Spread the News

සහජීවනය වෙනුවට ද්‍රවිඩ සන්ධානය
ප්‍රහාර සැලැස්‌මක්‌ දියත් කරනවා
අරුන් තම්බිමුත්තු source:

සෑම් තම්බිමුත්තු මඩකලපුවේ හිටපු මන්ත්‍රීවරයෙකි. ඔහු සහ ඔහුගේ බිරිය කොටි ත්‍රස්‌තවාදීන් විසින් කොළඹ කැනඩා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේදී බිහිසුණු ලෙස ඝාතනය කෙරුණි. එවකට කුඩා දරුවකුවූ සෑම් තම්බිමුත්තුගේ පුත් අරුන් සිය මිත්තණිය සමඟ දිවි ගලවා ගැනීමට බ්‍රිතාන්‍යයට පලා ගියේය. අරුන් තම්බිමුත්තු දැන් මෙරට දේශපාලන කරළියට පිවිස සිටී. පසුගියදා මඩකලපුවේ පැවැති තමිල් අරසුකච්චි සමුළුව අමතමින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් කරන ලද ප්‍රකාශය මෙරට පවතින සාමය බිඳ දැමීමේ අනතුරක්‌ බවට අරුන් කියා සිටියේය. අප අරුන්ගෙන් නැගූ ප්‍රශ්න හා ඔහු ඊට දැක්‌වූ ප්‍රතිචාර මෙසේයි.

ප්‍රශ්නය – සම්බන්ධන් කළ ප්‍රකාශයේ බරපතල තත්ත්වය ගැන රටේ දේශපාලකයන් හා ජනතාව අවධානයට යොමු කර නැහැ. ඔබ ඒ ගැන දක්‌වන ආකල්පය කුමක්‌ද?

පිළිතුර – සිහිබුද්ධිය ඇති ඕනෑම අයෙක්‌ සම්බන්ධන්ගේ ප්‍රකාශයේ ඉලක්‌කය තේරුම් ගත යුතුයි. ඔහුගේ ප්‍රකාශයේ කිසිම තැනක සහජීවනය ගැන කියවෙන්නේ නැහැ. වෛරය ගැන තමයි පැවසෙන්නේ. එසේම සම්බන්දන් පවසන්නේ තමිල් අරසු කච්චි පක්‍ෂය අවිහිංසාවාදී ක්‍රියාමාර්ග වලට පෙළඹී ඇති බවත් සන්නද්ධ ක්‍රියාදාමයන්ට සම්බන්ධ නොවූ බවයි. මේ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි. ප්‍රභාකරන්ට කිරි පෙව්වේ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණයි. ඒ අතීතය අමතක කළ හැකිද? එසේම කොටින්ගේ දේශපාලන නියෝජිතයා යෑයි ද්‍රවිඩ සන්ධානය යෑයි කීවේද සම්බන්ධන්.

ප්‍රශ්නය – සම්බන්ධන්ලා පොලිස්‌ බලතල ඉල්ලනවා. රජයට සම්බන්ධ දේශපාලකයෙක්‌ද පොලිස්‌ බලතල දිය යුතු යෑයි කියනවා. ද්‍රවිඩ සන්ධානය පොලිස්‌ බලතල ඉල්ලීමේ පසුබිම කුමක්‌ද?

පිළිතුර – මෙහි යථාර්ථය තේරුම් ගත යුතුයි. සහජීවනය ගැන හඬ නොනඟන ද්‍රවිඩ සන්ධානයට පොලිස්‌ බලතල කුමකටද කියා. එය දුන්නොත් සනාථ වෙයි. වරුධරාජා පෙරුමාල් පොලිස්‌ බලතල යටතේ සිවිල් ස්‌වේචිඡා බලකාය පිහිටුවනු ලැබුවා. ඉන් පසු එය ද්‍රවිඩ ජාතික බළකාය බවට පරිවර්තනය වුණා. මේ බළකායට අවි දුන්නේ ඉන්දියාවයි.

එවන් තත්ත්වයක්‌ යළි ඇති නොවන බවට සහතික විය හැකිද?

එසේම අපේ ක්‍රමෝපායන් ගැන සම්බන්ධන් ඔහුගේ දේශනයේදී ප්‍රකාශ කළා මේ ක්‍රමෝපායන් කුමක්‌ද කියා ඔහු හෙලිකර නැහැ.

පොලිස්‌ බලතල දුන්නොත් රජයට පසුතැවිලි වීමට සිදුවෙයි.

ප්‍රශ්නය – එදා මෙරට ඉන්දීය මහ කොමසාරිස්‌ ලෙස ඡේ. එන්. ඩික්‌සිත් ක්‍රියාකළ අයුරින්ම ඉන්දීය රජය එම පිළිවෙත යළිත් ක්‍රියාත්මක කරන බවට පැහැදිලියි. තමිල් අරසුකච්චි සමුළුව මඩකලපුව ප්‍රදේශයේ පැවැත්වෙන සමයේ ඉන්දීය මහ කොමසාරිස්‌ එම ප්‍රදේශයේ ඉන්දීය ව්‍යාපෘති නිරීක්‍ෂණයකට ලක්‌කලා නේද?

පිළිතුර – ඔබේ ප්‍රශ්නය නිවැරදියි. තමිල් අරසුකච්චි සමුළුව පැවැති කාලවකවානුවේදී තමයි ඉන්දීය මහ කොමසාරිස්‌ මඩකලපු සංචාරය සිදුවූයේ එම ක්‍රියාදාමය ජනතාව අතර දැඩි සැකයට තුඩුදෙන කරුණක්‌.

ප්‍රශ්නය – ජිනීවා යෝජනාව ජයග්‍රහණය කිරීමත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාවට එරෙහිව අපරාධ කළ බවට පිළිගත් බවද සම්බන්ධන් සිය දේශනයේදී කියා සිටියා.

පිළිතුර – ඔව්· සම්බන්ධන්ගේ එම ප්‍රකාශයයම මීළඟ ප්‍රහාරයක්‌ ගැන අනතුරු ඇඟවීමක්‌ ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ඔවුන් අපේක්‍ෂා කරනවා. අන්තර් ජාතික ප්‍රජාව සහජීවනය ගැන ක්‍රියාකරන්නැයි කියද්දී ඔහු සහජීවනය ගැන තැකීමක්‌ කර නැහැ. අන්තවාදීන් අද ද්‍රවිඩ සන්ධානය මෙහෙයවනවා.

ප්‍රශ්නය – ඔබ ඉන් කියන්නේ අලුත් වයින් බෝතලයක පරණ වයින් දැමීමේ පිළිවෙත ද්‍රවිඩ සන්ධානය ක්‍රියාත්මක කරන බවද?

පිළිතුර – ඔව්· එදා සිටි ද්‍රවිඩ සන්ධානය එලෙසින්ම ක්‍රියාත්මක වෙනවා.

ඔවුන්ට අවශ්‍ය වන්නේ ද්‍රවිඩ ජනතාව නොවෙයි බලයයි.

ප්‍රශ්නය – 13 වැනි සංශෝධනය පවා පිළිගත හැකි විසඳුමක්‌ යෑයි සම්බන්ධන් කියන්නේ නැහැ. නමුත් ද්‍රවිඩ සන්ධානය ඉන්දියාවට ගොස්‌ 13 වැනි සංශෝධනය දෙන්නැයි ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉන්දියාවට පවසනවා. මේ ගැන ඔබ දරන මතය කුමක්‌ද?

පිළිතුර – ද්‍රවිඩ සන්ධානය රඟදක්‌වන නාටකය ඉන් පැහැදිලියි. ඔවුන් ද්විත්ව රංගනයේ යෙදෙනවා.

උතුරේ සම්බන්ධන් ජාතික කොඩිය එසවූවා. පසුවදා මාවෙයි සේනාධිරාජා පැවසුවේ ජාතික කොඩිය එසවීම ගැන සම්බන්ධන් ද්‍රවිඩ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බවයි.

මේ ක්‍රියාදාමයෙන් ද්‍රවිඩ සන්ධානයේ භූමිකාව සනාථ වනවා.

ප්‍රශ්නය – අපේ ඉවසීමට සීමාවක්‌ තිබෙන බවත් එම සීමාවට සමීප වූ විට අපගේ ක්‍රියාදාමයන් වෙත ගමන්කරන බවද සම්බන්ධන් කර ඇති ප්‍රකාශය තුළින් යළිත් ගිනි ඇවිලවීමක්‌ ඇතිකිරීමට උත්සාහ කරන බව අවබෝධ වනවා නේද?

පිළිතුර – පොලිස්‌ බලතල ඉල්ලන්නේ කුමකටදැයි එම ප්‍රකාශයෙන්ම සනාථ වෙනවා. රජය කිසිසේත් පොලිස්‌ බලතල නොදිය යුතුයි.

සම්බන්ධන්ගේ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රහාරක සැලස්‌මක්‌.

පොලිස්‌ බලතල වලට වඩා සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් ජනතාවට සම තත්ත්වය හිමිවිය යුතුයි.

ප්‍රශ්නය – විදේශ රටවල් සහජීවනය ගැන හඬනගන අවස්‌ථාවේ මෙරට ද්‍රවිඩ මාධ්‍ය ගැන දරන ආකල්පය කුමක්‌ද?

පිළිතුර – ඔවුන් කිසිවිටෙක වෙනස්‌ වී නැහැ. එදා දැරූ කොටි හිතවාදී ආකල්පය තවමත් ගෙනයනවා.

ප්‍රශ්නය – ද්‍රවිඩ සිවිල් වැසියන්ට මෙරට ද්‍රවිඩ දේශපාලනයට ඒමට අවස්‌ථාවක්‌ නැහැ. මීට හේතුව කුමක්‌ද?

පිළිතුර – ඔවුන්ට දේශපාලනයට ඒමට ඉඩදෙන්නේ නැහැ. මම දේශපාලනයට පැමිණීම ගැන ද්‍රවිඩ සන්ධානය කලබල වී සිටිනවා.

ප්‍රශ්නය – කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය ප්‍රචාර මෙහෙයවන අතර ඊට නිසි ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ඔබ ක්‍රියාකරන්නේද?

පිළිතුර – අපි ඉතාමත් ළඟදීම ශ්‍රී ලංකාව සඳහා වූ ද්‍රවිඩයන් නමින් සංවිධානයක්‌ ආරම්භ කරනවා. ඊට තවත් මියගිය ද්‍රවිඩ දේශපාලනඥයකුගේ පුත්‍රයෙක්‌ද සම්බන්ධ වෙනවා.

කොටි ඩයස්‌පෝරාව ගෙනයන්නේ සාවද්‍ය ප්‍රචාරයි. ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බෞද්ධයකු හා සිංහලයකුට හැර වෙන අයකුට රටේ ජනාධිපතිවීමට ඉවක්‌ නැති බවට ඔවුන් කියනවා. මේ ප්‍රකාශ “බේගල්” අපේ ජාත්‍යන්තර සංවිධානය ඊට නිසි ප්‍රතිචාර දක්‌වනවා.

මේ සංවිධානය රටවල් රැසක ක්‍රියාත්මක කරන අතර ඊට සම්බන්ධවීමට විශාල පිරිසක්‌ කැමැත්ත පළකර තිබෙනවා.

ප්‍රශ්නය – මෑතකදී තමිල්නාඩුවේ සිට අරුන් පාන්ඩියන් නමැති කොටි හිතවාදියා යාපනයට පැමිණ රහසේම විවිධ පිරිස්‌ සමඟ සාකච්ඡා කළ පිටව ගොස්‌ තිබෙනවා. අරුන් පාන්ඩියන් මෙරටට පැමිණියේ කුමකටද?

පිළිතුර – අරුන් පාන්ඩියන්ව යාපනයට ගෙන ගියේ යළි උතුරේ ගිනි ඇවිලවීමට උත්සාහ කරන පාර්ශ්වයක්‌, චිත්‍රපට බෙදාහරින්නකු විසින් ඔහුව යාපනයට ගෙන ගොස්‌ තිබෙනවා.

මොවුන් මෙරටට එන්නේ කුමකටද යන පසුබිම අපි අවබෝධ කරගත යුතුයි.

කීර්ති වර්ණකුලසූරිය
|