Spread the News

සඟමිත් පරපුරේ “සවියක්‌” අනතුරේ
ශ්‍රී සුමනාරාමයත් මියෙන්නට පෙර….source:

සිරිලක්‌ ධරණිතලය පුරාවෙහිම මෙහෙණි ආරාම බිහි වන්නට පටන් ගත්තේ දෙවන පෑතිස්‌ රාජ යුගයට සමාගමීව සිදු වූ සංඝමිත්තා ගමනයත් සමගය. උඳුවප්පුර පසළොස්‌වක පොහෝ දිනයක සිදු වූ ඒ අසිරිමත් ආගමනයත් සමග අනුලාවන් ප්‍රධාන සෝවාන් ඵලයට පත්ව සිටි ස්‌ත්‍රී සමූහයා මහණ කොට ලංකා මෙහෙණි සසුන පිහිටුවන ලදී. එදවසින් පසු සිංහල කාන්තාවන්හට එතෙක්‌ වැසී තිබුණු ආගමික හා ජාතික නිදහස ලබාදෙමින් ලෞකික වූත් ලෝකෝත්තර වූත් විමුක්‌තියේ සෑම දියුණුවකම දොරගුළු විවර විය. සිංහල කාන්තාවෝ ජාත්‍යන්තර කීර්තියට පවා පත් වෙමින් ලොව්තුරා ගුණදම් වගාවේ හිමිකාරියන් බවට ද පත් වූහ. දුර අතීතයේ එවැනි මෙහෙණි සසුනක්‌ මේ ධර්මද්වීපය තුළ තිබුණද, වර්තමානයේ එය ක්‍රමයෙන් ලක්‌ දෙරණෙන් දුරස්‌ වෙමින් තිබේ. වර්තමානයේ මෙහෙණි ආරාමයක්‌ දකින්නට ලැබෙන්නේද කලාතුරකිනි. පසුගිය දිනක අපි බිබිල නගරයට යන අතරතුරදී අහම්බෙන් මෙන් මෙහෙණි ආරාමයක්‌ වැඳපුදා ගැනීමට අවස්‌ථාව උදා විණි. ඒ ශ්‍රී සුමනාරාම මෙහෙණි ආරාමයයි.

මෙම පින්බිම පිහිටා තිබෙන්නේ ආ¹උල්පත ප්‍රදේශයේය. එනම් මහියංගන-බිබිල මාර්ගයේ කිලෝ මීටර් විස්‌සක්‌ පමණ ගමන් කළ විට හමුවන තුංමන්හන්දිය ආ¹උල්පතය. එතැන් සිට මීටර් සියයක්‌a පමණ බිබිල මාර්ගයේ ගමන් කළ විට මෙම මෙහෙණි ආරාමය හමු වේ. මෙරට මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීම සඳහා ආරම්භ කළ පිරිවෙන් අතරින් දැනට ඉතිරිව ඇති පිරිවෙන් දෙකෙන් එකක්‌ ලෙස මෙම පූජනීය ස්‌ථානය හැඳින්විය හැක.

දැඩි හිරු රැස්‌ ද දූවිලි ද නොවූ ඒ පින්බිම සොඳුරුය. විසේකාර සියොතුන්ගේ ගී නද නොඇසෙන්නට වෙන කිසිදු හඬක්‌ ඒ පරිසරයෙන් නොඇසේ. මේ පන්සලක්‌ ද? විටෙක මට සිතිනි. මන්ද පන්සලක දකින්නට තිබෙන අලංකාර චෛත්‍යයක්‌, බුදු මැදුරක්‌, බෝධින් වහන්සේ නමක්‌, බෝධි ප්‍රාකාරයක්‌, ධර්ම ශාලාවක්‌, මෙහෙණින් වහන්සේලා වැඩ හිඳින ආවාස ගෙයකින්ද, පිරිවෙනකින්ද, මෙහෙණි පිරිවෙනකින්ද, දහම් පාසලකින් සහ පෙර පාසලකින් ද මෙම මෙහෙණි ආරාමය දියුණු කර තිබිණි. ගොඩනැඟිලි රාශියකි. ආ¹උල්පත ගම්පියසට පමණක්‌ නොව, බිබිල ප්‍රදේශයේ දුවා දරුවන්ගේ ද දිවි මග ඒකාලෝක කරන පහන් ටැඹ මෙම පුද බිම වනවාට සැක නැත. මන්ද අප මේ පුද බිමට යන විටත් සුදු වතින් සැරසී, පොත්පත් ද අතැති දුවා දරුවෝ පෙළින් පෙළට මෙහෙණි ආරාමයේ දහම් පාසල වෙත පැමිණෙමින් සිටියෝය. පුංචි දරුවන් වුවත් ඔවුන් විනීතව සංවරව සෙමෙන් සෙමෙන් ඒ විදු පියසට ගමන් කළ අයුරු සුන්දරය.

