Spread the News

ලන්ඩන් හෑගොඩයාගේ කොලම

සර්ප විමානෙට එහා ලෝකයෙන්..!

source:

මේ මාතෘකාවෙන් ඉස්‌සෙල්ලම මම ලිව්වේ 1998 දී. තාමත් මේ ගැන ලියන්න වෙන සිදුවීම් දිනපතාම වාගේ වෙන හින්දා ආපහු ලියන්න හිතුවා.

ළඟදී අපි ගියා ලන්ඩන්වලින් ටිකක්‌ ඈත ලෙස්‌ටර් කියන ප්‍රදේශයේ ජීවත්වුණු යාළුවෙකුගෙ මරණෙට එහෙ කනත්තට. ලස්‌සනට මල් වවල පිරිසිදුවට තියෙන සුසාන භූමිය දැක්‌කම මැරෙන්න හිතෙනව. මට මතක්‌ වුණා බොරැල්ලෙ කනත්තට ගිය දවසක එතන මිනී වළක්‌ ළඟ දරනෙ ගහගෙන හිටපු සර්පයෙක්‌ මට පෑගෙන්න ගිය හැටි. මම සර්පය දැක්‌කෙ නෑ. මගේ ළඟ හිටපු යාළුවෙක්‌ දැකල මාව තල්ලු කෙරුවෙ නැත්නම් මට මෙහෙම ලියන්න හම්බුවෙන්නෙ නෑ. ඒ අතින් මෙහෙ සුසාන භූමි හොඳයි. කොහොමත් එංගලන්තෙ සතා සර්පයො නැහැනේ. ඉන්නෙත් එකම එක ජාතියයිලු. ඌත් වසක්‌ විසක්‌ නැහැලු. කොහොම වුණත් මෙහෙ එක්‌තරා ජාතියක සර්පයො ලංකාවටත් වැඩිය ඉන්නව කියලයි මට හිතෙන්නෙ.

පුංචි කාලෙ දෙහිවල සත්තු වත්තට අපිව ඉස්‌කෝලෙන් එක්‌ක ගියා මට මතකයි. එතන තිබුණු සර්ප විමානය. සර්පයො ඉන්න වීදුරු පෙට්‌ටි ළඟට අපි ගියේ බයෙන් බයෙන්. අපේ මිස්‌ අපිට ඒ සර්පයන්ගෙ නම් වගේම උන් කොච්චර විෂ ඝෝරද කියලත් කියල දුන්න. එක වීදුරු පෙට්‌ටියක්‌ හිස්‌ව තිබුණා. ඒකෙ තිබුණේ වේලිච්ච කෝටු කෑල්ලක්‌ විතරයි. හිටපු සතා සර්පය මැරෙන්න ඇති කියල අපිට හිතුණා. මෙන්න යකඩෝ ටික වේලාවක්‌ යනකොට අර කෝටු කෑල්ලට පණ ඇවිල්ල ටික ටික ඇදෙන්න පටන් ගත්තා. බැලින්නම් ඒ කෝටු කෑල්ලක්‌ නෙමෙයි. එක ජාතියක සර්පයෙක්‌. සමහර සර්පයන්ගෙ හැටි එහෙම තමයි. අඳුන ගන්නම බෑ.

විසිකුරු සතුන්ගේ ලෝකයේ වෛවරණ සර්පයො ඉන්නව. විෂ ඇති, විෂ නැති, දළ ඇති, දළ නැති, පාට ඇති, පාට නැති යනාදී වශයෙන්. සර්පයන් දහස්‌ ගණනක්‌ වර්ග හිටියත් උන් අතරින් ගෞරවනීය තැන ලැබෙන්නෙ නයාට, නාග රාජයාට, නයා ප්‍රතිපත්ති ඇති සර්පයෙක්‌. තමා ළඟ මරණීය විෂ දළ තිබුණා. එය පාවිච්චි කරන්නෙ බැරිම තැනකදී තමයි. අන්ධයෙකුට නයෙක්‌ පෑගිච්ච වෙලාවෙ නයා අන්ධයාගෙ මූණ දිහා බලල අන්ධයෙක්‌ බව දැනගෙන දෂ්ට නොකර අයින් වෙලා ගිය බව අපේ ආච්චි කියනව මට මතකයි. සමහර දවසක මිදුලට නයෙක්‌ ආවහම ආච්චි අම්ම බොහොම බැගෑපත් විදිහට කියනව.

