Spread the News


සම්බන්ධන්ලාගේ ජාතිවාදී දේශපාලනය
source:
සම්බන්ධන් යනු අද මෙරට සිටින භයානක ම දෙමළ ජාතිවාදී දේශපාලනඥයා වෙයි. අවුරුදු දෙකකට පෙර ඔහුගේ ජාතිවාදී දේශපාලනය කොටි සංවිධානයට බියෙන් සිදු කළ එකකැයි කිසිවකු තර්ක කළ ද අද කොටි සංවිධානයක්‌ නොමැති බැවින් කිසිවකුට එවැන්නක්‌ කිව නොහැකිය. කොටි සංවිධානය බිහි කරනු ලැබුයේ ඊනියා සිංහල ජාතිවාදයක්‌ නිසා යෑයි ඇතැම් පඬියන් තර්ක කළ ද ඒ සියලු තර්ක අවසාන වශයෙන් ගත්කල 1956 ට පසුව සිදු වී යෑයි කියන ඊනියා සිංහල ජාතිවාදයක්‌ මත පදනම වෙයි. ඉංගිරිසි වෙනුවට සිංහලය පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීමෙන් ඉංගිරිසි නොදැන සිටි සාමාන්‍ය දෙමළ ජනතාවට කිසිම වරදක්‌ නොවූ බව අපිs නැවත නැවතත් අවධාරණය කරමු. කොටි සංවිධානය බිහි කරනු ලැබුයේ ඊනියා සිංහල ජාතිවාදයක්‌ විසින් නොව දහනව වැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් මෙරට ක්‍රියාත්මක වූ රාමනාදන්, අරුනාශලම්, ජී. ජී. පොන්නම්බලම්, චෙල්වනායගම් ආදී වෙල්ලාල නායකයන්ගේ දෙමළ ජාතිවාදී දේශපාලනය විසිනි. අද ඒ පරපුරේ ම ඒ පෙලැන්තියේ ම තවත් ඉංගිරිසි කතා කරන වෙල්ලාල දෙමළ ජාතිවාදියකු වූ සම්බන්ධන් සැරසෙන්නේ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් අනාගතයේදී තවත් කොටි සංවිධානයක්‌ බිහිකිරීමටය. කොටි සංවිධානය බිහිකළ සම්බන්ධන්ලාගේ ගණයේ දේශපාලනඥයන් අදහස්‌ කළේ කොටි සංවිධානය ලවා කොස්‌ ඇට බාවා ගැනීමටය. ඔවුහු ආයුධ ගෙන කොටි සංවිධානයට එකතු නොවූහ. තමන්ගේ සුපුරුදු ජීවන රටාවෙන් ඈත් නොවුණු ඔවුහු කොටින්ට උල්පන්දන් දෙමින් තමන් වෙනුවෙන් ප්‍රභාකරන් හා ත්‍රස්‌තවාදීන් කඩේ යෑවීමට උත්සාහ කළහ. එහෙත් ප්‍රභාකරන් මොවුන් වෙනුවෙන් කඩේ යැමට සූදානම් නොවීය. ඔහුගේ සටන වෙල්ලාල නායකයන්ට ද එරෙහි ව කරන ලද සටනක්‌ විය. සාමාන්‍ය දෙමළ ජනතාව පීඩනයට ලක්‌කෙරුණේ ඊනියා සිංහල ජාතිවාදයකින් නොව වෙල්ලාලයන්ගේ කුලවාදයෙන් හා ප්‍රභූවාදයෙනි. කොටින් අතින් වෙල්ලාල නායකයන් යම් පිsරිසක්‌ ඝාතනය කෙරුණේ එබැවිනි. සම්බන්ධන් වැන්නෝ කොටි සංවිධානය ද සුරතල් කළහ. ඔවුන් කියන දෙය කළහ. සම්බන්ධන් කොටින්ගේ පාර්ලිමේන්තු නියෝජිතයා විය. ඔහු ඝාතනය නො කෙරිණි. කොටි සංවිධානයට එකතු නොවුණු සම්බන්ධන් තවත් කොටි සංවිධානයක්‌ බිහිකිරීමට බටහිරයන්ගේ ආධාරයෙන් කටයුතු කරද්දී කොටි සංවිධානය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ කේ. පී., දයා මාස්‌ටර්, කරුණා අම්මාන් ආදීහු අද ආණ්‌ඩුව සමග එකතු වී දෙමළ ජනයාගේ සුබසිද්ධිය සඳහා ක්‍රියා කරති. එපමණක්‌ නොව සුසෙයි, තමිල් සෙල්වම් ආදීන්ගේ භාර්යාවෝ ද අද ආණ්‌ඩුවේ ගුණ වණති.

සම්බන්ධන් අද තම දෙමළ ජාතිවාදී දේශපාලනය ඔස්‌සේ ආණ්‌ඩුවට යම් තර්ජනයක්‌ කරයි. දෙමළ ජාතික සන්ධානය යනුවෙන් හැඳින්වෙන ඔහුගේ දේශපාලන සංවිධානය කොටින්ගේ පාර්ලිමේන්තු පක්‍ෂය විය. ඉන් අදහස්‌ කරන්නේ එහි සියලු සාමාජිකයන් කොටින් වෙනුවෙන් කඩේ ගිය බව නොවේ. ඇතැම් මන්ත්‍රීවරු පසුව වුව ද කරුණු අවබෝධ කරගත්හ. එහෙත් සම්බන්ධන් ආදීහු එසේ නොවෙති. ඔවුන් අවදි කිරීමට නොහැක්‌කේ ඔවුන් බොරුවට නිදාගෙන ඇති බැවිනි. ඔහු අද ආණ්‌ඩුවට තර්ජනය කරයි. තම දේශපාලන පක්‍ෂයේ බෙදුම්වාදී ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්‌වීමට ආණ්‌ඩුවට දින නියම කරයි. යාපනය දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු කිරීමට මැතිවරණ කොමසාරිස්‌වරයා ගත් නීත්‍යනුකූල තීරණය වෙනස්‌කරවීමට ඔහු උත්සාහ ගනියි. ඔහු ඒ සියල්ල යුක්‌තියුක්‌ත කිරීම සඳහා පසුගිය දිනවල පවත්වන ලද පළාත් පාලන මැතිවරණවලින් දෙමළ ජාතික සන්ධානය ලත් ජයග්‍රහණ යොදා ගනියි. ඒ අතර බීබීසියේ හතර වැනි නාලිකාව වූ චැනල් ෆො නම් ජනමාධ්‍ය ගණිකාව ලංකාවට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයට සහාය දෙයි. ඒ ඔහු මෙන් නොව මානුෂික මෙහෙයුම්වල අවසාන කාලයේදී කොටින් සමග සිට කොටි ඉතා කෲර ලෙස දෙමළ ජනයා මරා දැමූ ආකාරය සියෑසින් දැක චැනල් ෆො නාලිකාවේ බොරුව හෙළිකරන ඔහුගේ ම පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරයකු කියන කරුණු තුට්‌ටුවකටවත් මායිම් නොකරමිනි. ඉතා පැහැදිලිව සම්බන්ධන් වැන්නන් හා කොටින් සමග ජීවත් වූ දෙමළ දේශපාලනඥයන් අතර වෙනසක්‌ වෙයි. කොටින් සමග එක්‌වී ඔවුන් සමග ජීවත් වී ඔවුන් සමග සටන් කළ දේශපාලනඥයෝ (කරුණා අම්මාන් වැන්නෝ) ඔවුන්ට සම්බන්ධන්ලා උගන්වා තිබූ ආකාරයට දෙමළ ජනයාට අසාධාරණයක්‌ වී ඇතැයි පිළිගනිමින් ඒ ඊනියා අසාධාරණයට එරෙහිව වැරැදියට එහෙත් අව්‍යාජව කටයුතු කළ අය වූහ. ඔවුහු තම වරද දුටු විට එය පිළිගෙන අද ආණ්‌ඩු සමග එකතු වී කටයුතු කරති. එයට හේතුව ඔවුන් අව්‍යාජව දෙමළ ජනයා වෙනුවෙන් කටයුතු කිරීම ය. වැරැදියට වුව ද ඔවුන් ආයුධ ගත්තේ ඔවුන්ට උගන්වා තිබූ ආකාරයට දෙමළ ජනයාට වී ඇතැයි කී අසාධාරණ නැතිකිරීමටය. අද ඔවුන් දන්නා කරුණ නම් පොලිස්‌ බලතල හෝ ඉඩම් පැවැරීමේ බලතල ඉන්දීය ආකෘතිය අනුව පිහිටු වන ලද පළාත්සභාවලට අනවශ්‍ය බව ය. එමෙන්ම ඒ බලතලවලින් කිසි දිනෙක දෙමළ ජනයාට ප්‍රයෝජනයක්‌ නොමැති බවත් ඔවුන් දන්නේ යෑයි සිතමි.

