Spread the News

ශ්‍රී ලංකාවේ හැටපස්‌වැනි අභිමානය

source:

ලොව දරුණුතම ත්‍රස්‌තවාදී ගරිල්ලා සංවිධානය ලෙස ලොව අන් රටවල් විසින් හැඳින්වූ එල්. ටී. ටී. ඊ. ය සහමුලින්ම විනාශ කර ඓතිහාසික යුද විජයග්‍රහණයක්‌ හිමිකරගත් ශ්‍රී ලංකා යුද හමුදාව සිය 65 වැනි සංවත්සරය අද (10 දා) මහත් අභිමානයෙන් සමරයි.

පිරිස්‌ බලයෙන් කුඩා වුවත් ලොව විශාලතම සහ බලවත්ම යුද හමුදා අතර සංග්‍රාමීය හැකියාවෙන් ඉදිරියෙන් සිsටින පාබල හමුදාවක්‌ ලෙස අන් රටවල් පවා පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වී සිටින ශ්‍රී ලංකා යුද හමුදාව 1949.10.10 දින ආරම්භ විය.

වසර 65 ක අතීතයෙන් වසර 30 ක්‌ම දරුණු යුද්ධයක නිරතව සිටි ශ්‍රී ලංකා යුද හමුදාව මේ වනවිට ප්‍රායෝගික යුද අත්දැකීම් රැසකින් හෙබි වෘත්තීයමය හමුදාවක්‌ බවට පත්වි ඇත. ආරම්භයේ පටන් 1971 ජවිපෙ සන්නද්ධ කැරැල්ල පටන් ගන්නා තෙක්‌ උත්සව හා සංදර්ශන හමුදාවක්‌ ලෙස පැවැති අප යුද හමුදාව යුද හමුදාපතිවරුන් 20 දෙනකුගේ අණදීම යටතේ පැවැතිණි.

ඔවුන් පිළිවෙළින් මෙසේය.

බ්‍රිගේඩියර් කෙතන්ස්‌ (1949 – 1952), බ්‍රිගේඩියර් ප්‍රැන්සිස්‌ (1952 – 1955), මේජර් ජෙනරල් ඇන්ටන් මුතුකුමාරණ (1955 – 1959), මේජර් ජෙනරල් එච්. ඩබ්. පී. විඡේකෝන් (1959 – 1963), මේජර් ජෙනරල් රිචඩ් උඩුගම (1964 – 1966), මේජර් ජෙනරල් බී. ආර්. හයින් (1966 – 1967), ලුතිනන් ජෙනරල් සේපාල ආටිගල (1967-1977), ලුතිනන් ජෙනරල් ඩෙනිස්‌ පෙරේරා (1977- 1981), ලුතිනන් ජෙනරල් තිස්‌ස වීරතුංග (1981-1985), ලුතිනන් ජෙනරල් නලින් සෙනවිරත්න (1985-1988), ලුතිනන් ජෙනරල් හැමිල්ටන් වනසිංහ (1988-1991), ලුතිනන් ජෙනරල් සිසිල් වෛද්‍යරත්න (1991-1993), ලුතිනන් ජෙනරල් ජෙරී සිල්වා (1993-1996), ලුතිනන් ජෙනරල් රොහාන් දලුවත්ත (1996-1998), ලුතිනන් ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය (1998-2000), ලුතිනන් ජෙනරල් ලයනල් බලගල්ල (2000-2004), ලුතිනන් ජෙනරල් ශාන්ත කෝaට්‌ටේගොඩ (1004-2005), ලුතිනන් ජෙනරල් සරත් ෙµdන්සේකා (2005-2009), ලුතිනන් ජෙනරල් ජගත් ජයසූරිය (2009 -2013), ලුතිනන් ජෙනරල් දයා රත්නායක (2013 මේ දක්‌වා)

ඓතිහාසික සාක්‌ෂිවලට අනුව විවිධ වකවානුවල පැවැති ආක්‍රමණවලදී ආක්‍රමණිකයන් හා සටන් වැද දේශය බේරාගත් වීරෝදාර හමුදාවක්‌ සිටි අප ශ්‍රී ලංකාවේ යුද හමුදාවක්‌ නිල වශයෙන් ආරම්භ වූයේ 1949 ඔක්‌තෝබර් 10 වැනි දිනදී වුවත් නිල නොලත් දීර්ඝ ඉතිහාසයකට අප හිමිකම් කියයි. බ්‍රිතාන්‍ය මහ රැජනගේ නියෝගයක්‌ මත පළමු වරට 1881 අප්‍රේල් මස 01 වැනිදා සිලෝන් වොලන්ටියර්ස්‌ නම් ස්‌වෙච්ඡා බලසේනාව ආරම්භ වූ අතර එහි විවිධ ජාතීන්ට අයත් භටයන් 677 දෙනකු වූහ. එහි අශ්වාරෝහක, කාලතුවක්‌කු, ගිලන් මැසි, ඉංජිනේරු හා තූර්යවාදක යන ඒකක තිබූ අතර ලුතිනන් කර්නල් ජෝන් ස්‌කොට්‌ ආම්ටේඡ් මුල්ම අණදෙන නිලධාරියා විය. මෙම හමුදාව පළමු ලෝක යුද සංග්‍රාමයේදී හා එම වකවානුවේම පැවැති දකුණු අප්‍රිකානු බ්රොෂර් යුද්ධයට ද සම්බන්ධ වූහ.

