Spread the News

ශ්‍රී ලංකාව බෙදන්න කට ඇරියොත් නඩු
සුබ්‍රමනියම් ස්‌වාමි, කරුණානිධිට කියයි

source:

කීර්ති වර්ණකුලසූරිය

තමිල්නාඩුවේදී අද පැවැත්වෙන ඊළාම් සමුළුවේදී ශ්‍රී ලංකාව දෙකඩ කර වෙනම රටක්‌ ඇති කළ යුතු යෑයි ප්‍රකාශ වුවහොත් ඊට එරෙහිව හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිට නඩු පවරන බව ඉන්දීය ජනතා පක්‍ෂයේ නායක සුබ්‍රමනියම් ස්‌වාමි ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය අමතමිනි. රටවල් බෙදිය යුතු යෑයි කීමට කරුණානිධිට අයිතියක්‌ නෑ. ඔහු පමණක්‌ නොවෙයි මෙම ඊළාම් සමුළුවට සහභාගි වන අනිත් දේශපාලනඥයන් ද “ඊළාම් හඬ” නැගුවොත් අප අධිකරණය හමුවට යනවා යෑයි ඔහු කීවේය.

මාධ්‍ය මගින් නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ සුබ්‍රමනියම් ස්‌වාමි තමිල්නාඩුවේ ඇතැම් දේශපාලකයන්ට කොටි ඩයස්‌පෝරාව විසින් අරමුදල් සපයන බවද කීවේය.

මේ අරමුදල් ලබන පිරිස්‌ වෙත ජනතා සහායක්‌ නැහැ. ඔවුන් සුළු පක්‍ෂ නියෝජනය කරන අය යෑයි ද හෙතෙම කීවේය.

තමිල්නාඩු සමහර චිත්‍රපටකරුවන්ටත් කොටි ඩයස්‌පෝරාවේ මුදල් ලැබෙනවා යෑයි ඒ මහතා සඳහන් කළේය. හිටපු මහ ඇමැති කරුණානිධි ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීම ගැන හඬ නැගුවා. එහෙත් මම ඔහුට අනතුරු ඇඟවීමෙන් පසු “ඊළාම් සමුළුව” සාමකාමී සමුළුවක්‌ ලෙස පැවැත්වීමට ඔහු කටයුතු කර තිබෙනවා යෑයි සුබ්‍රමනියම් ස්‌වාමි තවදුරටත් සඳහන් කළේය. සුබ්‍රමනියම් ස්‌වාමි ඊයේ (10 දා) ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දා හමු වී සාකච්ඡා පවත්වා ඇත. මේ අතර ඊළාම් සමුළුවට තමා සහභාගි වන්නේ නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් විසින් කරුණානිධිට දන්වා තිබේ. පසුගිය බ්‍රහස්‌පතින්දා සිය පක්‍ෂය විසින් එම තීරණය ගත් බව කීවේය.