“සබ්බ පාපස්‌ස අකරණං – කුසලස්‌ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධානුශාසනං”

Spread the News

“සබ්බ පාපස්‌ස අකරණං – කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධානුශාසනං”

source:
එදා පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ජයන්ති ශාලාව ඉදිරිපිට භූමිය සහ ඒ අවට රැස්‌වුණු විශාල ජන ගංගාව අතර සිටි රජරට ගොවි දූ දරුවෝ ඒ හඬින් මහත් සේ සතුටින් ඉපිල ගියහ. ඔවුන් නැගූ ජය ඝෝෂා තුළින් මුළු පළාතම ගිගුම් දුන්හ. පුලතිසිපුරවරයෙන් උපන් ගොවි පුතා ශ්‍රී ලංකා මාතෘ භූමියේ අනාගත නායකයා ලෙස පත් කරවන ප්‍රාර්ථනය ඔවුන්ගේ හදවත්වල දැල්වෙමින් තිබිණි. පුලතිසිපුරයේදී මෙන්ම ඔහු රට පුරා ගිය හැම තැනකම රොද බැඳ ගත් ජනතාව ඔහුට ධෛර්යත් සුබ ප්‍රාර්ථනයත් එක්‌ කළේ අප රටේ අනාගතය විසඳිය හැකි පොදු ජන නායකයා ඔහු බව හදවතින් ම වැළඳ ගනිමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපති ධුරය යටතේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව ඇමතූ පළමු අවස්‌ථාව එය වූයේය. රජරටින් රජෙක්‌ බිහි කරන්නට ඇවැසි සහාය, සවිය දෙන්නට පැමිණි රජරට ජනතාව ඒ ගොවි පුතාට සිතින් ගතින් ආශිර්වාද කළහ. එසේ ඔවුන් ඉදිරියේ සිටියේ පුලතිසිපුර කුමරෙක්‌ ලෙස හැදී වැඩී හෙට දින රට කරන්නට යන රජෙක්‌ විය හැකි එහෙත් තමා කිසි දිනෙක රජෙක්‌ නොවන බවට යළි යළිත් සපථ කළ ගැමි සුවඳ, ගොවියාගේ දහඩිය සුවඳ හඳුනන ජන නායකයා යෑයි ඒ ජනතාව ස්‌ථිරවම දන්නේය.

එහෙත් ගම්පහ සියනෑ කෝරළයේ ගණේමුල්ල ප්‍රදේශයෙන් රජරට ගොවි බිම් වෙත සංක්‍රමණය වූ ගොවි පවුලක රටක්‌ පාලනය කරන නායකයකු සිටිනු ඇතැයි එකල නම් ඒ රජරට ගොවියෝ කිසිසේත් නොසිතන්නට ඇත. මෙරට ප්‍රධානම දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක්‌ මෙන්ම රටේ හැරවුම් ලක්‍ෂයක්‌ සනිටුහන් කළ පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහි වූ 1951 සැප්තැම්බර් 02 වැනිදාම මේ ගොවි පුතාත් මෙලොව එළිය දුටුවේය. එය දෛවෝපගත සිදුවීමක්‌ ලෙස එකල කිසිවෙකු නොසිතුවත් මෛත්‍රීපාල මහතා මේ දක්‌වා පැමිණි ගමන් මඟ පිරික්‌සා බැලීමේදී ඊටත් එහා ගිය දෛවෝපගත සිදුවීම් තවත් ඇතැයි සිතීම උගහටය.

