Spread the News

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව “ප්‍රියම්වතා”

* ලන්ඩනය ගිනි ගනිද්දී චැනල් ෆො වීඪියෝ පටය ගැන දේශනයක්‌ පැවැත්වීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර ප්‍රධානියා බ්‍රිතාන්‍යයට යයි

* ගුවන් හමුදාව බෝම්බ දමා සිවිල් වැසියන් 3000 ක්‌ මියගිය බව දුටුවේ යෑයි කියන බොරු සාක්‌කිකාරියක්‌ වන්නියේ

* සංචාරකයකු ලෙස මෙරට පැමිණි ඉන්දීය හෙඩ්ලයින්ස්‌ ටුඩේ රූපවාහිනියේ “ප්‍රියම්වතා” ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව හිටපු කොටින්ගෙන් තොරතුරු විමසලා

* බ්‍රිතාන්‍යය ගිනි ගනිද්දී ලන්ඩනයේ එමානුවෙල් පියනම ශ්‍රී ලංකාවේ යළි ගිනි ඇවිලවීමට උත්සාහ කරයි

* කොළඹ සිටි කොටි හිතවාදී ද්‍රවිඩ වාර්තාකරු යුද හමුදාවට එරෙහි මුලතිව් සගා නමින් චිත්‍රපටයක්‌ නිර්මාණය කරයි

මෙහෙයුම – මම සමූල ඝාතනය දුටුවෙමි (I witnessed Genocide)

අනුග්‍රහය – බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය

සම අනුග්‍රහය – ශ්‍රී කූගන්ගේ ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය

දියත් කිරීම – ප්‍රියම්වතා (ඉන්දීය හෙඩ්ලයින්ස්‌ ටුඩේ රූපවාහිනියේ වාර්තාකාරිනිය

ලන්ඩන් ඇතුළු නගර රැසක්‌ කලහකාරීන්ගේ ගිනි තැබීම්වලට ලක්‌වද්දී බ්‍රිතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම ශ්‍රී ලංකාවේ ද එවන් තත්ත්වයක්‌ ඇති කිරීමට ස්‌ටර්ලින් පවුම් මිලියන ගණනක්‌ වැය කර ඇත. ඒ සඳහා ඔහු ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව නවදිල්ලියේ හෙඩ්ලයින්ස්‌ ටුඩේ නමැති රූපවාහිනි සේවාව වෙත යොමුවී තිබේ. පසුගිය අඟහරුවාදා (9 දා) රාත්‍රි 7.30 ට සහ 9.30 ට මේ ඉන්දීය රූපවාහිනි සේවාව “මම සමූල ඝාතනය දුටුවෙමි” මැයෙන් වාර්තාමය වීඩියෝ පටයක්‌ විකාශනය කරනු ලැබීය.

මේ සාවද්‍ය වීඩියෝ පටය නිර්මාණය කර ඇත්තේ එකී රූපවාහිනියේ වාර්තාකාරිනියක්‌ යෑයි හඳුන්වන ප්‍රියම්වතා නමැත්තියයි. ඉන්දීය සංචාරකයකු ලෙස මෙරටට පැමිණි ප්‍රියම්වතා වන්නියට ගියේ රහසිගතවය. (Undercover) එලෙස ගියේ යතුරුපැදියක යෑයි ඇය කියයි.

මෙයට සති දෙකකට පෙර නෙදර්ලන්ත ගුවන්විදුලියේ දෙදෙනෙක්‌ ද සංචාරකයන් ලෙස යාපනයට හා මඩකලපුවට පැමිණ කොටි හිතවාදීන් හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය. ප්‍රියම්වතාගේ මෙහෙයුම ද එයයි.

ඇය වන්නියට ගොස්‌ හමුවූයේ කොටි බුද්ධි අංශයේ සහ සිවිල් බළකායේ සේවය කළ හිටපු ත්‍රස්‌තයන්ය. මේ එක්‌ ත්‍රස්‌තයකු වූයේ මුරුගන් නමැත්තායි. කොටි සාමාජිකයන්ව කඳවුරුවල රඳවා තැබූ බවත් එම කඳවුරුවලට පැමිණි හමුදා නිලධාරී දෙදෙනකුට කොටි යක්‍ෂයන් ලෙස පෙනුණ බවත් මුරුගන් නමැත්තා මෙහිදී පවසා ඇත.

