ශ්‍රීලනිප නායකත්වය මා අතට පත්වීම රජයේ ස්‌ථාවරත්වයට අත්‍යවශ්‍ය හේතුවක්‌

Spread the News

ශ්‍රීලනිප නායකත්වය මා අතට පත්වීම
රජයේ ස්‌ථාවරත්වයට අත්‍යවශ්‍ය හේතුවක්‌
ජනපති රාජ්‍ය මාධ්‍ය සාකච්ඡාවකදී පවසයි

තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකත්වයට පත්වීම රජයේ ස්‌ථාවරත්වයට අත්‍යවශ්‍යයෙන් හේතු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (30 දා) රාත්‍රී රාජ්‍ය මාධ්‍ය ඔස්‌සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවැසීය.

දින 100 වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය රජයට ලැබිය යුතු බවත් එය රජයට ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයේ සහයෝගය රජයට ලැබුණහොත් පමණක්‌ බවත් මැනවින් වටහාගත් තමා ශ්‍රීලනිප නායකත්වයට පත් වූ බවද ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා හිටපු ජනාධිපති සහ හිටපු ශ්‍රීලනිප සභාපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඉතා කෙටි එහෙත් සෘජු සාකච්ඡාවක්‌ කළ බවත් එහිදී පක්‍ෂ සභාපතිත්වය තමා වෙත පිරිනැමීමට මහින්ද රාජපක්‍ෂ මහත් එකඟ වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එසේම තමන් කැමති නිලධාරි මණ්‌ඩලයක්‌ සමග පක්‍ෂයේ කටයුතු කරගෙන යන බව රාජපක්‍ෂ මහතාට දන්වා සිටි බවද ජනාධිපතිවරයා විශේෂයෙන් අවධාරණය කළේය.

ජනවාරි 9 වැනි සිකුරාදා පස්‌වරු 6.30 ට ජ්‍යෙෂ්ඨ විනිසුරු ශ්‍රී පවන් මහතා ඉදිරියේ තමන් අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් ඊළඟ එළැඹෙන 16 වැනි සිකුරාදා දින පස්‌වරු 6.30 ට පදනම් ආයතනයේදී තමා ශ්‍රීලනිප සභාපති ධුරයට පත්වීමත්, ජනවාරි 30 වැනි සිකුරාදා පස්‌වරු 6.30 ට ජ්‍යෙෂ්ඨ විනිසුරු ශ්‍රී පවන් මහතා තමන් ඉදිරියේ අභිනව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දීමත් දෛවය හෝ ඉරණම හෝ නිසා සිදු වූවක්‌ නොව දේශපාලන ක්‍රියාවලියක අදියරක්‌ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇගේ ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූලව සිදුනොවූවක්‌ බව සඳහන් කළ ජනාධිපතිවරයා දැන් මේ වන විට ශේ්‍රෂ්ඨාධිකරණය නිසි පරිදි පිහිටුවා තිබෙන බව සඳහන් කළේය.

දූෂිතයන්, රාජ්‍ය දේපළ ගසා කෑ පුද්ගලයන්, නීතිය කඩා බිඳ දැමූවන් හට කිසිදු සමාවක්‌ අත්නොවන බවත් තරාතිරම, උස්‌ පහත් බේද, දේශපාලන බේද නොසලකා සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා මෙම “මෛත්‍රී පිළිසඳර” වැඩසටහනේදී වැඩිදුරටත් අවධාරණය කළේය.