ඒ පුලතිසිපුර ගොවි පුතා රජරටට පමණක්‌ නොව මුළු රටටම නායකයා ලෙස ඊයේ (09 වැනිදා) ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා අද මුළු රටටම ජනාධිපතිය. ඒ ජනාධිපතිගේ මව පාසල් ගුරු මාතාවකි. පියා දෙවැනි ලෝක යුද සමයේ හමුදා සේවයේ යෙදුණු නිලධාරියෙකි. එහෙත් මෛත්‍රීගේ පියා තම පවුලේ සාමාජිකයන් ද සමඟÊගම්පහින් පොලොන්නරුවට පැමිණෙන්නේය. ඒ සේවා මුක්‌ත හමුදා නිලධාරීන් හට ඩී. එස්‌. සේනානායක රජයෙන් ලබා දුන් ගොවි බිම් අස්‌වැද්දීමට ය. අපේ රටේ වත්මන් ජනාධිපති ගොවි පුතෙක්‌ වන්නේ එලෙසිනි.

පොලොන්නරුව තෝපා වැව මහා විද්‍යාලය සහ පොලොන්නරුව රාජකීය විද්‍යාලය මෛත්‍රීපාල මහතා සිප් සතර හැදැරූ විදු බිම් වූයේය. එහෙත් පාසල් බිමේදී පෙන්වූ සහජ ප්‍රගතිශීලී නායකත්ව ගුණාංග නිසා යන්තම් වසර 19 ක්‌ වන විට සිරබත් කන්නට පවා මෛත්‍රීපාල ශිෂ්‍යයාට සිදුවුණි.ඒ 1971 කැරැල්ල පැවැති කාලයේදී ය. මෛත්‍රී සිරබත් කෑවේ එකල මඩකලපුව බන්ධනාගාරයේදී ය.

කෙසේ වෙතත් ශ්‍රීලනිප තරුණ සංවිධානයේ ලේකම් ධුරය යම්තම් අවුරුදු 17 සපිරෙද්දී මෛත්‍රීපාල මහතාට හිමිවිය. මෛත්‍රීගේ ක්‍රියාකාරී දේශපාලන ගමන ආරම්භ වන්නේ අනුර බණ්‌ඩාරනායක මහතා නායකත්වය දුන් ශ්‍රීලනිප තරුණ සම්මේලනයට සම්බන්ධ වීමෙනි. එය සිදු වෙන්නේ මෛත්‍රී බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි පසුවය. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන කිහිපයක සේවය කළ තරුණ මෛත්‍රී ඒ සියල්ලෙන් ඉවත්ව 1978 වර්ෂයේදී පූර්ණ කාලීන ක්‍රියාකාරිකයකු ලෙස ශ්‍රීලනිපයට එක්‌ව තම දේශපාලන ගමන ඇරඹීය.

එසේ කාලය ගතවෙද්දී මෛත්‍රීපාල මහතාට ශ්‍රීලනිප පොලොන්නරුව සංවිධායක ධුරය හිමි වෙන්නේය. ඒ 1982 වසරේදීය. එසේම 1982 වසරේ පැවැති ජනාධිපතිවරණ අවස්‌ථාවේදී වත්මන් ආර්ථික සංවර්ධන ඇමැති ධුරය දරන බැසිල් රාජපක්‍ෂ මහතා එදා ශ්‍රීලනිපයෙන් ඉවත්ව එජාපයට සහාය දීමට යද්දී හිස්‌ වුණු ශ්‍රීලනිප තරුණ සම්මේලනයේ ලේකම් ධුරය ද මෛත්‍රීපාල මහතා භාර ගත්තේය. මෙසේ වගකීම් රැසක්‌ සමගින් දිගු ගමනකට පා තබා සිටි මෛත්‍රීපාල මහතා, 1989 වසරේදී පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ලෙස පත් වන්නේය. එසේ ඇරඹි මෛත්‍රීගේ පාර්ලිමේන්තු ගමනට සීමා, මායිම් නොවීය. ඔහු අදටත් නොපැරදුණු පොලොන්නරු මන්ත්‍රීවරයෙකි. මෛත්‍රීගේ ජනතා මෙහෙවර ගැන එතනින් එහාට වචන නුවුමනාය.