“අනේ නයි හාමි මේ ගෙදර කිරිසප්පයො ඉන්නවා. උන් බයවේවි. අනේ වෙන අහකට ඇදිල යන්න” කියල.

එහෙම කියනවත් එක්‌කම මෙන්න ගෙට එන්න ආපු නයා ආපහු හැරිල වත්ත පහළට යනව. ඒ නිසයි නයාට ඇහෙන්නෙ නෑ කියල නවීන විද්‍යාව කියන දේ පිළිගන්න මම ටිකක්‌ අදිමදි කරන්නේ.

හැබැයි පොළඟ එහෙම නෙමෙයි. සර්පයන් අතරෙන් මහම එපා කරපු එකා තමයි පොළඟා. තමන් යන ගමන නවත්වල ඇවිත් දෂ්ට කරල යන සිරිතක්‌ උගේ තියෙනව. ගැට පොළඟා, තිත් පොළඟා, විල්ලුද පොළඟ ආදී වශයෙන් නානා ප්‍රභේද තිබුණත් පොළඟා අඳුන ගන්න අමාරුයි. කනකොට පැන පැන කන්නෙ. පොළඟ ආශ්‍රය කරනවනං මැරෙන්න බලාගෙන ආශ්‍රය කරන්න ඕනේ.

ගැරඬියා ගැන කියන්න ඕනෙ නැහැනෙ. ඌ එන්නෙ අහල පහළ ඉන්න මීයන්ගෙ ඉවට. දිග රිටක කෙරවලේ භූමිතෙල් පාංකඩයක්‌ බැඳල ඈතින් ඉඳල උගේ ඇඟේ ඇතිල්ලුවහම ඔලිම්පික්‌ පරාද වෙන්න දිවිල්ලක්‌ දුවනව. අපට මතක ඇති කාලෙ පැත්ත පළාතෙ එන්නෙ නෑ. සර්ප ලෝකෙ කිසිම කෙනෙක්‌ ගණන් ගන්නෙ නැති දෙකට තුනට නැවෙන නිවටයෙක්‌ ගැරඬිය. නයාට වගේ පෙන ගොබයක්‌ නැති හින්දා සමහර වෙලාවට ගැරඬියව තැඹිලිති කටුවක්‌ උස්‌සල වහනවලු නයි පෙනේ වගේ පේන්න හිටින්න. මෙතනදී බොහොම දෙනෙක්‌ ගැරඬියට රැවටෙනව නයා කියලා. ඒත් සැකයි නම් කරන්න තියෙන්නෙ අර භූමිතෙල් ට්‍රීට්‌මන්ට්‌ එක දෙන එකයි.

මාපිලන් ගැන අපි හොඳට අහල තියෙනවනේ. උන් එනකොට හත් දෙනෙක්‌ම එනවලු. වහලෙන් එකෙක්‌ පහතට එල්ලුනාම උගේ ඇඟේ තව එකෙක්‌ එල්ලෙනව. ඒකගේ ඇඟේ තව එකෙක්‌ එල්ලෙනව. ඔය ආදී වශයෙන් දිගටම හත් දෙනෙක්‌ එල්ලුනහම ඇඳේ හෝ බිම නිදා ගන්න කෙනා ළඟටම වැල දික්‌ වෙනව. අන්තිම එකා උරා බොන ලේ හත් දෙනාටම ලැබෙනවලු. නිදාගන්න කෙනාට බොහොම සනීපෙට අවසන් නින්දම යනවලු. රෑට නින්දට යනකොට බොහොම විමසිල්ලෙන් යන්න ඕනේ. ඔය වර්ගේ හත් අට දෙනා කොහෙන් පාත්වෙයිද දන්නෙ නෑනේ.

