේ (23 දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක්‌ ලබා දෙමින් ආර්. සම්බන්ධන් මහතා මෙම අදහස්‌ ප්‍රකාශ කර සිටියේය.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුකළ බවට චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුන් වරදකරුවන් ද නිවැරදිකරුවන් ද යන්න සනාථ කරගනිමින් වරදකරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් පැනවිය යුතු බවත් එසේ සිදුකළ යුතුව තිබියදී යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සිදුකළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට යුද හමුදාවේ ඉහළම පදවිය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

චෝදනා එල්ල වී ඇති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි පුද්ගලයකුට ලබාදී ඇති යුද හමුදාපතිධුරය අත්හිටුවා රජය ඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බවත් කියා සිටි ඒ මහතා ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කළ යුතු බවත් ඉන් ඔහු වරදකරුවකු වෙනවා නම් දඬුවම් කළ යුතුව ඇති බවත් එසේ නොවේ නම් යුද හමුදාපතිධුරය සඳහා පත්කළ හැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.