කෙසේ වෙතත් 1994 පොදු පෙරමුණ ආණ්‌ඩුවේ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත්, 1997 දී මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙසත් මෛත්‍රී රටටම දැනෙන්න වැඩ කරන්න පටන් ගත්තේය. එසේම 1997 වසරේදී ඔහු ශ්‍රීලනිප උප ලේකම් ධුරයටත්, 2001 වසරේදී ශ්‍රීලනිප මහ ලේකම් ධුරයටත් පත් වෙන්නේය. තවත් ප්‍රධාන කැබිනට්‌ ඇමැති ධුර ගණනාවක්‌ එකවර දරමින් මෛත්‍රීපාල මහතා රටට විශාල සේවයක්‌ සිදු කළේය.

ගොවි ජන හද ගැස්‌ම සැබෑ ලෙස හඳුනන මෛත්‍රී, කෘෂිකර්ම සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරය දරමින් තමා හැදී වැඩුණු සාම්ප්‍රදායික කෘෂිකාර්මික පරිසරයේ පාරම්පරික දැනුම, නව ලොව දැනුම සමඟÊමුසු කරමින් නිර්මාණශීලී කෘෂි ව්‍යාපෘති ගණනාවක්‌ රටට හඳුන්වා දුන්නේය. තවද අස්‌වනු වැඩිකර ගොවියා සමෘද්ධිමත් කරනු වස්‌ සහනාධාර රැසක්‌ ලබා දීමට ඔහු පුරෝගාමී විය. මොරගහකන්ද කළුගඟ සහ වලවේ වම් ඉවුර වැනි වාරි යෝජනා ක්‍රම දියත් කළේ මෛත්‍රී විසිනි.

වසර ගණනාවක සිට මෛත්‍රී කළ අරගලයක ප්‍රතිඵලයක්‌ ලෙස කිලෝ 50 පොහොර මිටිය රුපියල් 350 ට ගොවි ජනතාවට ලබාදීම පිළිබඳව සන්ධාන ආණ්‌ඩුවේ පොරොන්දුව යථාර්ථයක්‌ කරවීමට හැකි වූයේ කෘෂිකාර්මික ඇමැතිවරයා ලෙස මෛත්‍රීගේ කැපවීම හේතුවෙනි.

කලක්‌ අකර්මණ්‍යව පැවැති වී අලෙවි මණ්‌ඩලය සම්පූර්ණයෙන් වසා දැමීමට 2000 වසරේ දී කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ පනතට එකහෙළා එරෙහි වූ මෛත්‍රී එය පරාජය කිරීමට විපක්‍ෂයේ හා ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තේය. එසේ වී අලෙවි මණ්‌ඩලය රැක ගත් මෛත්‍රී 2005 වසරේදී කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස පත් වූ පසුව එය පූර්ණ බලැති රාජ්‍ය ආයතනයක්‌ බවට පරිවර්තනය කළේය. සහතික මිල යටතේ වී මිලදී ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණය අදටත් ක්‍රියාත්මක වන්නේ එදා මෛත්‍රී යළි ගොඩනැඟූ වී අලෙවි මණ්‌ඩලය නිසා ය. zඅපි වවමු – රට නගමුZ සංකල්පයේ නියමුවා ද මේ උදාර නායකයා ම වෙයි. ගොවියා රජකරවන යුගයක්‌ ඇරඹීමට මෙන්ම ගෙවත්තේ සිට තට්‌ටු නිවාසය දක්‌වා අඩු තරමින් එළවළු පැළයක්‌ හෝ වගා කිරීමට රටම පෙළගැසුණු යුගය ඇරඹුණේ එයිනි. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස 2010 වසරේ සිට 2014 වසර දක්‌වා කාලය තුළ අප රට දුම්වැටියෙන් සහ මද්‍යසාරයෙන් මුදා ගැනීම සඳහා ඔහු ගෙන ගිය අභීත අරගලය අදටත් ජන හදවත් තුළ පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය හා හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් ඒ පිළිබඳව ඔහු සම්මානයට ද පාත්‍ර වන්නේය.

