ශ්‍රී ලංකාවට එරෙහිව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වෙනවා

Spread the News

ශ්‍රී ලංකාවට එරෙහිව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්‌
ක්‍රියාත්මක වෙනවා

පියසිරි විඡේනායක

2011/04/11

source link:


ශ්‍රී ලංකාවට එරෙහිව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්‌ මේ වන විට ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඉරාකයට එරෙහිව පත් කළ අන්දමේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව නුදුරේදීම පත් කිරීමට මෙම කුමන්ත්‍රණකරුවන් කටයුතු කරනු ඇති බවත් ජාතික නිදහස්‌ පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික හිටපු සංස්‌කෘතික අමාත්‍ය පියසිරි විඡේනායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10 දා) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ පියසිරි විඡේනායක මහතා මෙසේද පැවැසීය.

“ඇමරිකා එක්‌සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේනත්=වට අයත් එහි මානව හිමිකම් කාර්යාංශය විසින් වාර්ෂිකව ලොව එක්‌ එක්‌ රටවල මානව හිමිකම් පිළිබඳ වාර්තාවක්‌ ඉදිරිපත් කරනවා. ඒ අනුව 2010 වසරට අදාළව ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව ඔවුන් පසුගිය 8 වැනිදා නිකුත් කරනු ලැබුවා. මෙය එක්‌සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළත්, ලියනු ලබන්නේ අදාළ රටේ ඇමරිකා එක්‌සත් ජනපද තානාපතිවරයා හෝ වරිය විසිනුයි. එය ස්‌වාධීන මූලාශ්‍ර උපයෝගී කොට ගෙන සකස්‌ කරනු ලබන බව පැවසුවත් එහි සඳහන් වන්නේ ඇමරිකා එක්‌සත් ජනපදය එකී රට පිළිබඳව දරනු ලබන අදහසයි.

මෙවර ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති මානව හිමිකම් වාර්තාව මගින් බොහෝ බරපතළ චෝදනා එල්ල කොට තිබෙනවා. රාජ්‍ය නායකයා ඔහුගේ සහෝදරයන් දෙදෙනකු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කොට පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගන්නා අන්දමේ පාලනයක්‌ ගෙන යන බවට වාර්තා වන බව එහි සඳහන්. මේක අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු බවට පත් වූ ඔවුන්ගේ දේශීය නියෝජිතයන් විසින් දිගු කලක්‌ තිස්‌සේ ආණ්‌ඩුවට විරුද්ධව එල්ල කරනු ලබන ජනතාව ඉදිරියේ පුස්‌සක්‌ වී ඇති “සහෝදර සමාගම්” චෝදනාවයි.

ඒ වගේම ශ්‍රී ලංකා රජය විසින් පත්කොට ඇති උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවටත් එහි සඳහන්. එසේම උතුර නැගෙනහිර අවතැන් වූවන් නිසි පරිදි යළි පදිංචිකර නැති බවටද එහි චෝදනා මුඛයෙන් කරුණු ඇතුළත් කොට තිබෙනවා. සරත් ෆොන්සේකා පිළිබඳවත් මාධ්‍යවේදීන් අතුරුදන් වීම පිළිබඳවත් කරුණු එහි ඇතුළත්. සමස්‌තයක්‌ විදියට ගත්තාම මේ මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ පත් කළ යුතු තත්ත්වයක්‌ පැන නැඟී ඇති බව පෙන්වා දෙන වාර්තාවක්‌. එදා ඉරාකයේ රසායනික අවි ඇති බවට බොරු චෝදනා ඉදිරිපත් කරමින් එම රටට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ යෙදවීම සඳහා ඇමරිකා එක්‌සත් ජනපදය කටයුතු කළේ මෙවැනි මාර්ග සිතියමකට, කලින් සකස්‌ කළ තිර පිටපතකට අනුවයි.

ඒ වගේම ඇමරිකා එක්‌සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව භාර සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ ඕ. බ්ලේක්‌ විසින් පසුගියදා දෙමළ ඩයස්‌පෝරාව හමුවේ පවසා තිබුණේත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම මගින් කිසිදු සහනයක්‌ දෙමළ ජනතාවට නොලැබෙන බවයි.

ඒ විතරක්‌ නොවෙයි. ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුව ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව තමන්ට උපදෙස්‌ දීමට එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මූන් විසින් පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශය මැයි මාසයේ දී නිකුත් වෙනවා. ඒ නිර්දේශය වෙන කිසිවක්‌ නොවෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව වහාම එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ පත් කළ යුතුය යන්නයි.

අපි මේ අධිරාජ්‍යවාදී බලයට යටත් නොවී හිස නමන්නේ නැතිව එය පැරදවීමට කටයුතු කරමු.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් මුසම්මිල් මහතා ද එක්‌ විය.