කහ සිවුරෙන් සෝබමාන වූ මෙහෙණින් වහන්සේලා ඔබ මොබ සක්‌මන් කරති. ඇතැම් මෙහෙණින් වහන්සේලා රුක්‌ සෙවණේ භාවනායෝගීව වැඩ සිටිති. අපි ඔවුන්ට බාධා නොවෙන අයුරින් ඒ පින්බිම පුරා ඇවිද යමින් එහි සුන්දරත්වය වින්දෙමු. ඉක්‌බිතිව අපි මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන මහඋල්පත සුමනපාලී මෙහෙණින් වහන්සේ වැඩ සිටි ස්‌ථානයට ගොස්‌ මෙහෙණින් වහන්සේගේ දෙපා නමස්‌කාර කර ආශීර්වාද ලබා ගත්තෙමු. පින්බිම නිසලය. මෙහෙණින් වහන්සේ එහි තිබූ ගල් පඩිය මත අසුන් ගත්හ. අපිදු අසළම සුදෝ සුදු වැලිතලාව මත හිඳ ගත්තෙමු. පරිසරයේ දැඩි නිහඬතාවයට විරාමයක්‌ තැබිණි. උන්වහන්සේ මෙසේ හඬ අවදි කළහ.

“මේ මෙහෙණි ආරාමය ආරම්භ කරලා තියෙන්නේ 1967 වර්ෂයේ. දැන් අවුරුදු තිස්‌ හයක්‌ විතර වයසයි. මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට ශ්‍රී සුසික්‍ෂා මෙහෙණි පිරිවෙන ආරම්භ කරලා වසර හතක්‌ විතර ඇති. දැනටත් මේ පිරිවෙනේ සාමනේරීන් වහන්සේලා දහහතරක්‌ පමණ අධ්‍යාපනය ලබනවා.”

සුමනපාලී මෙහෙණින් වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළු වී ඇත්තේ 1976 වර්ෂයේ අගෝස්‌තු මාසයේ පින්බර දිනයකදීය. ඒ පැවිදි ජීවිතයට ඇතුළත්ව මාස හතරක්‌ ගෙවී ගියේ නැත. සුමනපාලී මෙහෙණින් වහන්සේගේ ගුරු මෑණියෝ අපවත් වූහ. එදා සිට ශ්‍රී සුමනාරාම මෙහෙණි ආරාමයේ භාරකාරත්වය හිමි වූයේ සුමනපාලී මෙහෙණින් වහන්සේටය. තරුණ මෙහෙණින් වහන්සේ නමක්‌ වුවද, ගුරු මැණියන් සුමනාරාම මෙහෙණි ආරාමයට සිදු කළ සේවය කිසිදු අඩුවකින් තොරව සියලු දේ මනා කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යැමට සුමනපාලී මෙහෙණින් වහන්සේට හැකි විය.