1948 ලද නිදහසින් පසු විදේශීය සම්ප්‍රදායන්ට අනුකූලව හැඩගැසුණු, ස්‌වෙච්ඡා හමුදාව 1949 ඔක්‌තෝබර් 10 වැනිදා. 1949 අංක 17 දරන යුද හමුදා පනතින් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය යුද්ද හමුදාව බවට පත්විය. එතෙක්‌ zසිලෝන් සෙරමෝනියල් ආමිZ යනුවෙන් හැඳින්වූ මෙම හමුදාව 1953 හර්තාලය මැඬපවත්වමින් ද 1954 බ්‍රිතාන්‍ය මහරැජන පැමිණි අවස්‌ථාවේදී එම රාජකීය උත්සවය උත්කර්ෂවත් කරමින්ද පරිපූර්ණ හමුදාවක

පෙරනිමිති සඵල කරමින් දිගු ගමනක්‌ ඇරඹීය.

මේ වනවිට යුද හමුදාව රෙජිමේන්තු 25 කින් සමන්විත වන අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, කාලතුවක්‌කු හමුදාව, ඉංජිනේරු බළකාය, සංඥා බළකාය, පාබල හමුදාව, සිංහ ගැමුණු හේවා බළකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය, සන්නද්ධ බුද්ධි බළකාය, ඉංජිනේරු සේවා බළකාය, සේවා බළකාය. වෛද්‍ය බළකාය, යුධෝපකරණ බළකාය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය. පොලිස්‌ සේවා බළකාය, පොදු සේවා බළකාය, කාන්තා බළකාය, රයිµල් බළකාය, ජාතික ආරක්‌ෂක බලමුළුව, පුරෝගාමී බළකාය. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ජනාධිපති ආරක්‌ෂක ඒකකය ඊට අයත් වේ.

යුද හමුදාවන්ට වඩාත් වෘත්තීමය, රාජකාරියට ආවේණික පුහුණු පාඨමාලා පිරිනමන යුද හමුදා පාසල් අතර, 1968 දී ස්‌ථාපනය කරන ලද දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට ඉන් ඉටුකරනු ලැබූ විශිෂ්ට සේවාව අගයමින් 1972 ඔක්‌තෝබර් මස 14 දින ජනාධිපති වර්ණ ප්‍රදානය කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවට නිලධාරීන් බිහිකරන මෙම විද්‍යා පීඨය 2003 වසරේ සිට උපාධි පිරිනමන විද්‍යා පීඨයක්‌ දක්‌වා උසස්‌ කර ඇත. සෙසු ප්‍රධාන පුහුණු පාසල් අතර, දියතලාව යුද හමුදා ස්‌වෙච්ඡා පුහුණු පාසල, 1984 දී බිහිකළ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්‌ථානය 1985 දී මාදුරුඔය ස්‌ථාපනය කළ යුද හමුදා පුහුණු පාසල, අම්පාර පිහිටි සටන් පුහුණු පාසල, කලාඔය පිහිටි කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසල, 1997 දී සපුගස්‌කන්දේ ස්‌ථාපනය කරන ලද යුද හමුදා අණ හා මාණ්‌ඩලික විද්‍යාලය, කුකුළේගඟ සාම සාධක රාජකාරී පුහුණු පාසල හා කොත්මලේ පිහිටි භාෂා පුහුණු පාසලත්, විශිෂ්ට යුද හමුදා පාසල් ගණයට ඇතුළත් වේ. මින් යුද හමුදා අණ හා මාණ්‌ඩලික විද්‍යාලය 2007 වසරේදී ආරක්‌ෂක සේවා අණ සහ මාණ්‌ඩලික විද්‍යාලය බවට උසස්‌ කර රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඉන් ඉඳුරාම පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. කොත්මලේ භාෂා පුහුණු පාසල ද ඒකාබද්ධ විද්‍යාලයක්‌ බවට පත්කර ආරක්‌ෂක අමාත්‍යාංශය යටතට පත්කර ඇත. මීට අමතරව සෑම රෙජිමේන්තුවකම ඒ ඒ රෙජිමේන්තුවලට ආවේණික පුහුණු පාසල් පිහිටුවා ඇත.