ප්‍රියම්වතා ඊළඟට හමුවූයේ සුන්දරී නමැත්තියයි. තරුණියන්ට සෙබළුන් අතවර කළ බව සුන්දරී කියා සිටියාය. ඇගෙන් පසු ප්‍රියම්වතා තොරතුරු විමසා ඇත්තේ ෂිවා නමැත්තාගෙනි. ශ්‍රී ලංකා හමුදාව අපේ ඉඩම් පැහැරගත්තා. වන්නි මෙහෙයුමේ අවසාන සටනට මා සම්බන්ධ වුණා යෑයි ඔහු පළ කළේය.

“මම මේ පිරිස සමග රහසිගත ස්‌ථානවලදී සාකච්ඡා කළා” යෑයි ප්‍රියම්වතා පළ කළාය. ඊළඟට ප්‍රියම්වතා සාකච්ඡා කළේ රෝසි නමැත්තිය සමගය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ දමා 3000 ක්‌ මියයන අයුරු තමා දුටු බව රෝසි පැවසුවාය. (I saw 3000 people die before my eyes)

මේ ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ ගුවන් හමුදා බෝම්බවලින් 3000 ක්‌ මියගිය බවට ඇය ගණන් කර ඇති බවය.

මේ ඉන්දීය රූපවාහිනි සේවාවේ වාර්තාකාරිය වූ ප්‍රියම්වතාට ලවන්යා නමැති තරුණියක්‌ ද හමුවී ඇත. “යුද හමුදාව වල්ලිපුනා ප්‍රදේශයට බෝම්බ දැමුවා. ඔවුන් රසායනික බෝම්බ භාවිත කළා”යෑයි ලවන්යා නමැත්තිය සඳහන් කර ඇත.

ඊට සමගාමීව “දේවි” නමැත්තිය පැවසුවේ පොස්‌පරස්‌ බෝම්බවලින් ප්‍රහාර එල්ල වූ බවයි.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ගුවන් හමුදාව රසායනික බෝම්බ එල්ල කළ බවට සිවිල් වැසියන් හඳුනා ගන්නේ කෙසේද යන්නයි

ප්‍රියම්වතා නමැති මේ ඉන්දීය වාර්තාකාරිය වන්නියේ රහසිගත ස්‌ථානවලදී මෙම සාකච්ඡා පැවැත්වූ බව කීවත් ඇය යාපනය මාර්ගයේ සිටින අයුරු එකී විඩියෝ පටයේ දිස්‌වේ.

එසේම ඇය සාකච්ඡා කර ඇති සියලු දෙනාම කොටි සිවිල් බළකායට සම්බන්ධව සිටි පිරිස්‌ බව සනාථ වේ. සංචාරයේ යෙදෙන ඉන්දීය කාන්තාවක්‌ ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණ වන්නියට ගොස්‌ නිදහස්‌ වූ කොටි ත්‍රස්‌තයන් හමුවී ඇය නිර්මාණය කර ඇති මේ “මම සමූල ඝාතනය දුටුවෙමි” යන වීඩියෝ පටය බ්‍රිතාන්‍යයේ චැනල් ෆො සාවද්‍ය වීඩියෝ පටයෙන් එල්ල කළ චෝදනා සනාථ කිරීමට ගත් දීන උත්සාහයක්‌ බව සනාථවේ.

ප්‍රියම්වතාගේ මේ වීඩියෝ පටය විකාශයෙන් පැය 24 ක්‌ ගතවීමට පෙර ශ්‍රී කූගන් මෙහෙයවන ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය පුවතක්‌ විකාශනය කරමින් රාජපක්‍ෂ සොහොයුරුන්ට යුද අපරාධ සම්බන්ධයෙන් දඬුවම් කළ යුතු ද යන්න ගැන ඔබ උනන්දුවක්‌ දක්‌වන්නේ නම් සිය මතය පළ කරන්නැයි දක්‌වා ඇත.

(If you interested to cast your votes for should the Rajapakse Brothers be tried for war crimes?)

මෙලෙස ප්‍රියම්වතා නමැත්තිය හිටපු කොටි ත්‍රස්‌තයන්ගෙන් ලබාගත් සාවද්‍ය තොරතුරු මත අයි විට්‌නස්‌ ජෙනොසයිඩ් නමැති වීඩියෝ පටය නිර්මාණය කර පසුගිය අඟහරුවාදා රාත්‍රි එය විකාශනය කිරීමට සූදානම්ව තිබියදී තවත් සිද්ධියක්‌ ඇමරිකාවේ වොෂින්ටන් නුවරින් වාර්තා විය.

මේ හෙඩ්ලයින්ස්‌ ටුඩේ රූපවාහිනියේ වොෂින්ටන් වාර්තාකරු ටෙජින්දර් සිං නමැති සික්‌ ජාතිකයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමින් ඇමරිකානු ප්‍රකාශක මාර්ක්‌ ටෝනර්ගෙන් ප්‍රශ්නයක්‌ අසමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා අප වැරැද්දක්‌ කර නැතැයි කියමින් යුද අපරාධ සම්බන්ධව විමර්ශනයක්‌ අවශ්‍ය නැති බව පවසා ඇතැයි ද ඒ ගැන ඇමරිකාවේ ප්‍රතිචාරය කුමක්‌දැයි විමසා ඇත.

ටෙජින්දර් සිං මේ ප්‍රශ්නය ඇසුවේ එකී වීඩියෝ පටය විකාශනය කිරීමට පැය 24 කට පෙරය.

මෙයට ප්‍රතිචාරය දැක්‌වූ මාර්ක්‌ ටෝනර් ශ්‍රී ලංකාවේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් විනිවිදභාවයක්‌ තිබිය යුතුය යන ඉල්ලීම දිගටම සිදු කරන බව කියා සිටියේය.

ඇමරිකානු ප්‍රකාශකයාගේ මේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් සෑහීමට පත් නොවූ මේජින්දර් සිං ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා රුසියාව, චීනය, අප්‍රිකාව, මැදපෙරදිග සහ අග්නිදිග ආසියාව යන රටවල් ජාත්‍යන්තර ප්‍රජාව යෑයි පවසන බවත් එකී රටවල් ශ්‍රී ලංකාවට සහාය වන බවත් ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් කර ඇත.

ආරක්‍ෂක ලේකම්ගේ එකී අදහස්‌ ගැන විමසා බැලීමට තමා ක්‍රියා කරන බව මාර්ක්‌ ටෝනර් තවදුරටත් පවසා තිබේ. මේ පසුබිම මැද සනාථ වන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය තවදුරටත් දියත් වන බවයි. මෙය තහවුරු වන්නේ ප්‍රියම්වතා නමැත්තිය නිර්මාණය කළ සමූල ඝාතනය වීඩියෝ පටයෙන් හිටපු කොටි ත්‍රස්‌තයන්ගෙන්a සාවද්‍ය සාක්‌කි ලබාගෙන ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බව ජාත්‍යන්තර ප්‍රජාවට ඔප්පු කිරීමට දැරූ උත්සාහයයි. (S.L Army Bomb Hospitals – Killed Childrens)

මෙලෙස ගෝලීය ද්‍රවිඩ සංසදයේ රහස්‌ සැලසුම මත සංචාරකයකු ලෙස ප්‍රියම්වතා නමැත්තියව මෙරටට එවා සාවද්‍ය යුද අපරාධ දැක්‌වෙන තවත් වීඩියෝ පටයක්‌ නිර්මාණය කරද්දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ද එවැනිම චිත්‍රපටයක්‌ නිර්මාණය වී තිබිණි.

මුලතිව් සගා (Mullativu Saga) නමැති මේ කොටි චිත්‍රපටයට පසුගිය බ්‍රහස්‌පතින්දා කේරළයේ පැවැති කෙටි චිත්‍රපට උත්සවයේදී සම්මානයක්‌ ද පිරිනැමිණි.

මේ කොටි චිත්‍රපටයේ නිර්මාතෘවරයා 2004 දී මෙරටින් චෙන්නායි නුවරට පැනගිය එස්‌. සොමිදරන් නමැත්තායි. මේ සොමිදරන් කවුද? කොළඹ ගුවන්විදුලි සේවාවක සේවය කළ සොමිදරන් 2002 දී යාපනය තිනකුරල් පත්‍රයට සම්බන්ධ විය. පසුව ඔහු නෝත් ඊස්‌ටන් හෙරල්ඩ් පුවත්පතට එක්‌විය. මෙම නෝත් ඊස්‌ටන් හෙරල්ඩ් පුවත්පත මෙහෙය වූයේ ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවියේ ප්‍රධානියාව සිටි ඩී. පී. සිවරාම් හෙවත් තාරකී සහ තිස්‌සනායගම් නමැත්තන්ය. ත්‍රස්‌තවාදයට සහායවීම ගැන සිරදඬුවම් ලැබ නිදහස්‌ වී ඇමරිකාවට පලාගියේ තිස්‌සනායගම්ය.