දුම්වැටි හා මද්‍යසාර භාවිතය අවම කිරීම පිණිස මෛත්‍රී විසින් ගෙන එන ලද පනත් කෙටුම්පත මෑත කාලීනව රටේ මහත් ආන්දෝලනයට ලක්‌ වූවකි. එම පනත මගින් සිගරැට්‌ පැකට්‌ටුවේ පිළිකා අවදානම දැක්‌වෙන රූපමය කොටස 80% ක්‌ විය යුතු බව නිර්දේශ කර තිබිණි. එහෙත් අවසානයේ දී එය 60% දක්‌වා අඩු කිරීමට සිදුවීම පිටුපස සන්ධාන ආණ්‌ඩුවේ ම අදිසි හස්‌ත ක්‍රියාත්මක වූ බව ප්‍රසිද්ධ රහසකි.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෛත්‍රී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නොබියව ඉදිරිපත් වුව ද ඖෂධ සමාගම් සහ ආණ්‌ඩුවේ කප්පම් මාµsයාව ඊට අකුල් හෙළීය. ශ්‍රී ලංකාවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තුළදී එම පනත් කෙටුම්පත අතුරුදන් වීම ජනතාවගේ අවාසනාවයි.

දශක හතරකට අධික දේශපාලන අත්දැකීම් සමුදායකින් පරිපූර්ණ වූ මෛත්‍රී ත්‍රස්‌තවාදීන්ගේ ඝාතන ප්‍රයත්න වැඩිම සංඛ්‍යාවකින්, එනම් ආසන්න ඝාතන උත්සාහයන් පහකට මුහුණ දුන් සිංහල ජන නායකයා ය. සැබැවින් ම ඔහු බොරලැස්‌ගමුවේදී මුහුණ දුන් මරාගෙන මැරෙන ත්‍රස්‌ත ප්‍රහාරයෙන් නිරුපද්‍රිතව දිවි ගලවා ගත්තේ ජාතියේ වාසනාවටය.

2009 මැයි මස යුද්ධයේ අවසන් දින කිහිපය ද ඇතුළුව අවස්‌ථා පහකදී ම වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ මෛත්‍රී සිය වගකීම නිර්භයව ඉටු කළ නායකයෙකි. පසුගිය දශකයකට ආසන්න කාලයක්‌ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන ආණ්‌ඩුව ලැබූ මැතිවරණ ජයග්‍රහණ සියල්ලට උර දුන් අපරිමිත සංවිධාන ශක්‌තිය වූයේ මෛත්‍රී ය. මානුෂවාදී දෘෂ්ටියේ සහ සුපිරිසිදු දේශපාලනයේ ප්‍රතිමූර්තියක්‌ බඳු මෛත්‍රී ජනතා අරගලයන්ට නායකත්වය දෙන යුක්‌තිය සහ සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින්නෙකි. ගොවියා, ගැමියා සහ කම්කරුවා වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

එහි ගෞරවය අද මෛත්‍රීපාල මහතාට ලැබී තිබේ. අද රටේ හිණි පෙත්තේම සිටින පුරවැසියා ලෙස මෛත්‍රීපාල මහතා අබිසෙස්‌ ලබන්නේ එනිසාය. ඔහු තම නමට රටට ගැළපෙන නායකයෙක්‌ වනු ඇති බව ජනතා පැතුම වූයේය. මැතිවරණ වේදිකාවේදී පවා ඔහු බොහෝ විට කීවේ තමන් පලිගන්නේද, වෛර කරන්නේ ද නැති බවය. වෛර කරන්නාට මෛත්‍රී කරන බවත්, මෛත්‍රීයෙන් සහ ඉවසීමෙන් අයුක්‌තිය වෙනුවට යුක්‌තිය සාධාරණත්වය ද දූෂණය වෙනුවට පාරදෘෂ්‍යභාවය ද රජ කරන සැබෑ මානව ධර්මයන්ට ගරු කරන සංස්‌කෘතික හා සමාජ ක්‍රමයක්‌ තමන් ආරම්භ කරන බව ඔහු හැම විටම කීවේය.

* කුෂාන් සුබසිංහ