“මේ ආරාමය ඉදිරියට පවත්වාගෙන යන්න මට අපේ දායක සභාවෙන් විශාල සහයෝගයක්‌ ලැබුණා. වේලාවට වැඩ කිරීම වගේම, හොඳ කළමනාකරණයක්‌ මෙතැන තියෙනවා. අපේ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය මෙම පින්බිමට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒ නිසාම තමයි මේ පුණ්‍ය භූමිය මේ තරම් දියුණු වෙලා තියෙන්නේ. තිස්‌ අවුරුද්දක ඉඳල දහම් පාසලක්‌ පවත්වාගෙන යන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දැනටමත් දහම් පාසලේ ළමයි තුන්සියයක්‌ විතර අධ්‍යාපනය ලබනවා. ආචාර්ය මණ්‌ඩලය දහහතරක්‌ ඉන්නවා. විවිධ තරග විභාගවලදී අපේ දහම් පාසලේ දරුවන් ඉහළ දක්‍ෂතා පෙන්වලා තියෙනවා. ඒ වගේම අවුරුදු 19 ක කාලයක ඉඳලා පෙර පාසලක්‌ මේ ආරාමය තුළ පවත්වාගෙන යනවා. කියන්න සතුටුයි අපේ පෙර පාසලේ පුංචි දුවා දරුවන්ගේ හැකියාවන් වර්ෂයෙන් වර්ෂයට දියුණු වෙමින් පවතිනවා.” සුමනපාලී මෙහෙණියෝ එසේ පැවසූහ.

ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැණපහන් ඒකාලෝක කරන ශ්‍රී සුමනාරාම මෙහෙණි ආරාමය නැණසලකින් ද පොහොසත්ය. එතුළින් ප්‍රදේශයේ දුවා දරුවන්a මෙන්ම සාමනේරින් වහන්සේලාගේ ද පරිගණක දැනුම ඉහළ මට්‌ටමක පවතින බව සුමනපාලී මෙහෙණින් වහන්සේ අපට පැවසූහ. පිරිවෙන් අධ්‍යාපන විෂය මාලාවේ අඩංගු විෂයයන් දහයම සුසික්‍ෂා සාමනේරී පිරිවෙණේ ද උගන්වයි. එහෙත් තවමත් සුසික්‍ෂා සාමනේරී අධ්‍යාපන ආයතනයට ලියාපදිංචිය ලැබී නොමැත. සුසික්‍ෂා මෙහෙනි අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබන මෙහෙණින් වහන්සේලාට හැඳුනුම්පතක්‌ ලබාදීම ද අත්හිටුවා ඇත. හැඳුනුම්පතක්‌ නොමැතිව විභාගයට පෙනී සිටින්නේ කෙසේද? ශිෂ්‍ය මෙහෙණින් වහන්සේලාට විභාගයකට හෝ පෙනී සිටීමට නොහැකිව මහත් සේ අපහසුතාවනට ලක්‌ව අධ්‍යාපන කටයුතු අතරමඟ නවතා දැමීමට ද සිදුව ඇත. මේ ධර්මද්වීපය තුළ මෙහෙණින් වහන්සේලා මෙලෙස අපහසුතාවනට පත් වුවද බලධාරීන් තවමත් නිහඬය. මෙහෙණි සාසනය වෙනුවෙන් කිසිදු හඬක්‌ නොනැඟේ. බලධාරීන්ගේ නිහඬතාවයෙන් පෙන්නුම් කරන්නේ කුමක්‌ද? මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපනය අකැප බව නොවේද?

“අපිට අභියෝග එන්න එන්න අපි ඉදිරියටම යනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. අපේ අරමුණ පිරිසිදුයි. අපිට ඕන සාමනේරීන් වහන්සේලාට වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දෙන්නයි. මට තියෙන එකම කණගාටුව රජය ඇයි අපිට මෙහෙම කරන්නේ කියලයි. ඇයි අපේ පිරිවෙන ලියාපදිංචි නොකරන්නේ? මොනවද මේකේ තියෙන අඩුපාඩු. එහෙම අඩුපාඩු තියෙනවා නම් අපිට පෙන්වලා දෙන්න අපි ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්නම්.” ශාන්තව ගලා ගිය මෙහෙණියගේ හඬ තරමක්‌ තීව්‍ර විය.

සාමනේරී අධ්‍යාපන ආයතනයට ලියාපදිංචි නොලැබුණද සුමනපාලී මෙහෙණින් වහන්සේ මෙන්ම ශ්‍රී සුමනාරාම මෙහෙණි ආරාමයේ දායක සභාවේ පින්වතුන් අධෛර්යමත් වූයේ නැත. ඔවුහු වසර හතක්‌ තිස්‌සේ සිට සාර්ථක ලෙස මෙම පිරිවෙන පවත්වාගෙන ගියහ. රජයෙන් කිසිදු හව්හරණක්‌ නොමැති සුසික්‍ෂා පිරිවෙනට උදව් උපකාර ලබා දෙන්නන්ද නැතුවාම නොවේ. ඒ පින්වතුන්ගේ උපකාර නොතිබුණා නම් මෙම පින් බිම කාලයේ වැලි තලාවෙන් වැසී ගොස්‌ බොහෝ කල්ය.

“කොළඹ චිත්‍රා බොතේජු මහත්මිය අපේ ආරාමයට ඇවිත් නිරන්තරයෙන්ම අපි ගැන සොයා බලනවා. එතුමියගේ දරුවන් අපේ ආරාමයේ අධ්‍යාපනය ලබනවා කියලා හිතාගෙන වගෙයිs මේ පිරිවෙනට උදව් උපකාර කරන්නේ. අවුරුද්දකට සැරයක්‌ අවශ්‍ය පොත්පත්, සිවුරු පිරිකර පරිත්‍යාග කරනවා. ඒ වගේම මුදලිනුත් උදව් කරනවා. අපි ඒ මුදල් පිරිවෙන් ආචාර්ය මණ්‌ඩලයේ වැටුප් සඳහා යොදවනවා. ස්‌වෙච්ඡාවෙන් උගන්වන ආචාර්ය මණ්‌ඩලයකුත් අපිට ඉන්නවා. ඒ දානපතියන් නොසිටින්න මේ කටයුතු අපට සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා.” සුමනපාලී මෙහෙණින් වහන්සේ එසේ පැවසූහ.

මෙහෙණින් වහන්සේලා සඳහා මෙරට පිරිවෙන් කිහිපයක්‌ විවිධ ස්‌ථානවල ආරම්භ විය. එහෙත් කිසිදු අනුග්‍රහයක්‌ නොලැබූ ඒ පිරිවෙන් අකාලයේම වැසී ගියේය. ඒ අතරින් විවිධ දුෂ්කරතා මැද පවත්වාගෙන යන අධ්‍යාපන ආයතන දෙකක්‌ තවමත් මෙහෙණින් වහන්සේලාගේ නැණපහන් දල්වා ගැනීමට ඉතිරිව ඇත. ඒ ගම්පහ සාමනේරී අධ්‍යාපන ආයතනය සහ ආ¹උල්පත ශ්‍රී සුසික්‍ෂා සාමනේරී අධ්‍යාපන ආයතනයි.

සුසික්‍ෂා මෙහෙණි අධ්‍යාපන ආයතනයට ලියාපදිංචිය ලබාදෙන මෙන් සුමනපාලී මෙහෙණින් වහන්සේ වසර කිහිපයක සිටම ලිපි මගින් වගකිවයුත්තන් දැනුවත් කර ඇත. එමෙන්ම මෙහෙණින් වහන්සේලාට ක්‍රමවත් පිරිවෙන් අධ්‍යාපනයක්‌ ලබාදෙන්නැයි ඉල්ලමින් ඌව-වයඹ-සබරගමු පළාත්වල මෙහෙණින් වහන්සේලාගේ අත්සනින් යුතුව ලිපියක්‌ද ජනාධිපතිතුමා වෙත යොමු කර ඇත. එහි අනුපිටපත් අගමැතිතුමාට, අධ්‍යාපන ඇමැතිවරයාට, වනිතා කටයුතු ඇමැතිනී සහ පිරිවෙන් නාහිමිපාණන් වෙතද යොමු කර ඇත. නමුදු උන්වහන්සේගේ මෙන්ම සෙසු මෙහෙණින් වහන්සේලාගේ ප්‍රයත්නය ගඟට කැපූ ඉනි මෙන් දේශපාලනය නැමැති කුණු වතුරේ ගිලී නොපෙනී ගිය බව ද නොරහසකි. සුමනපාලී මෙහෙණින් වහන්සේ නැවත වරක්‌ බලධාරීන්ට මෙසේ ඉල්ලීමක්‌ ඉදිරිපත් කළහ.