වසර 65 ක ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ වරින් වර ඇතිවුණු යුදමය තත්ත්වයන් හමුවේ රටේ භෞමික අඛණ්‌ඩතාවත්. ස්‌වෛරීභාවයත් එක ලෙස පවත්වාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්වීම සනිටුහන් කරනුයේ 1956 හර්තාල් ව්‍යාපාරය, 1959 ජාතිවාදී කෝලාහලය, 1971 දකුණේ ත්‍රස්‌තවාදය, 1988 – 1989 දකුණේ ත්‍රස්‌තවාදය, 1983 – 2009 උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදය සාර්ථකව මැඬපවත්වා දේශය එක්‌සේසත් කිරීමට ශ්‍රී ලංකා හමුදාවන් සමත් විය. දශක තුනක ත්‍රස්‌තවාදය තුරන් කිරීමේ ක්‍රියාන්විතයන් ලෙස වන්නි මානුෂීය මෙහෙයුම, සත්ජය, රිවිරැස, අග්නි, කිණිහිර වැනි නැගෙනහිර හා වන්නි මානුෂීය මෙහෙයුම්වලින් ත්‍රස්‌තවාදය සහමුලින්ම විනාශ කර මුළු ශ්‍රී ලංකාවම එක්‌සත් කරන්නට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි විය.

හසළ අත්දැකීමෙන්, නිසි පුහුණුවෙන්, විනයෙන්, කැපවීමෙන් හා පිරිපුන් නැණ නුවණ ඇසුරෙන් වසර 30 ක්‌ පුරා පැවැති ම්ලේච්ඡ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය සහමුලින්ම මුලිනුපුටා දමන්නට ශ්‍රී ලංකා යුද හමුදාවෝ සමත් වූහ. මෙම ඓතිහාසික මානුෂීය මෙහෙයුම්, මනුෂ්‍යත්වයේ නාමයෙන් අනේකවිධ රාජකාරීන් ඉටුකරන්නට ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුවූ අතර, ඉන් ප්‍රධානම තැනක්‌ ගනු ලබන්නේ ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදාගත් ලක්‍ෂ සංඛ්‍යාත වූ සිවිල් ජනතාවගේ කුස්‌ පුරවන්නටත්, රෝගීන්ගේ මාරාන්තික තුවාල සුවකරන්නටත්, ත්‍රස්‌තයන් විසින් බිලිගනු ලැබූ දෙමවුපියන්ගෙන් තනිවූ දරුවන්ගේ අසරණ බව දුරුකර මනස යළි සංතෘප්ත කරන්නටත් ශ්‍රී ලංකා යුද හමුදාව ගත් පියවරයන්ය. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක්‌ ඇති නොකර ලක්‍ෂ තුනකට අධික ජනතාවක්‌ ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදාගත් අතර. ඉන් අනතුරුව ඔවුන්ට වාසස්‌ථාන, ආහාර සපයාදීම, පදිංචි වීම සඳහා අවශ්‍ය බිම්වල බිම් බෝම්බ ඉවත් කර නැවත පදිංචිය සාර්ථකව ඉටුකරන ලදී.

ලොව ත්‍රස්‌තවාදය නැති කිරීම පිළිබඳව, කැරලි කෝලාහල මැඬලීම පිළිබඳව , ජාත්‍යන්තර සොර සතුරන් හා මංකොල්ලකරුවන් මර්දනය කිරීම පිළිබඳව උපදෙස්‌ හා පුහුණුව නිසා ශ්‍රී ලංකා හමුදාව කෙරේ නැඹුරුවීමක්‌ ජාත්‍යන්තරයේ මේ වන විට සිදුවෙමින් පවතී. ඒ අනුව යුද්ධ හමුදාව මෙම විෂයට අදාළ විදෙස්‌ සම්මන්ත්‍රණ පවත්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දැනුම සහ අත්දැකීම් ලෝකයේ වෙනත් රට රාජ්‍යයන්ට ලබාදෙයි. එමෙන්ම ජාත්‍යන්තරික වශයෙන් දේශීය මිත්‍රත්ව ප්‍රතිරූපය ගොඩනඟා ගන්නටත් අද ශ්‍රී ලංකා යුද හමුදාවෝ සමත්ව සිටිති.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි