Spread the News

සර්වාගමික සංකල්පයද විදේශීය ආධාර ලබන ඇන්.ජී. ඕ. වල නිර්මාණයකි

source:

මේ නොබෝදා කොළඹ අගරදගුරු අති උතුම්   මැල්කම් රංජිත් කාඩිනල් උතුමානෝ සිංහල   සංස්කෘතිය සදහා පාදක වී ඇත්තේ බුදු දහම බව    ප්රකාශ කළේය. ඇත්ත වශයෙන්ම සිංහල ජනයාගේ    සිතුම් පැතුම්, ජීවන ක්රමය, කලා ශිල්ප වැනි හැම දෙයක්ම හැඩගස්වනු ලැබුවේ බුදු දහම විසිනි.

බුදු දහම මෙරටට පැමිණීමට පෙර අපේ රටේ බ්රාහ්මීය අක්ෂර ක්රමය පැවතියත් බ්රාහ්මීය අක්ෂර භාවිතය මෙරට ප්රචලිත වූයේ බුදු දහම හා සම්බන්ධ ලේඛන ආශ්රයෙනි. පසුව බ්රාහ්මීය අක්ෂර ක්රමය විකාශනය වී එය පදනම් කරගෙන සිංහල අක්ෂර මාලාව සකස් විය.

පාලි භාෂාව හා පාලි ආගමික සාහිත්‍යය පැමිණියේ බුදු දහම සමගය. ලංකාවේ ආගමික සාහිත්‍යය බිහි වූයේ ත්රිපිටකය හා එහි අටුවාවන්ගේ පරිවර්තනයන් ආශ්රයෙනි. ථේරවාදී බෞද්ධ ලෝකයේ භාෂා මාධ්‍යය වූ පාලි භාෂාව මෙරට සංඝයා වහන්සේගේ අධ්‍යයන මාර්ගය වූයේය. එකල ලංකාවට චීනය හා අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල් සමග සම්බන්ධකම් ඇති කරගැනීමට පාලි භාෂාව බෙහෙවින් ඉවහල් විය.

මෙරට ආගමික හා සංස්කෘතික ප්රබෝධයේ උල්පත වූයේ බෞද්ධ සාහිත්‍යයයි. ජාතක කථා හෙවත් බුදුන් වහන්සේගේ පූර්ව උත්පත්ති කථා මෙරට වැසියන්ගේ සුචරිත පැවැත්මේ කැඩපත වූයේය. ලංකාවේ වෙහෙර විහාරවල හා දාගැබ් වල දක්නට ලැබෙන ජාතක කථාවල කැටයම් හා බිතු සිතුවම් මෙරට වැසියන්ට ජාතක කථාවල බලපෑම මොනවට පිළිබිඹු කරයි.

සිංහල වැසියන්ගේ සදාචාරය පිළිබදව මාර්ගෝපදේශකයා වූයේ මහා සංඝයා වහන්සේය. බෞද්ධ භික්ෂුහු ගිහියන් අතර ශික්ෂාකාමී ආචාර පද්ධතියක් පුරුදු පුහුණු කළහ. සෑම ගමකම පාහේ  පන්සලක් තිබුණ අතර එය ගමෙහි අධ්‍යාත්මික, ශාස්තීය හා සංස්කෘතික මධ්‍යස්ථානය වූයේය.  අනුරාධපුර යුගයේ මහා විහාරය හා අභයගිරි විහාරය රජුන් හා උගතුන් එකට ඉගෙනගත් විශ්ව විද්‍යාල බදු විය.
බුදු දහම  විසින් ඇති කරන ලද ශද්ධාව හේතුකොට ගෙනය ලංකාවේ සාහිත්‍ය කෘතීන්, කලා ශිල්ප හා ගොඩනැ ගිලිද නිර්මාණය වී ඇත්තේ. විහාර හා දාගැබ් , කැටයම් , බිතු සිතුවම් ආදි සෑම දෙයක්ම ධර්මය හා බැදී පැවති අතර එය බිහි වී ඇත්තේ බුදු දහමේ කීර්තිය හා ජෝතිමත් භාවය මූර්තිමත් කරනු සදහාය.

