සාමකාමී විරෝධතාවක් ගිනි තැබූ අන්තවාදියෝ

Spread the News

විශේෂාංග

Source Silumin

ලෝකය ම ප්‍රශ්න ජාලාවක ය. කොවිඩ් වසංගතය විසින් ලෝක ආර්ථිකයට කළ බලපෑම සුළුපටු නොවේ. ලෝක ආර්ථික අවපාතයෙන් ගැලවෙන්නට ලංකාව වැනි පුංචි රටකට නොහැකිය. ඒ මූලික කඩාවැටීම අපේ ආර්ථිකයට කළ බලපෑම අප සියල්ලෝටම දැනෙමින් පවතී. ඒ රටේ සියලුම සේවාවන්හි අර්බුද නිර්මාණය වෙමිනි. සමහර ප්‍රශ්න ඇත්තේ විසඳීමේ සීමාවෙන් ඔබ්බේ ය. ඒවා තේරුම් ගත හැකි සබුද්ධික ප්‍රජාවක් සිටීමේ අවැසි බව වෙන කවරදාටත් වඩා දැනෙමින් පවතී. එබැවින් පසුකරගෙන යන මේ කාලවකවානුව ඉවසීමෙන් හා උපයෝගීතාවෙන් යුතුව ගත කළ යුත්තකි.

කොවිඩ් 19 වසංගතයෙන් බැට කෑ රටවල් බොහොමයක් තවමත් නැඟී සිටීමට වෙර දරමින් සිටින්නේය. එමෙන්ම විදේශීය රැකියා පිණිස තම රටවලට ගෙන්වා ගැනීමට වීසා නිකුත් නොකිරීම වැනි කරුණු නිසා ද දියුණු වෙමින් පවතින රටවලට විශාල ගැටලුවක් මතුව තිබේ. ඒ නිසා ඩොලර් ගලා ඒම නැත්නම් විදේශ විනිමය ගලා ඒම එම රටවලට විශාල අර්බුදයක්ව තිබේ. විදේශීය අධ්‍යාපනය මෙන්ම විදේශීය රැකියාද අහිමිව යාම තුළ ඒ අතර ශ්‍රී ලංකාවද පත්ව ඇත්තේ විශාල ආර්ථික අගාධයකටය.

රජය ගැන කියන කතා

ඒ තත්ත්වයේ උච්චතම අවස්ථාව දැන් එළැඹ ඇත. ඒ සියල්ල යටතේ මෙරට ආර්ථිකය ඇද වැටෙන්නට වූයේ බලා සිටිද්දීමය. මෙරට විදෙස් සංචිත ද වේගයෙන් සිඳී ගියේය. මේ සියල්ල අතර ඇතැම් දේශපාලඥයන්ගේ අමනෝඥ ක්‍රියාවන් නිසාද රටට ලැබෙන අපකීර්තියත්, ඒ හරහා රටේ ජනතාව පවත්නා ආණ්ඩුව කෙරෙහි ඇතිකර ගන්නා කලකිරීමත් වැඩි වේ. බන්ධනාගාර තුළට ගොස් පාට් දමන, ඇමැතිවරුන් මෙන්ම පියාගේ හයිකාරකම්වලින් ජනතාවට පාට් දමන පුතුන් නිසාද රජයකට විවිධ දෝෂාරෝපණ එල්ල වේ. කලකට පෙර ආචාර්ය පදවි ලැබූ හිටපු ඇමැතිවරයකුගේ පුතකුගේ නම නිරතුරුවම රූපවාහිනියෙන් ප්‍රචාරය වූයේ සමාජ ශාලා ගැටුම් නිසාය.

ඒ සියල්ල මැද රටක් කරන්නට සිදුවන රටේ ජනාධිපතිවරයා පුමුඛ ආණ්ඩුවකට මුහුණ දෙන්නට සිදු වන්නා වූ ගැටලු අර්බුද සුළුපටු නොවනු ඇත. ආණ්ඩුවේම හිඳිමින් ආණ්ඩුවේම වරප්‍රසාද ලබමින් ආණ්ඩුව විවේචනය කරන පිරිස එක් පසෙකින් හිඳ තමන්ගේ වාසි තකා කටයුතු කරයි. වාසි ලැබෙන විට ඔවුන්ට ආණ්ඩුව හොඳය. තමන්ට අවාසි වන විට වංචා දූෂණ කරන්නට නොලැබෙන විට ආණ්ඩුව නරකය.