මෙලෙස 2004 දී තමිල්නාඩුවට පැනගිය සොමිදරන් 2009 මැයි මස 19 වැනිදා නිමාවට පත්වූ වන්නි මෙහෙයුම ගැන චිත්‍රපටයක්‌ නිර්මාණය කරන්නේ කෙසේද?

මුලතිව් සගා චිත්‍රපටයේ දර්ශන එකී ප්‍රදේශයේ සිටි මිතුරන් රූගත කළ බවත් එකී දර්ශන අඩංගු මෙමරි කාඩ් මිතුරන් සැපයූ බවත් සොමිදරන් විසින් හෙළි කර ඇත.

මුලතිව්හි සිටියේ කොටි වීඩියෝකරුවන් නිසා සොමිදරන්ට සිය කොටි චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා සහාය වී ඇත්තේ කොටි ත්‍රස්‌තයන් බවට තවදුරටත් සාක්‌කි අවශ්‍ය නැත.

මෙලෙස ප්‍රියම්වතා සහ සොමිදරන් සාවද්‍ය වීඩියෝ පට නිර්මාණය කරද්දී බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනිය අගෝස්‌තු 24 සිට 30 දක්‌වා එඩින්බර්ග් නුවර µsල්ම් හවුස්‌හිදී ශ්‍රී ලංකාවට එරෙහි කිලිං ෆීල්ඩ් චිත්‍රපටය තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

මේ වීඩියෝ පටය තිරගත කිරීමෙන් පසු පැවැත්වෙන සාකච්ඡාවට මෙරට හිටපු එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩන් වෙයිස්‌ සහ කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානියාව කැඳවා තිබේ.

චැනල් ෆො රූපවාහිනිය මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන්නේ බ්‍රිතාන්‍යයේ නගර රැසක කඩසාප්පු විනාශ කරමින් වාහන ගිනිතබමින් මහත් අරාජික තත්ත්වයක්‌ ඇති කිරීමට කලහකාරීන් පිරිසක්‌ ක්‍රියාකර තිබියදීය.

මෙයද දිට්‌ට ධම්ම වේදනීය කර්මය පලදීමකි. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනයට ලක්‌ කළ යුතු බව පැවසුවේ අගමැති කැමරන්ය. බ්‍රිතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදයේ ත්‍රස්‌තයන් සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලංකාවට එරෙහි වූයේ ද හිටපු විදේශ ඇමැති මිලිබෑන්ඩ්ය. තම රටේ ප්‍රශ්න ගැන අවධානය යොමු නොකරමින් බ්‍රිතාන්‍ය කොටි ජාලයේ අවශ්‍යතා ඉටු කිරීමට ගිය බ්‍රිතාන්‍ය රජයට මැරයන් 200 කට අධික පිරිසක්‌ මහත් විනාශයක්‌ කරද්දී ඔවුන්ව පාලනය කිරීමට නොහැකි විය.

මෙවන් තොරතුරු හෙළිවෙද්දී කොළඹ කැරිටාස්‌ සංවිධානය විසින් පැවැත්වූ සමුළුවක්‌ ඇමතූ යාපනය වසමේ මංගලරා- පියනම යුද හමුදාව උතුර පාලනය කරන නිසා ජනතාවට සහායවීම දුෂ්කර යෑයි පළ කළේය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශයක්‌ කරමින් යාපනය දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව අඩු කිරීම සඳහා වූ යෝජනාව ද්‍රවිඩ ස්‌වෛරීභාවය ඉවත් කිරීමක්‌ (erodes Tamil sovereignty) යෑයි පවසා ඇත.

මේ ප්‍රකාශයෙන් ද්‍රවිඩ සංවිධානය පෙන්නුම් කර ඇත්තේ උතුර වෙනම රටක්‌ යනුවෙන් නොවේද? ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අනුමත කරමින් ඩොලර් මිලියන 4 ක මුදලක්‌ සැපයූ ඇමරිකානු කෝටිපති ව්‍යාපාරික රා- රාජරත්නම් නමැත්තා මේ සතියේදී තමා ශ්‍රී ලංකාවේ සුනාමි විපතට පත්වූවන්ට නිවාස ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන පහක්‌ දුන් බව පවසමින් ඇමරිකානු අදිකරණය වෙතින් සමාව ඉල්ලමින් දඬුවම ලිහිල් කරගැනීමට උත්සාහ කළේය.