මෙරට කලා ශිල්පයන්හි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් ඒවායේ සරල සුගම උපශාන්ත භාවයයි. මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමය අවුකන හිටි පිළිම වහන්සේ, අනුරාධපුර යුගයේ දොරටුපාල කැටයම්, වාහල්කඩ හා සදකඩ පහන කලා ලෝකයේ අද්විතීය නිර්මාණයන් ලෙස සලකනු ලැබේ. ඒවායේ කවර විටෙකත් සමකාලීන ඉන්දියාවේ දක්නට ලැබෙන ප්රතිරූපයන්හි මෙන් කාමුක හා කඨෝර අංගයන් දක්නට නොලැබේ. සිංහල කලා කරුවා සෑම විටම බුදු දහමේ නිර්මල හා දාර්ශනික හරයන් මගින් සංවර කරනු ලැබ ඇත.

බුදු දහම මෙරට වැසියන්ගේ ජීවන රටාව කෙරෙහි බෙහෙවින් පලපෑවේය. ඔවුන්ගේ සිතුම් පැතුම්, ආවේග ඉරියවු හා සිරිත් විරිත් පසුපස වූ බලවේගය බුදු දහම විය. බුදු දහම ඔවුන් තුල මෛත්රීය, කරුණාව අවිහිංසාව හා පරාර්ථය වැනි ආකල්ප කාවැද්දීමට සමත් විය.

අප ලංකාවාසීන් අවුරුදු 2500 කටත් වඩා පැරණි ඉතිහාසයක් ශ්රේෂ්ඨ සභ්‍යත්වයක් හා උදාර සංස්කෘතියකට හිමිකම් ලබා ඇත. මෙරට වැසියන්ගේ සංවරශීලී, ත්‍යාගශීලී හා ආචාරශීලී ගුන සමුදායන් නිසා ඔවුන් සමස්ථ ලෝක ජනතාවගේම ගෞරවාදරයට ලක්ව ඇත. මෑතදී කරන ලද පර්යේෂණයක් අනුව තුන්වන ලෝකයේ ඉතා අඩුම ආදායමක් ලබන නමුත් ආයුෂ වැඩිම කාලයක් භුක්ති විදින ජනතාවක් ලංකාවේ සිටින බව හෙළීදරව් වී ඇත. එය ලංකාවේ ජනතාව බෞද්ධ ජීවන රටාව අනුව ලද පමණින් සතුටු වී ඉතා සැහැල්ලූ ජීවිතයක් ගතකරන නිසාය. මේ නිසා අප ජනතාව බුදු දහමට වින කරන කිසිම බලවේගයක් නොඉවසනු ඇත.

එදා තම යටත් විජිතයන් කඩුවේ හා තුවක්කුවේ බලයෙන් පාලනය කළ බටහිර ජාතීහු අද නව යටත්විජිත වාදය යනුවෙන් හදුන්වනු ලද සියුම් උපක්රමයන් මගින් පෙරදිග වැසියන් තම ග්රහණයට ගැනීමට කිරියා කරති. මේ සදහා ඔව්හු අන්තර් ජාතික මූල්‍ය අරමුදල, බහු ජාතික සමාගම්, සංස්කෘතික ආක්රමණය, ඇන්.ජී. ඕ. ආයතන සහ කිතු දහමද යොදා ගනිති. එක්තරා සංස්කෘතික ආක්රමණයක් වන සර්වාගමික සංකල්පයද විදේශීය ආධාර  ලබන ඇන්.ජී. ඕ. වල නිර්මාණයකි.
සර්වාගමික සංකල්ප පළමුවෙන්ම ඉදිරිපත් කරනු ලැබුවේ විදේශීය ආධාර ලබන ඇන්. ජී. ඕ. සංවිධාන පිහිටුවා ගත් කතෝලික පියවරුන් විසිනි. ඔවුහු කිරිස්තූන් වහන්සේගේ පිළිරුව  එක් පැත්තකින්ද බුදුන් වහන්සේගේ පිළිරුව තවත් පැත්තකින්ද තබාගෙන අහස හා පොළොව මෙන් වෙනස් බුදු දහම හා කිතු දහම සමාන්තර ධර්මයන් යැයි හදුන්වමින් සැගවුනු න්‍යාය පත්රයක් අනුව බෞද්ධයන්ද තම ග්රහණයට ගැනීමට තැත් කළහ.

දෙවැනි වතිකානු  සමුළුවට (1962 – 65) පෙර කතෝලික ස්ථාවරය වූයේ එකම සත්‍ය ධර්මය කිතු දහම බවත් එයින් තොරව මනුෂ්‍ය සංහතියට ගැලවීමක් නොමැති බවය. ශත වර්ෂ ගණනාවක් තිස්සේ කතෝලික සභාව අන්‍යාගමිකයන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස සැලකුවේය. කතෝලික සභාව ‘ ඉන්කිව්ශියන් ’ නමැති සංවිධානය මගින් අන්‍යාගමිකයින් අමු අමුවේ පුළුස්සා මරා දැමීමට තරම් සාහසික වූයේය.   වර්ෂ 2000 දී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ  ඉතිහාසය පුරා කතෝලික සභාව කර ඇති එවැනි දරුණු අපරාධ සදහා ප්රසිද්ධියේම සමාව භජනය කර සිටි සේක.

දෙවන වතිකානු සමුළුව (1962 – 65) කතෝලිකයන් අතර අන්‍යාගමිකයන් සම්බන්ධයෙන් බලවත් වෙනසක් ඇති කළේය. එය අන්‍යාගම් වල ගැබ්ව ඇති සත්‍යයට කතෝලිකයන් ගරු කළ  යුතු බවත් ඒවායේ සංස්කෘතීන්හි ඇති සදාචාර හර පද්ධතීන් අගය කළ යුතු බවත් නිර්දේශ කළේය. එහෙත් දෙවැනි වතිකානු සමුළුව කිතු දහම විකෘති කිරීමට සහතිකයක් නිකුත් කළේ නැත.

දෙවැනි වතිකානු සමුළුව (1962 – 65) කිතු දහම අන්‍යාගමිකයන් අතර ප්රචලිත කිරීමට ඇති කතෝලික වගකීම නැවතත් සාක්ෂාත් කළ අතර  කතෝලික  සභාවේ තවමත් ස්ථාවරය වනුයේ මනුෂ්‍ය වෙස්ගත් සර්වබලධාරී දෙවියන් වහන්සේ  ක්රිස්තුන් වහන්සේ බවත් මනුෂ්‍ය සංහතියට විමුක්තිය ලබාදීමට ඇති එකම සංස්ථාව කතෝලික සභාව බවය.

මේ අතර 2004 ‘ දම්සර ’ වෙසක් කලාපයෙහි තායිලන්තයේ පළ කර ඇති ‘බුදු දහමට එරෙහිව කතෝලික කුමන්තරණය ’ ග්රන්ථයෙහි සදහන් අන්දමට කතෝලික කොටස් බුදු දහම ආක්රමණය කිරීමට යොදාගෙන ඇති ක්රම සහ විධි විස්තර කර ඇත. ඒවා අතර ඇතැම් කතෝලික පූජකයන් බෞද්ධ සංඝයා වහන්සේටත් වඩා බුදු දහම ප්රගුණ කිරීම ධම්ම සංකල්පය දෙවියන් වහන්සේට සමාන කර දැක්වීම, ජනප්රිය වී ඇති බෞද්ධ භවනා ක්රමයන්ට කතෝලික මුහුණුවරක්  දීම සංස්කෘතික උත්සවයන් සදහා කතෝලික මුහුණුවරක් දීමද වේ.
අපේ රටේ ද ඇතැම් කතෝලික පූජකයන් මේ හා සමාන ක්රමවේදයන් අනුගමන කරනු ලැබේ. ඇතැම් කතෝලික පූජකයන් අහස හා පොළොව මෙන් දුරස්ථ බුදු දහම කිතු දහම හා සමාන්තර ධර්මයන් වශයෙන් හදුන්වති. ඇතැම් කතෝලික පූජකයන් වෙසක් වැනි  බෞද්ධ උත්සව  අවස්ථා වලදී බෞද්ධ ආගමික වතාවත් කතෝලික දෙව් මැදුරු පරිශ්රයෙන් පවත්වති. තවත් කතෝලික පූජකයෝ පාස්කු වතාවත් හා සිංහල අළුත් අවුරුදු උත්සවය එකට පැවැත්වීමට යෝජනා කරමින් අළුත් අවුරුදු උත්සවය කතෝලික පිළිවෙතක් බවට පරිවර්තනය කිරීමට වෙහෙසති.

2006 මැයි 07 දින එක්තරා කතෝලික පූජකයෙක් කතෝලික ඉංගිරීසි නිල පුවත්පත වන . ‘ Mesenger’ පත්රයේ සදහන් කරන්නේ කලක් කතෝලික සභාව බුදුන් වහන්සේ ‘ ශාන්ත ජොසපාත් ’ යනුවෙන් කතෝලික සාන්තුවරයෙක් වශයෙන් සැලකූ බවය. එතුමා වැඩිදුරටත් බුදුන් වහන්සේ ගිහි රාජ සම්පත් අත්හැර යාම ක්රිස්තියානි ගුණාංගයක් ලෙස හදුන්වයි. (ගරු ඇලෝසියස් පීරිස් පියතුමා ‘ Mesenger’ 2004 මැයි 07.

බුදුන් වහන්සේ සර්වබලධාරි එකම දෙවි කෙනෙක් ප්රතික්ෂේප  කළ සේක. එමෙන්ම එතුමන් වහන්සේ ලෝකය මැවීම ප්රතික්ෂේප කළ අතර ‘ අනාත්ම ’ සංකල්පය මගින් මනුෂ්‍යයාට ආත්මයක් නොමැති බව ප්රකාශ කළ සේක. එවැනි කතෝලික මූලික පද්ධතීන් ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේ කවර කලෙකවත් කතෝලික සභාව සාන්තුවරයෙකු මෙන් සලකනු ලැබුවේ කෙසේද? එමෙන්ම සර්ව බලධාරි දෙවි කෙනෙක් ගැන විශ්වාසය තබන කතෝලික පියතුමෙක් හට කිතු දහම හා බුදු දහම සංසන්දනය කරන බුදුන් වහන්සේ කතෝලික සාන්තු වරයෙකු  කිරීම අනුමත කළ හැකිද?
අනෙක් අතට සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේ එම දෙවියන් යටතේම සාන්තුවරයෙකු  කිරීම සර්වබලධාරි දෙවියන් වහන්සේට කරන නිග්රහයකි. එමෙන්ම සර්වබලධාරි එකම දෙවියන් ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේ එම දෙවියන් යටතේම සාන්තුවරයෙකු කිරීම බුදුන් වහන්සේට කරන බලවත් අපහාසයකි.

අප කතෝලිකයන් හට මානව සංහතියේ ඒකාග්රතාවය සදහා අන්‍යාගමික උත්සවයක් සදහා සහයෝගය දිය හැකිය. එමෙන්ම වෙසක් උත්සවය සදහා දෙවි මැදුරු  පරිශ්රයේ දන්සැලක් පැවැත්වීමද අනුමත කළ හැකිය. එහෙත් මේ සියල්ල කළ යුත්තේ කිතු දහමේ මූලික පද්ධතීන්ට අගතියක් නොවන පරිදි අප අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමිනි.

එහෙත් එක් වසරක කතෝලික දෙව් මැදුරක පරිශ්රයේ වෙසක් සදහා බුදුන් වහන්සේ උපත ලැබූ විට නෙළුම් මල්වල ගමන් කිරීමේ අනුරූපයක් දක්වා තිබුණි. තවත් කතෝලික දෙව් මැදුරක වෙසක් සදහා බෞද්ධ භික්ෂු නමක් බණ දේශනා කරන ලදි. තවත් කතෝලික දෙව් මැදුරු වල වෙසක් සදහා පහන් දල්වනු ලැබේ.
එවැනි ක්රියාදාමයන් කිතු දහම විකෘති කරන අතර බෞද්ධයන්ගේ සැකයට තුඩු දෙනු ඇත. කතෝලික දෙව් මැදුරු වල සර්වබලධාරි දෙවියන් වහන්සේ ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේට පුද උපහාර දැක්වීම බුද්ධිමතුන්ගේ නොනවතින සිනාවට පාත්රවනු ඇත. හැදෙන වැඩෙන දරුවන් ව්‍යාකුල කරනු ඇත. මුග්ධයන් නොමග යවනු ඇත.

එක් කතෝලික පියතුමෙක් ඉරිදා පුවත්පතකට මෙසේ ප්රකාශ කර තිබුණි. ‘‘ තව අවුරුදු දහයක් යනකොට මිනිස්සු බෞද්ධ, කිතුනු, හින්දු, මුස්ලිම් කියල වෙනසක් නැති බව මට විශ්වාසයි. ඒ කියන්නේ අපට සිරිමා බෝධිය ළගට, නල්ලූර්, කෝවිලට, තේවත්තේ පල්ලිය ළගට ගිහිල්ල සමාධි සුවයෙන් ඉන්නට පුළුවන් කාලයක් උදාවෙනවා. ආගමේ තැන අධ්‍යාත්මයට හිමි වෙනවා. (ගරු සිරිල් ඇන්තනි පියතුමා – ලක්බිම ඉරිදා සංගරහය මැයි 16, 2004 මෙයින් සැගවුන න්‍යාය පත්රයක් ධ්වනිත වේ. එය එසේ වුවහොත් එය වැඩියෙන්ම බලපාන්නේ මෙරට සියයට 70 ක් වූ බෞද්ධ  ජනතාවටය. එය වෙනත් ආගම් වල නස්පැත්තියටත් හේතුවනු ඇත.

තවත් විදේශීය ආධාර ලබන සංවිධාන, බටහිර ව්‍යාප්තව පවතින කාමුක රටාව මෙරටද වර්ධනය කරනු දක්නට ලැබේ. ඔව්හු අනාචාරයේ යෙදීම, සම ලිංගික සේවනය හා විවෘත කාමයද සාධාරණීය කරති. ඇතැම් සංවිධාන බටහිර රටවල ඇති අසීමිත නිදහස මෙරට ස්ත‍්‍රීන්ටද ලබාදීම ස`දහා ගම් නියම්ගම් වලට ගොස් කාන්තාවන් උසිගන්වති. මෙරට පවුල් සංස්ථාව සුනු විසුනු කර දැමීමට උඩගෙඩි දෙති.

එක් බෞද්ධ ලේඛකයෙක් තවත් කූට සැලැස්මක් හෙළිදරව් කරන්නේ මෙසේය. ‘‘ පල්ලි කුට්ටම්කාරයෝ අප තරුණ තරුණියන් පමණක් නොව සමහර විට සංඝයා වහන්සේලා පවා ඈත එපිට රටවලට ගෙනගොස් සම්මන්ත‍්‍රණ පවත්වන නියායෙන් ඒ අයට ඉනා බේත් කවති. එක් සම්මන්ත‍්‍රණයකට සහභාගී වීමෙන් පසුව එහිදී ලැබෙන රස නහර පිනායන කෑම බීමද විස්කිද සුව`ද වහනය වන ඩොලර් නෝට්ටුද සුන්දර මිතුරු මිතුරියන්ද ඊ ළ`ග සම්මන්ත‍්‍රණයේදී ලැබෙන්නේ නම් එයට ලැබෙන ආරාධනය ප‍්‍රතික්ෂේප කළ හැක්කේ කාටද? ’’ (ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග – මාර සෙනගගේ හා දේවදත්තයන්ගේ වැඩ – 2003 – 22 පිටුව*
අද බටහිර රටවල සදාචාරය බෙහෙවින් පිරිහී ඇත. කිතු දහම දික්කසාදය පිටු දකින නමුත් බටහිර ක‍්‍රිස්තියානි රටවල පෙරදිග රටවලට වඩා බෙහෙවින් දික්කසාද දක්නට ලැබේ. එම රටවල විවාහකයින් අනාචාරයේ හැසිරීම, එතරම් ගණන් ගතයුතු දෙයක් හැටියට සලකනු නොලැබේ. යුරෝපයේ කතෝලික රටවල පවා පිරිමින් හා ගැහැණුන් නිර්වස්තරව එකට ගැවසෙන පිහිනුම් තටාකයන් ඇත.
ලංකාවේ සදාචාරය බටහිර කාම භෝගී රටවල තරම් පහතට වැටී නැත. මෙහි පවුල් සංස්ථාව  තවමත් ආරක්ෂා වී ඇත. අප සාර්ධර්ම බටහිර රටවල මෙන් පිරිහී නැත්තේ බෞද්ධ දර්ශනයේ දක්නට ලැබෙන සංවරවූත් සංසුන්වූත් ජීවන රටාව නිසාය. අප රටේ කතෝලික ප්රජාවේද සදාචාරය බටහිර කතෝලික රටවල මෙන් තවමත් පහතට නොවැටී ඇත්තේ අප රටේ දක්නට ලැබෙන බෞද්ධ වටපිටාව නිසාය.
අපේ කතෝලික ජනතාවද බටහිරෙන් පැමිණෙන විශම ආකල්පයන්ගෙන් කිතුදහම රැකගැනීමට උත්සුක විය යුතුය. මෙරට අන්‍යාගමිකයන්ද විශේෂයෙන් බෞද්ධයන් සර්වාගමික සංකල්පය නමැති වෙස් මුහුණ පැළදගෙන මිතුරු වෙසින් පැමිණෙන බලවේගයන්ගෙන් තම ආගම සහ සංස්කෘතිය රැකගැනීමට පියවර  ගත යුතුය.

හිටපු මහාධිකරණ විනිසුරු ලෙස්ලි ප්රනාන්දු

One thought on “සර්වාගමික සංකල්පයද විදේශීය ආධාර ලබන ඇන්.ජී. ඕ. වල නිර්මාණයකි”
  1. Thanks a lot for writing “සර්වාගමික සංකල්පයද විදේශීය ආධාර ලබන ඇන්.
    ජී. ඕ. වල නිර්මාණයකි | ජාතික බෞද්ධ බලවේගය”.
    Imay certainly wind up being returning for a great deal more reading through and commenting here in the near
    future. With thanks, Israel

Comments are closed.