විදුලි මාෆියාව

විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක ඉංජිනේරු මාෆියාවද මේ අතර මුල් තැනක් ගන්නේය. කිසිදු ඇමැතිවරයකුට මේ ඉංජිනේරු මාෆියාව මැඬ පවත්වන්නට හැකියාව නැත. හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම‌ට ගෙන් වූ විදුලි ජනන යන්ත්‍ර පවා මේ වන විට කොට උඩය. විදුලි අර්බුදයේ දෝස් මුරය පාලකයන්ටය. ඉංජිනේරුවන් ඇතුළු මාෆියාකරුවන්ගේ හොද්ද බොර වේ. ඔවුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් මෙන්ම දූෂණ වංචා නිසා විදුලිය බලය සැපයීම අඛණ්ඩව සිදු කරන්නට නොහැකිව තිබේ. එමෙන්ම ඉන්දියන් ඔයිල් සමාගම ලාබ ලබද්දී ඛනිජ තෙල් සංස්ථාව කෝටි ගණනින් පාඩු ලබන්නේ ඇයි? දූෂිත නිලධාරීන්ගේ සියල්ල යන්නේ ද රජයේ ගිණුමටය.

මේ සියල්ල මැද පැය 13ක් පමණ විදුලිය කප්පාදුව නිසා අඬන්නට සිටි මිනිසාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් බඳු විය. එහි පුපුරා යාම් වාර්තා වූයේ පසුගිය 31 වෙනිදාය. එහි මුල් බීජයන් පසුගිය සිකුරාදා දහවල් ඇල්පිටිය, වවුනියාව, හැටන්, බලපිටියේ සිදු කළ උද්ඝෝෂණවලින් ඇති විය.

මිරිහානේ උද්ඝෝෂණයේ ආරම්භය

ඒ උද්ඝෝෂණවල තවත් ප්‍රතිඵලයක් නිසාදෝ එදින පස්වරුවේ නුගේගොඩ ජුබිලි කණුව අසලට එක් වූ පිරිසක් ගෑස්, විදුලිය, ඩීසල් ඉල්ලා විරෝධතාවක් කළහ. එයට එක් වූ පිරිස පැයක් යන්නට පෙර අතිවිශාල විය. විශේෂයෙන්ම ත්‍රිරෝද කර්මාන්තයේ නියැළෙන්නන් මෙන්ම එදිනෙදා කුලියක් මලියක් කර ගත්තෝද කඩිනමින් එක් වූහ. එමෙන්ම රූපවාහිනී නාළිකා මෙන්ම ෆේස්බුක් ඔස්සේ සජීවී දර්ශන නිසා නිවාසවල සිටි අය මෙන්ම කඩසාප්පුවල සිටි අයද මේ විරෝධතාවට පැමිණියහ.

සිතුවාටත් වඩා පිරිසක් එක්වීම නිසා රැස්ව සිටි පිරිස විරෝධතා සටන් පාඨ ඉදිරිපත් කරමින් මහරගම – දෙහිවල 119 බස් මාර්ගය පුරා යමින් විරෝධතා පවත්වන්නට වූහ. සුළු වේලාවකින් 119 බස් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර විය. ඒ අතර ඩීසල් පෝලිම්වල සිට අයද වාහන නවතා එයට එක් වූහ. රැස්ව සිටි පිරිස වැඩි වෙත්ම තත්ත්වය උණුසුම්කාරී විය. ඔවුහු ජනාධිපතිවරයාගේ නිවස පිහිටි පැඟිරිවත්ත ප්‍රදේශය කරා යන්නට වූහ. තත්ත්වය එතරම් හොඳ නොවන බව දැනගත් නුගේගොඩ පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා ඇතුළු සියල්ලෝම එහි ආරක්ෂාව පිණිස පැමිණියහ. ජනතා රැල්ල ජනාධිපතිවරයාගේ නිවසට යාම වැළැක්වීමට ඔවුහු උත්සාහ දැරූහ.

උණුසුම් වීම

ජනාධිපතිවරයාගේ නිවස දෙසට යන පිරිස පාලනය නිරීම අපහසු වන බව දැනගත් පසුව ආරක්ෂක අංශ විසින් කැරලි මර්දන ඒකකයද පසුව විශේෂ පොලිස් බළකායද ගෙන්වන ලදී.

රාත්‍රී 8.00 පමණ වන විට සිද්ධිය උණුසුම් අතට හැරී තිබුණු අතර පිරිස පාලනය කිරීම අපහුස බව බව දැනගත් පසුව යුද හමුදාවද කැඳවීමට තීරණය කරන ලදී.

ඒ අතර රැස්ව සිටි කලහකාරීන් අතරින් පැමිණි කිහිප දෙනෙක් නායකත්වය ගෙන එය මෙහෙයවන ආකාරයක්ද දැකගත හැකි විය. කිසිදු දේශපාලන නායකයෙක් එහි දක්නට නොසිටියහ. අවසානයේ රාත්‍රිය වන විට පැමිණි වාහනද මේ පිරිසට සහාය පළ කිරීම පිණිස ස්වල්ප වේලාවක් වාහන නවතාගෙන සිටිමින් නළා ශබ්ද කරමින් විරෝධතාව පළ කළහ.

තත්ත්වය දුර දිග ගියේ ආරක්ෂක අංශ හැර කිසිවකු මේ ප්‍රචණ්ඩත්වය පාලනය කරන්නට හෝ ඔවුන්ට සන්සුන් වන ලෙස හෝ උපදෙස් ලබා දෙන්නට කටයුතු නොකළ නිසාය. කලහකාරීත්වය මැඬ පැවත්වීම පිණිස රාත්‍රී 9.35 පමණ වන විට පැඟිරිවත්ත ප්‍රදේශයේ විදුලි බලය විසන්ධි කරන ලදි. ඒ විරෝධතාකරුවන් කළුවරේ ඉවත්ව යනු ඇතැයි සිතමින් විය යුතුය.

දුක් ගැනවිල්ල

එහෙත් සිදුවූයේ අනෙකකි. විදුලිය විසන්ධි කිරීමත් සමඟම ප්‍රකෝකාරී වූ පිරිස් ජනාධිපතිවරයාගේ නිවසට යාම කඩිනම් කළහ. තත්ත්වය පාලනය කිරීම පිණිස කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය විසින් කටයුතු කරන ලදී. එයට මුහුණ දෙමින් ඊට එදිරිව ඉදිරියට ආ පිරිස් පොලිස් මාර්ග බාධක පවා පෙරළා දැමූහ. එසේ පැමිණි අයට නිවෙස අසලට පැමිණීමට නොහැකි වන සේ රබර් උණ්ඩවලින් වෙඩි තබන්නට විය.

ඒ සමඟම යුද හමුදාව පැමිණ අතර ඔවුන් පැමිණි බස් රථයකටද කලහකාරීන් විසින් ගිනි තබන ලදී. එමෙන්ම රබර් උණ්ඩ ප්‍රහාර හමුවේ කෝපයට පත් පිරිස පොලිසියට ගල් මුල් වලින් දමා ගැසූහ. එසේම එහි පැමිණි ආරක්ෂක අංශවල වාහනවලට ද ඔවුහු පහර දුන්හ.

එහිදී පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙත ගිය යතුරු පැදි හෙල්මට් එකක් පැලැඳි තරුණයෙක් තම දුක් ගැනවිල්ල ඔවුන්ට ඉදිරිපත් කෙළේය.

එය සමාජ මාධ්‍යයන්හි තවමත් සැරිසරන්නේය. ඔහු පැවසුවේ තමන් නිවසේ සිටි බවත් මේ අරගලය දැක පැමිණි බවයි. පොලිසියද තමන් හා එක්ව මේ අරගලයේ කොටස්කරුවන් විය යුතු බව ඔහු කීවේය. රටවැසියන් කුසගින්නේ කළුව‌රේ සිටින බවත් ඔහු පැවසුවේය. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා මේ අරගලයේ කොටස්කරුවන් බවත් ඔහු පැවසුවේය.

‍‍පොලිස් නිලධාරීන් ඔවුන්ට බැණ වැදුණේ හෝ පහර දුන්නේ නැත. ක්‍රමයෙන් ඔවුන් ඉවත් කිරීමට උත්සාහ දරන ලදී. පසුව යුද හමුදාව පැමිණ තත්ත්වය පාලනය කරන විට බොහෝ දේ සිදු වී අවසන්ය. ඒ අතර පොලිස්පතිවරයාගේ නියමය පරිදි නුගේගොඩ, පැඟිරිවත්ත ප්‍රදේශයේත් උතුරු කොළඹ. දකුණු කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය පනවන ලදී.

ඒ වන විට බස් රථ දෙකක් ජීප් රථයක්, ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් පිරිස විසින් ගිනි තබා විනාශ කර තිබේ. එමෙන්ම ජල ප්‍රහාරක රථයකට අලාභ හානි සිදු කර තිබුණි.