“ලංකාද්වීපයේ වැඩ වාසය කරන සම්බුද්ධ සාසනයේ දෙවැනි පිරිස ලෙස හඳුන්වන මෙහෙණින් වහන්සේලාට දක්‌වන කුඩම්මාගේ සැලකිලි වෙනුවට නිසි තැනක්‌ ලබාදෙන්න. අපේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේලා සාසනික පිළිවෙත් පුරාගෙන, අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින්, උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න අතර සමාජයට මහත් මෙහෙවරක්‌ කරන්න නිරන්තරයෙන් කැපවෙලා ඉන්නවා. මේ සදහම් දිවයිනේ පිං කැමති, පරිත්‍යාගශීලී උත්තම මිනිසුන් තවමත් සිටිනවා. ඒ අයට අපි කියන්නේ ශිෂ්‍ය මෙහෙණින් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගැනීමට හැකි අයුරින් උදව් කරන්න කියලයි.”

වසර කිහිපයක සිටම සුමනපාලී මෑණියෝ මෙන්ම සෙසු මෙහෙනින් වහන්සේලා සුසික්‍ෂා මෙහෙණි අධ්‍යාපන ආයතනය ලියාපදිංචි කර දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ තුළින් ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරගැනීමට නොවේ. තම පවුල් පෝෂණය කිරීමට නොවේ. මේ ධර්මද්වීපයෙන් ගසාගෙන යන මෙහෙණි සාසනය ආරක්‍ෂා කරගැනීමටය. මෙහෙණින් වහන්සේලාට නිසි අධ්‍යාපනයක්‌ ලබාදීමටය. එහෙත් අධ්‍යාපනය කෙසේ වෙතත්, මේ සමාජය කලකිරී සසර කතරෙන් එතෙර වීමට වෙර වෑයම් දරණ මේ ජීවිතවලට අවම පහසුකම්වත් ලැබී තිබේද?

කෙළගණන් වූ කාසි පනම් යට පින් පුරන්නට නිමක්‌ නැති තරගයක නියෑලී සිටින මිනිසුනේ ඔබ වියදම් කරන ධනස්‌කන්දයෙන් සොච්චමක්‌ හෝ මේ සුසික්‍ෂා මෙහෙණි ආරාමයේ ඉගෙනුම ලබන මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට නොහැකිද? එමෙන්ම දේශපාලනඥයන් මනාප පොරපිටියේදී මුහුණත් තහඬුව ප්‍රදර්ශනය කිරීමට දිය කර හරින මුදල් කොපමණද? ඒ නිසරු ධනයෙන් යම් ප්‍රමාණයක්‌ හෝ අපගේ මෙහෙණි සාසනයේ හෙට දවස වෙනුවෙන් පූජා කරනවා එය උතුම් වූ පුණ්‍යකර්මයක්‌ වනවා නොඅනුමානය.

කාලය අපටත් හොරෙන් වේගයෙන් ගලා ගොස්‌ය. සුමනපාලී මෙහෙණින් වහන්සේට සමුදීමට වේලාව පැමිණ ඇත. සම්බුද්ධ ශාසනයට ගෞරව කරන, උනන්දුවක්‌ තියෙන වයස අවුරුදු දහයට අඩු දැරියනට ශ්‍රී සුසික්‍ෂා මෙහෙණි පිරිවෙනේ දොරගුළු විවර වී ඇති බවද, එමෙන්ම යම්කිසි කුල දැරියක්‌ පැවිදිවීමට අපේක්‍ෂාවෙන් පසුවෙනවා නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ද ශ්‍රී සුමනාරාම මෙහෙණි ආරාමයේ සලසා ඇති බව ද සුමනපාලී මෙහෙණින් වහන්සේ අවසාන වරටත් ඔබට මතක්‌ කර සිටියහ.

තරංග රත්නවීර
රංජිත් කරුණාවීර