Spread the News

ශාසනයට එල්ල වූ අභියෝග සමඟින් නිමාවූ සම්බුද්ධත්ව ජයන්තිය

සිදුහත් තවුසානන් සම්මා සම්බුද්ධත්වයට පත් ව වසර 2600 සපිරුණේ පසුගිය වසරේ වෙසක් පුන් පොහෝ දිනයේ දී ය. එදින සිට මේ වෙසක් පුන් පොහෝ දින දක්වා වූ වර්ෂය සම්බුද්ධත්ව වර්ෂය ලෙස ප‍්‍රකාශයට පත් කෙරින.වසරක කාලය දෙස ආපසු හැරී බැලීමේ දී අප සම්බුද්ධත්ව ජයන්තිය සැමරුවේ ද යන පැනයට පිළිතුරු සොයා ගත හැකි ය. මුලින් ම රජය සම්බුද්ධත්ව ජයන්ති සැමරුම සඳහා විසි එක් වැදෑරුම් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ ය. ඒ අතර බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය භාරගත් අග‍්‍රාමාත්‍ය වරයා ‘සර්ව ආගමික’ සංකල්පයක් ඇතුළත් කර විසිඑක් වැදෑරුම් වැඩපිළිවෙළ තිස් වැදෑරුම් වැඩපිළිවෙළක් ලෙස ඉදිරිපත් කළේ ය. එම වැඩපිළිවෙළ අනුව සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 2600 ක් සපිරීම සැමරීමට අන්‍යාගම්ද සහභාගී කරවා ගතයුතු බව ප‍්‍රකාශ කළේ ය. මෙයට බොහෝ විරෝධතා එල්ල වූ නිසා එය හකුලා ගැනීමට සිදුවිය.

බෞද්ධ ප‍්‍රතිපත්ති අනුව බොදු ජන ජීවිතය හැඩගැස්වීම සඳහා පන්සල හා බෞද්ධයා අතර සබඳතාවය තර කිරීම, අධ්‍යාත්මික හා සදාචාරාත්මක ගුණවගාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම ‘සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු’ යන ප‍්‍රබල තේමාව යටතේ සිදු කිරීම මෙම වැඩපිිළිවෙලේ වැදගත්ම යෝජනාව විය.

එහෙත් අප දැක්කේ රටපුරා රජයේ කාර්යාල ගොඩනැගිල්ලක් පාසා බෝඞ් ලෑලි සවිකිරීම, උත්සව පැවැත්වීම වැනි ප‍්‍රචාරක වැඩපිළිවෙල වල් පමණි. මෙහි දී යම් යම් වැඩ කෙරුණ බව සත්‍යයකි. එහෙත් මෙවැනි වැදගත් සන්දිස්ථානයක් සැමරීමට තරම් වැඩක් කෙරුණේද යන්න ප‍්‍රශ්නයකි.

අවම වශයෙන් බෞද්ධයාට දැනෙන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළේ නැත. බෞද්ධයා හා පන්සල අතර සම්බන්ධතාවය ගොඩනැගීමට යමක් සිදුවූයේ නැත. ගවඝාතනය ඇතුළු සත්ව හිංසා වැළැක්වීමේ පනත ගෙනාවේ නැත. එය පසුගිය වසර හයකට අධික කාලයක් තිස්සේ හමස් පෙට්ටියට දමා ඇත. අවිධිමත් අන්‍යාගම්කරණයට එරෙහි පනත සම්මත කරනවා තබා සාකච්ඡුාවටවත් ගත්තේ නැත.

එහෙත් ඒ වෙනුවට වැඩි වැඩියෙන් සුරා සැල් විවෘත විය. (බොහොමයක් සුපිරි වෙළෙඳසැල් හා සංචාරක හෝටල් තුළ විවෘත විය* සූදුව මුලූ මනින් ම තහනම් කර දමනවා වෙනුවට කැසිනෝ නීතිගත කෙරින. ගව ගාතනය නවත්වනවා වෙනුවට නීත්‍යානුකූල නොවන ලෙස ද ගවඝාතනය සීඝ‍්‍රයෙන් සිදු වූ අතර එවැනි ක‍්‍රියා කරන අයට එරෙහි ව දේශපාලකයින්ගේ බලපෑම් මත නීතිය ක‍්‍රියාත්මක නොකර සිටියහ. බොදු සිද්ධස්ථාන වැනසීම, ඒවායේ ඉඩකඩම් අත්පත්කර ගැනීම නැවැත්වීම පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක වූයේ නැත. උතුරු නැගෙනහිර වසාදැමූ විහාරාරාම විවෘත කිරීමට වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කළේ නැත. 1931 ඉංග‍්‍රීසීන් විසින් සම්මත කළ බෞද්ධ විහාර දේවාල ගම් ආඥා පනත අහෝසිකර ඒ වෙනුවට කාලීනව වැදගත් පනතක් සම්මත කිරීම තබා එම පනතට සංශෝධනයක්වත් ගෙනාවේ නැත.

ශාසන කතිකාවත් 4 ක් නිකායන් 4 කින් සකස් කර ඉදිරිපත් කර තිබිය දී ඒවා නීතිගත කිරීමට පියවර ගත්තේ නැත. සංඝාධිකරණයක් පිහිටවන ලෙස බොහෝ කලක දී කළ ඉල්ලීම් තවමත් ඉටු වී නැත. එහෙත් ‘ක්වාසි අධිකරණය’ නම් ඉස්ලාම් අධිකරණ 58 ක් පිහිටුවීමට කටයුතු කළහ. එසේ නම් සම්බුද්ධත්ව ජයන්තිය සැමරුවේ කෙසේ ද?

1. බෞද්ධයන්ට ඇති තරම් කෙනෙහිලිකම් කිරීම.
2. බෞද්ධ සිද්ධස්ථාන අමු අමුවේ අන්‍යාගමිකයන්ගේ ග‍්‍රහණයට ලක් වීම.
3. දහම්පාසල් දරුදැරියනට, ගුරුවරුනට අවශ්‍ය පහසුකම් නොසැලසීම.
4. පන්සලේ පෙරපාසල අභාවයට යවා මූලධර්මවාදීන් ගේ පෙරපාසල් ඒ තුළට රිංගවීම.
5. අවිධිමත් අන්‍යාගම්කරණය තව තවත් සීඝ‍්‍රයෙන් වැඩිවීම.
6. බෞද්ධ විහාර දේවාල ඉඩකඩම් කොල්ලකෑම දිගින් දිගටම සිදුකෙරීම.
7. බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම පිළිබඳ නිකුත් කළ චක‍්‍ර ලේඛය බෞද්ධාගමිකයන්ට පමණක් ක‍්‍රියාත්මක වූ අතර අන්‍යාගමිකයන්ට එය බලනොපැවැත්වීම.
8. බෞද්ධයා පමණක් ජාතිවාදියෙකු, ආගම්වාදියෙකු ලෙස හංවඩු ගැසිම.
9. ලොව පුරා සිංහල බෞද්ධයාට එරෙහි අභූත චෝදනා සහිත ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීමට මෙරට අන්‍යාගමිකයන් කටයුතු කළ අතර එයට එරෙහි කිසිදු ක‍්‍රියාවක් නොකෙරීම.
10. විදේශීය ධර්ම ප‍්‍රචාරයන් සිදුනොකිරීම.

දම්සර මාණ්ඩලික වර්තාකරු