එහෙත් සම්බන්ධන්ලා පොලිස්‌ බලතල වෙනුවෙන් උගුර ලේ රහ වන තුරු කෑ ගසති. ඔවුන් එසේ කරන්නේ සාමාන්‍ය දෙමළ ජනයා වෙනුවෙන් නොව තමන් වැනි ම වූ දෙමළ ජාතිවාදී ව්‍යාජ දේශපාලනඥයන් වෙනුවෙනි. පොලිස්‌ බලතල අවශ්‍ය වනුයේ අවසාන වශයෙන් ගත්කල මහ ඇමතිවරුන්ට සුළු ඒකාධිපතිවරුන් වීමටත් අවසානයේ දී දෙමළ ඊළමකට පාර කැපීමටත් ය. සම්බන්ධන්ලා කිසි දිනෙක සිංහලයන්ගේ අවශ්‍යතාවලට කන් නොදුන්හ. ඔවුහු අඩුම තරමෙන් සිංහලයන්ට අවශ්‍යතා තිබෙන බවවත් සැලකිල්ලට නොගත්හ. ඔවුන් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යන්නෙන් අදහස්‌ කරන්නේ සිංහලයන්ට ඓතිහාසිකව, සංස්‌කෘතිකව හා ජනඅනුපාතිකව මෙරට හිමි තැන අහිමි කිරීමටය. එහි දී ඔවුන්ට මෙරට සිටින වැලේ වැල් නැති කසිකබල් මාක්‌ස්‌වාදී, ලිබරල්වාදී පශ්චාත්තාපවාදී ආදී විවිධ වර්ගවල පඬියන්ගේ ද රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය ලැබෙයි. ආණ්‌ඩුව සිංහල ජනමතයට හා දෙමළ සාමාන්‍ය ජනමතය නියෝජනය කරන කොටින් සමග සිටි දේශපාලනඥයන්ගේ මතයට ගරුකරමින් පොලිස්‌ බලතල ඉඩම් පැවැරීමේ බලතල පළාත් සභාවලට නොපැවැරිය යුතු ය. අප රට ආණ්‌ඩු කළ යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවලටත්, වැලේ වැල් නැති කසිකබල් දේශපාලන පක්‍ෂවලටවත්, පඬියන්ටවත්, චැනල් ෙµda නාලිකාවටවත්, බටහිරයන්ටවත්, ඉන්දියාවටවත්, සම්බන්ධන් වැනි දෙමළ ජාතිවාදීන්ටවත් අවශ්‍ය ආකාරයට නොවන බව අපි අවධාරණය කරමු. සම්බන්ධන්ලාට කුදගසා ගැනීමට කීම හැර වෙනත් විකල්පයක්‌ ආණ්‌ඩුවට නැත.

මෙහි දී පඬියන් ද සම්බන්ධන්ලා ද කියනු ඇත්තේ දෙමළ ජනයාගේ වරම පසුගිය පළාත් පාලන ආයතනවල මැතිවරණවලට අනුව දෙමළ ජනතා සන්ධානයට හිමි වී ඇති බවය. දෙමළ ජනයාගේ දේශපාලනය දන්නා කිසිවකු ඒ නිගමනයට නොපැමිණෙනු ඇත. දෙමළ ජනයාගේ දේශපාලනය හා ජාතිකත්වය ක්‍රියාත්මක වන්නේ උඩ සිට පහතට ය. ඔවුහු නායකයන් අනුව කටයුතු කරති. ඔවුන්ට නායකයන් වෙනස්‌ කිරීමට නො හැකිය. නායකයන් වෙනස්‌ කෙරෙනුයේ තවත් නායකයන් විසින් මිස ජනතාව විසින් නොවේ. යම්කිසි අයුරකින් ප්‍රභාකරන් ජීවත්ව සිටිය දී මැතිවරණයක්‌ තිබිණි නම් ඔවුන් ඡන්දය දෙන්නේ කොටින්ටය. වෙල්ලාලයන්ගේ පීඩාවට ලක්‌වුණ ද ඔවුහු වෙල්ලාලයන්ට ම ඡන්දය දෙති. එසේ නොවීමට නම් ඩග්ලස්‌ දේවානන්දා වැනි බලවත් නායකයන් සිටිය යුතුය. ඩග්ලස්‌ දේවානන්දාට කයිට්‌ස්‌ හා දූපත්වල බලයක්‌ ඇත. එහි නායකයා ඔහු