දේපළ විනාශය

සිද්ධියෙන් 60 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරන ලදී. ඒ අතර පොලිස් නිලධාරීන් 24 දෙනකුද වේ. පොලිස් නිලධාරීන් 5 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඒ අතර සහකාර පොලිස් අධිකාරිවරයෙක්ද වෙයි. තුවාල ලැබූවන් අතර නුගේගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද වෙයි.

ඔවුන්ද කළුබෝවිල හා කොළඹ රෝහල් වෙත ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර මෙම සිද්ධිය ආවරණයට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකු සිටී. ඒ අතර සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු කලහකාරියකු ලෙස සලකා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිද්ධියක් සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ලැබී ඇත.

කලහකාරී ලෙස හැසිරෙමින් කළ සිදුවීම හමුවේ එම අවස්ථාවේදී 45 දෙනකු ද පසුව 9 දෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර තරුණ කාන්තාවක්ද සිටී. පිරිස පසුගිය සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කරන්නට කටයුතු කරමින් තිබුණි. මේ අතර මෙම විරෝධතාව පවතින ස්ථානයට පැමිණි කළු ඇඳුම් හැඳගත්, හෙල්මට් පැලඳි පුද්ගලයන් කණ්ඩායමක් පිළිබඳව ආරක්ෂක අංශවල විශේෂ අවධානයක් යොමුවී ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මේ පිළිබඳව විමර්ශන කටයුතු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. ඊට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයත්, මිරිහාන දූෂණ මර්දන ඒකකයත් නුගේගොඩ පොලිසියත් වෙන වෙනම පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විටත් යොදවා ඇත.

අලාභය මිලියන 39ක්

මේ සම්බන්ධව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මිරිහාන ඇතිවූ කලහකාරී සිද්ධියෙන් මේ වන විට තක්සේරු කර ඇති දේපළවල හානිය මිලියන 39ක් බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටින්නේ නුගේගොඩ, ජුබිලි කණුව අසල උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවට සිදුවීම් වාර්තා වී ඇති බවයි.

යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවෙස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර තිබෙන බව ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවද එම නිවේදනයේ දැක්වේ. ඔවුන් ‘අරාබි වසන්තයක්‘ මෙරට ඇති කරමු යන හඬ නඟමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බවද, මෙය ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිත කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් අනාවරණය වී තිබෙන බවද එහි දැක්වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන කණ්ඩායම් හමුවේ සියල්ල එළිවනු ඇත. ආවේගශීලී ජනතාව ප්‍රයෝජනයට ගනිමින් අයුතු ප්‍රයෝජන ගත් පිරිස් සම්බන්ධව එයින් කරුණු හෙළි වනු ඇත

දශක කිහිපයකට පෙර නාරාහේන්පිට පැවැති මැයි දින සැමරුමට හා පිටකොටුවේ පැවැති උද්ඝෝෂණයට මෙන් ඉවක් බවක් නැතිව වෙඩි තබා ජනතාවගේ අයිතීන් වනසා දමන්නට ආරක්ෂක අංශ කටයුතු නොකරන්නේ දුර්වලතාව නිසා නොව ඔවුන් මෙහෙයවන නායකත්වය නිසාය. පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී හඬ නැඟූ තරුණයාට ඒ ජවය ලැබුණේ පොලිස් නිලධාරීන් ඉදිරියේදීම ‘‘රටේ විනාශයට ජනමාධ්‍ය මෙන්ම පූජ්‍ය පක්ෂයත් වගකිව යුතු බවත්, මේ අරගලයට ආරක්ෂක අංශ ද එකතු විය යුතු බවත් හඬ නඟන්නට ඔහුට හැකිවුණේ ‘‘ ඒ නිදහස ලැබී ඇති නිසාය.

එහෙත් මේ ආර්ථික අගාධයෙන් මිදීමට මඟ වන්නේ රට පෙරළන්නට මෙන් වාහන ගිනි තැබීම හෝ පොදු දේපළ විනාශ කිරීම හෝ නොවන බව නම් උද්ඝෝෂකයන් දැනගත යුතුමය. එසේ නොවුණහොත් සිදුවන්නේ එම පිරිස් අතකොලු කර ගනිමින් දේශපාලන වාසි ගන්නට හෝ වෙනත් වාසි ගන්නට පිරිස් බිහිවීම පමණී.

සේයාරූ- සුලෝචන ගමගේ, රුක්මල් ගමගේ