Spread the News

සම්බුදු දහමින් ලෝක සත්ත්වයා ලැබූ සැනසීම අනන්තය-අප්‍රමාණය

– ජනපති

SOURCE LINK:

රටට ගෞරවණීය සාමය උදාකිරීමේදී මෙන්ම මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙනයෑමේදී පිළිපදින්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් සතර අගතියෙන් තොර වූ ධර්මය පෙරටු කැර ගත් රාජ්‍ය ප්‍රතිපත්තිය යැයි 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වෙයි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව 2600 වන සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මහා මංගල්‍යය අප සමරන්නේ දැඩි භක්ත්‍යාදරයෙන් යුතුවය.

සම්බුද්ධ දේශනාව වසර දෙදහස් හයසියයක් මුළුල්ලේ සමස්ත සමාජයට ම නිවැරැදි ජීවන මඟ පෙන්වා දී තිබේ. සකල ලෝක සත්වයා ඉන් ලැබූ සැනසීම අනන්ත ය. අප්‍රමාණය. අප මාතෘ භූමිය ලෝකයේ ගෞරවයටත්, අභිමානයටත් පාත්‍ර වන්නේ එවැනි උතුම් දහමක් වසර දහස් ගණනක පටන් රැකගත් නිසාත්, එම දහමට අනුව ජීවන පිළිවෙත හැඩ ගසාගත් නිසාත්ය.

”ක්‍රෝධ කරන්නා මෛත්‍රී කිරීමෙන් දිනිය යුතු ය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුªය. මසුරා ත්‍යාගයෙන් ද, බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතුය.” යනුවෙන් සම්බුදු දේශනාවේ සඳහන් වේ. අප හමුවට එන සියලු අභියෝගවල දී මෙකී උතුම් දහමෙන් පෝෂණය වූ ආදර්ශය ලොවට ප්‍රදර්ශනය කළ යුතු වන්නේය.

තෘෂ්ණාව හේතුවෙන් ලොව හටගත් සියලු ගැටුම් නිරාකරණය වී සත් වගට මෙත් පතුරණ මඟ අප ලෝකයට විවර කර දිය යුතු ය. නිවෙන සැනසෙන ලෝකයක් ගොඩ නැඟීමට ධර්මයෙහි මඟ පෙන්වීම ලබා දිය යුතුය. අප තථාගතයන් වහන්සේගේ අවසන් බුද්ධ වචනයට අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී නොපමාව කුසල් දහම් රැස් කොට සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මංගල්‍යය අර්ථවත් කර බුදුන් වහන්සේ සරණ යාමට අදිටන් කර ගනිමු