කොටස්‌ වෙළෙඳපළේ වංචනික ක්‍රියාව සම්බන්ධව ඔහු වරදකරු වී තිබිණි.

එහෙත් ත්‍රස්‌තවාදී ප්‍රහාරවලින් විපතට පත්වූවන්ගේ ශ්‍රී ලාංකික ඥතීන් විසින් ඔහුට එරෙහිව පැවරූ නඩුව තවදුරටත් විභාග වේ.

මේ අතර තමිල්නාඩුවේ වෙසෙන කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන සාවද්‍ය ප්‍රචාර උත්සන්න වී ඇත. නවදිල්ලි ද්‍රවිඩ ශිෂ්‍ය සංවිධානය නමින් අටවාගත් සංවිධානයක ක්‍රියාකාරියකු යෑයි හඳුන්වා ගන්නා ආර්. එම්. කර්තික්‌ නමැති කොටි හිතවාදියා මේ සතියේ දිනෙක රාජ්‍ය නොවන සංවිධාන වෙබ් අඩවියක්‌ ඔස්‌සේ ප්‍රකාශයක්‌ කරමින් යාපනයේ ද්‍රවිඩ මිතුරියකගෙන් සිංහල සෙබළෙක්‌ හා සිංහල සිවිල් වැසියෙක්‌ව දකින්නේ කෙසේදැයි විමසූ බව කියා සිටියේය. මෙයට ප්‍රතිචාර දැක්‌වූ එකී ද්‍රවිඩ මිතුරිය සිංහල සෙබළා අපරාධකරුවකු හා ස්‌ත්‍රී දූෂකයෙක්‌ බවත් සිංහල සිවිල් වැසියා අපරාධකරුවන් හා ස්‌ත්‍රී දූෂකයන්ව සේවයේ යොදවන්නා යෑයි පැවසූ බවද කර්තික්‌ නමැත්තා දක්‌වා ඇත.

මෙවන් පසුබිමක්‌ යටතේ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය හෙඩ්ලයින්ස්‌ ටුටේ රූපවාහිනිය වෙත කරුණු දක්‌වමින් චැනල් ෆො වීඩියෝ පටයේ දිස්‌වන වානිකුමාර් නමැත්තිය සාමාජිකාවක්‌ යෑයි පැවසීය. යටත්වූ අයවළුන්ගෙන් සමහරෙක්‌ ඇය ගැන දන්නා බවට අපට සාක්‌කි තිබෙනවා. දමිල්වානි සිවිල් වැසියෙක්‌ නොවේ. දැන් ඇය අතවර කිරීම් හා ඝාතනය කිරීම් ගැන චෝදනා නඟනවා. එහෙත් ඇය අතවරයට ලක්‌වූවාද? වසරක්‌ තිස්‌සේ ඇය වන්නියේ සිටියා. අවතැන්වූවන් සමගයි ඇය පැමිණියේ. අවතැන්වූවන්ගේ කඳවුරක ඇය සිටින අවස්‌ථාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලය පැමිණ මුදාගනු ලැබුවා. ඇයව මුදාහැරීම ගැන මා විරෝධය පළ කළා. දමිල්වානි වසරක්‌ තිස්‌සේ වන්නියේ කුමක්‌ කළේද කියා දැනගැනීමට මට අවශ්‍ය වුණා. එහෙත් රජය ඇයව මුදාහැරියේ ඈ බ්‍රිතාන්‍යය පුරවැසියෙක්‌ නිසයි. නමුත් දැන් ඇය අතවර කිරීම් ගැන හඬ නඟනවා. රූමත් තැනැත්තියක්‌ වූ ඇය සිටියේ අවතැන්වූවන්ගේ කඳවුරකයි. ඇයට අතවර කිරීමක්‌ හෝ ඇයව මරාදැමීමක්‌ සිදුවුණාද?” යෑයි ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ද මේ සතියේදී ප්‍රකාශයක්‌ කරමින් ද්‍රවිඩයන්ව තවදුරටත් සුළු ජන කොටසක්‌ ලෙස හැඳින්වීමට රජයට හෝ වෙනත් කිසිවකුට ඉඩ නොතබන බව පවසා ඇත.

පොලිස්‌ බලතල හා ඉඩම් බලතල නොදුන්නොත් රජය සමග සාකච්ඡාවලට එන්නේ නැතැයි පැවසුවේ ද මේ දේශපාලකයායි. දැන් ද්‍රවිඩ සන්ධානය උතුර නැගෙනහිර ප්‍රදේශ සඳහා මුදල් බලතල ද ඉල්ලයි.