දරණ ගහන, පෙනේ පුප්පන, බඩ ගාන, හැව අරින, මෙකී නොකී සර්පයන් අතර භයානකම එකා තමයි පිඹුරා. ඌ කරන්නෙ හොඳ යාළුවෙක්‌ වගේ වෙලා ගන්න එක. කරට උඩින් අත දාගෙන සීතලට ඇඟේ වෙළෙන කොට සනීපෙ වැඩිකමට නින්ද යනව. අමතක වෙනව මේ පිඹුරෙක්‌ නේද කියල. ටික ටික ග්‍රහණය වැඩිවෙන කොට සට පට ගාලා ඉල ඇට පොඩි වෙනකොට තමයි තේරෙන්නේ මේ ආදරේට නෙවෙයි කියලා. එතකොට ඉතින් මුකුත් කරන්න බෑ. බාගෙට මැරිල බේර ගත්තත් වැඩක්‌ නෑ. නිකං පාංකඩ කෑල්ලක්‌ වගේ තමයි.

සර්පයා අහිංසක සතෙක්‌ කියල අපිට පැහැදිලිවම කියන්න කාරණා නැති වුණත් උන් හුඟක්‌ වෙලාවට ඉන්නේ හැංගිලා. හැබැයි හැංගිලා ඉඳලා වුණත් ඇටෑක්‌ එක දුන්නහම අන්තිමයි. කොච්චර දරුණු වුණත් නයි නටවන මිනිහෙකුට අහුවුණහම නයාගෙන් වුණත් ගන්න දෙයක්‌ නැති වෙනවාලු. දළ දෙකම ගලවල දාලා නටවන මිනිහගෙ නළාවට අනුව නටන්න සිද්ධවෙලා තියෙන නයි දැක්‌කම අනුකම්පාව හිතෙන්නෙ නැද්ද? නයාට දළ දීල තිබුණේ ගහගන්න අතක්‌ පයක්‌ නැති හින්දනෙ.

කොහොමටත් හකුරු කර්මාන්තයට හුඹස්‌ මැටි එකතුවෙච්ච කාලෙ ඒ කර්මාන්තෙ නිදහසේ කරගෙන යන්න ඉඩ දුන්න නං අද වෙනකොට ලංකාවෙ එක නයෙක්‌වත් ඉතිරි වෙයි කියල හිතන්න බෑ. සමහර මිනිස්‌සුන්ට නයා වගෙ කියල කියන්නෙ ඇඟපතේ විදිහටද එහෙම නැත්නම් මාරාන්තික විෂ කටේ තියාගෙන ඉන්න එකටද කියන එක ප්‍රශ්නයක්‌ නෙවිනෙ. “විෂඝෝර සර්පයා අතහැරී මෝඩයා” කියල පුරාණ කියමනක්‌ තියෙනව. අත ඇරියොත් ඌ දෂ්ට කරනව. සර්පය විශ්වාස කරන්න පුළුවන් සතෙක්‌ නොවෙයි නේ. පුනරුත්ථාපනය කරල ගන්න පුළුවන් එකකුත් නොවෙයි. සුරතලයට ආදරෙන් ඇති කරන්න පුළුවන් එකෙකුත් නොවෙයි.

ඒ නිසයි බොහෝ දෙනා සර්පයෙක්‌ දැක්‌ක ගමන් පොල්ලක්‌, මෝල් ගහක්‌ හොයන්නෙ. ඒත් පර පණ නහන්න මගේ හිත ඉඩ දෙන්නෙ නැති නිසා සර්පයෙක්‌ දැක්‌ක ගමන් මං කරන්නේ උගේ හුළඟවත් නොවදින්න පාරෙන් අනිත් පැත්තට පනින එක. ඒ එක්‌කම ඉස්‌සරහට හම්බුවෙන හැමෝටම කියනව ඒ හරියෙ සර්පයෙක්‌ ඉන්න වග. සර්පයින් ගැන අපි ජනතාව දැනුවත් කරන්න ඕනෙ. ඌට කිරිපොවන්න යන්න එපා. මතක තියා ගන්න සර්පය සර්පයාමයි.

නීතිඥ අනුර හෑගොඩ