ය. කිලිනොච්චියේ නායකයා තවත් දෙමළ ජාතිවාදී නායකයකු වූ ආනන්ද සංගරී ය. ඔහු හා සම්බන්ධන් අතර ඇති ප්‍රධාන වෙනස සංගරී වඩා සියුම් හා උපක්‍රමශීලී වීමය. දෙමළ ජනයාගේ ඡන්දය විකල්ප නායකත්වයක්‌ නැතිකමෙන් දෙමළ ජාතිවාදීන්ට දුන් ඡන්දයක්‌ මිස ඊළමක්‌ හෝ බලය බෙදීමක්‌ හෝ සඳහා දුන් ඡන්දයක්‌ නොවේ. අද ආණ්‌ඩුව කළ යුත්තේ සම්බන්ධන්ලාට විකල්ප නායකත්වයක්‌ උතුරු පළාතේ ඇති කිරීමට කටයුතු කිරීම ය. එය නොකළ හැක්‌කක්‌ නොවේ. අවශ්‍ය වන්නේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගත හැකි ඒ වෙනුවෙන් ඉදිරිපත්විය හැකි පිරිසක්‌ නායකත්වයට පුහුණු කිරීමය. එවිට දෙමළ ජනතාවට නැති ව්‍යාජ ප්‍රශ්නයක්‌ ගැන කතා කරමින් සිංහලයන්ට හිමි තැන අහිමි කිරීමට උත්සාහ කරන සම්බන්ධන්ලාට චැනල් ෆො හැරෙන්නට වෙනත් සරණක්‌ නැතිවනු ඇත. සම්බන්ධන් අද මැතිවරණ කොමසාරිස්‌වරයා යාපනය දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට ගත් ව්‍යවස්‌ථානුකූල තීන්දුවට විරුද්ධව ඊනියා ප්‍රජාතන්ත්‍රීය විරෝධයක්‌ මතු කිරීමට උත්සාහ ගනියි. ඔහු කියන ආකාරයට තවමත් ජනතාව යාපනයට පැමිණෙමින් පවතියි. එබැවින් මේ අවස්‌ථාවේදී තීරණ ගැනීම නුසුදුසු යෑයි ඔහු කියයි. එහෙත් මේ සුදුසු අවස්‌ථාවක්‌ ගැන ව්‍යවස්‌ථාවෙහි සඳහන් නොවේ. එසේ සඳහන් ව තිබුණත් ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ සම්බන්ධන් හෝ සංගරී හෝ නොවේ. මොවුන්ගේ වෑයම ඔවුන්ට නැති බලයක්‌ පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමය. සම්බන්ධන්ලා රාමනාදන්ලාගේ කාලයේ සිට ම ඉංගිරිසින්ගේ උපකාරයෙන් කළේත් දැන් කිරීමට තැත්කරන්නේත් ඔවුන්ට නැති බලයක්‌ සංඛ්‍යාත්මක ප්‍රයෝග (ජිල්මාට්‌) ඔස්‌සේ ව්‍යවස්‌ථාදායකයේ අත්පත් කර ගැනීමය. සම්බන්ධන් උත්සාහ කරන්නේ ආපසු චෙල්වනායගම් යුගයට ගොස්‌ ප්‍රභාකරන් කෙනකු බිහිකර බෙදුම්වාදී දේශපාලනය නැවත ඇති කිරීමට ය. එහෙත් ඔහු දැනගත යුතු කරුණ නම් නන්දිකඩාල් කලපුවේ ඒ දේශපාලනය ගිල්වා ඇති බවය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලනය මිස අනෙකක්‌ නොවේ. හමුදා මෙහෙයුම්වලින් පරාජය වූ දේශපාලනයටවත් දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඇතුළු ඒ දේශපාලනයෙහි ඊනියා විසඳුම්වලටවත් ආපසු යා නොහැකි ය. පඬියන්ගේ බසින් කියන්නේ නම් පශ්චාත් යුද සමයෙහි දෙමළ ජාතිවාදී දේශපාලනය වලංගු නැත. එය පරාජය වී අවසන්ය.