කොටි රූකඩය මෙන් ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයේ මේ ඉල්ලීම් සම්බන්ධව ආරක්‍ෂක ලේකම්වරයා විසින් හෙඩ්ලයින්ස්‌ ටුටේ රූපවාහිනි සේවාව වෙත මෙලෙස ප්‍රකාශ කර ඇත. “කොටි සංවිධානය දැන් අවසානයි. පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් එක්‌ව වාසය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බලයක්‌ ලැබී ඇත. එයට වඩා වැඩි දෙයක්‌ ගැන මා සිතන්නේ නැහැ. අවශ්‍යතාවක්‌ ඇත්තේ නැහැ. බලය විමධ්‍යගත කිරීම තුළින් අපි කළ දේ ප්‍රමාණවත් යෑයි මා සිතනවා. ඊටත් එහා යැම අවශ්‍ය යෑයි මා සිතන්නේ නැහැ.”

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මේ සෘජු ප්‍රකාශය තුළින් උතුර නැගෙනහිර දෙකඩ කිරීමට සැලසුම් කරන එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට සහ ඊට සහාය වන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට දුව යන දේශපාලන ඒජන්තලාත් අන්දමන්ද වී ඇත. (Devolution wise I Think We have done enough I dont think there is a necessity to go beyond that)

මේ අතර ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සමග එක්‌ව ක්‍රියා කරන 1971 කැරලිකරුවකු වූ මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ස්‌විට්‌සර්ලන්තයේ සිට නෙදර්ලන්ත ගුවන්විදුලිය අමතමින් රජය තමාව මරා දැමිය යුතු බව පවසන්නේ යෑයි අඳෝනා නඟා ඇත. “මාධ්‍යවේදීන් 70 ක්‌ රටින් පැන ගියා. තිස්‌හතරක්‌ ඝාතනය කළා. ආණ්‌ඩුව පැහැදිලිව කියනවා මාව මරාදැමිය යුතුයි කියලා”යෑයි ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇති මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා පවසා ඇත.

එහෙත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ බෝම්බ සහ අවි බලයෙන් පෙරළා දැමීමට කැරලි ගසා අත්අඩංගුවට පත්වූ බව ඔහු නෙදර්ලන්ත ගුවන්විදුලිය වෙත හෙළිකර නැත.

මේ හිටපු නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ ප්‍රධානියා තවදුරටත් පවසා ඇත්තේ දේශපාලන රැකවරණ ඉල්ලන අයදුම්පත් භාරගන්නා කොළඹ පිහිටි එකම තානාපති කාර්යාලය ස්‌විස්‌ තානාපති කාර්යාලය බවයි. මාධ්‍යවේදීන්ට අවශ්‍ය දීර්ඝ කාලයක්‌ රැඳී සිටීමට යෑයි ද ඔහු වැඩිදුරටත් දක්‌වා ඇත.

එය සැබෑවකි. ස්‌විස්‌ රජය මේ සාවද්‍ය දේශපාලන සරණාගතයන්ට මසකට ප්‍රෑන්ක්‌ 350 ක දීමනාවක්‌ ලබාදේ. නවාතැන් පහසුකම් සපයයි. ට්‍රෑම් සහ බස්‌රියේ යැමට නොමිලේ ප්‍රවේශපත්‍රයක්‌ ද සපයයි.

මේ වරප්‍රසාද මත ජිනීවා සිට බර්ග් හරහා සුරීච් දක්‌වා යැමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම සාවද්‍ය ප්‍රකාශයක්‌ විකාශනය කළ හැක. ස්‌විස්‌ රහස්‌ පොලිසිය ඒ ගැන සොයන බවට බියක්‌ ද නැත. මේ අතර කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ තිරුගන සම්පන්දන් හෙවත් මානිවානම් මැලේසියානු රහස්‌ පොලිසියට අසුවිය. මේ කොටි ක්‍රියාකාරියාව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව මැලේසියානු ස්‌වදේශ ඇමැති හිෂාමුදින් හුසේන් විසින් දක්‌වා තිබේ.

මේ නිසා උග්‍ර කොටි හිතවාදියකු වූ පීනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පී. රාමසාමි ඊට එරෙහි විය. ශ්‍රී ලංකාවට දෙකඩ කිරීම සඳහා අන්තර්වාර පාලන යෝජනාවලිය සම්පාදනය කළේ මේ රාමසාමි නමැත්තායි.

කීර්ති වර්ණකුලසූරිය