ආරියතිලක
2023.11.13
එක්තරා රටක ගිනකොන ප්‍රදේශයේ බැටළුවන් බලාගන්නා ගම් දරුවන් විසින් විනෝදය පිණිස කෙළියක් පටන් ගන්නා ලදහ. ඒ කෙළිය නම් ගලක් හෝ බැටළු ලොම් ගුලියක් පන්දුවක ආකාරයට ගෙන අතින් විසි කිරීම ය. මද කලක් යන විට ගල් කැටයෙන් හෝ බැටළු ලොම් වලින් සාදා ගත් පන්දුව එක්තරා දුරක වූ බාධකයකට විසි කිරීමට පුරුදු විය. ඒ බාධකය කණුවක් හෝ ගසක් හෝ iඉඩමට ප්‍රවේශ කඩුල්ලක් විය හැකි බව ඇතමෙක්ගේ මතය වෙත්. පසු කාලයේ මේ විසි කරන පන්දුවට තව අයෙක් විසින් ලීයකින් හෝ , බැටළු ගොවිපොළේ උපකරණ භාවිතා කර හෝ පහර දීම විය. කලක් ගත වන විට බැටළුවන් බලා ගන්නා ගම් දරුවන්ගේ මේකී කෙළිය ටිකෙන් ටික සංස්කරණය වන්නට විය. පහර දීමට ගන්නා ලීය හෝ උපකරණය වෙනුවට ලෑලි කැබැල්ලක් ආදේශ කිරීමත් ගල් කැටය හෝ බැටළු ලොම් ගුලිය වෙනුවට රබර් හෝ හම් සමඟ සංස්කරණය වූ පන්දු ආදේශ වීමත් බාධකය වෙනුවට සිහින් ඉනි තුනක් ආදේශ වීමත් තරඟයක් ලෙසින් නීති ද සෙල්ලම් කිරීමට පිටි(භූමි) ද සකස් විය. මේ කෙළිය පටන් ගත් රටේ ජාතික ක්‍රීඩාව බවට ද මෙය පත් විය.
එපමණක් නොව මෙම කෙළියට බොහෝ උපකරණ සකස් කීරීමට කර්මාන්ත ශාලා ඇති වීමත් භූමිය (පිටි( සකක් කිරීමට උපකරණ ද මේ කෙළිය නැරඹීමට ලෝල ජනතාවට නැරඹුම් අංගන සකස් කිරීම ද සිදු විය. ඒ ඒ සියලු අංශ සඳහා සේවා සැපයීමට සේවාසපයන්නන් ද ඇති විය. ඒ සේවා සැපයීම සඳහා රාජ්‍ය පුද්ගලික දෙඅංශයේ ම දායකත්වය ද ලැබිණි.
අපි අපේ සිංහල රාජ්‍යයේ ආදි මුතුන් මිත්තන් ගැන සිහි කර, ප්‍රතජ්ජන වූ සිංහල රජ දරුවන්ට, මහා අමත්‍යවරුන්ට, රාජ කුල පුරුෂයන්ට, සේනාපතියන්ට, ගම් නායකයන්ට, බෞද්ධ උපාසක උපාසිකාවන්ට ,සිංහල කුල වැඩිහිටියන්ට, සිංහල කුල කුමර-කුමරියන්ට මෙසේ ආදේශ කර බලමු.
අඟල් විසි අටක් 28” පමණ වූ අඟල් 11/2
පමණ විස්කම්බයකින් යුත් ලී ඉනි තුනක්, සම වූ භූමියක අඟල් 9” පරතරයට සිටුවා ඇත. සිටුවා ඇති එම ඉනි තුනට ලම්බක වන පරිදි මධ්‍ය ඉන්නේ සිට භූමිය මත වැටුණු රේඛාවකි. සිටුවා ඇති ඉනි තුනෙහි සිට එම රේඛාවෙහි බඹ 11 ක් පමණ දුරින් එකී රේඛාවට ලම්බකව එවැනිම ඉනි තුනක් සිටුවා ඇත. සිටුවා ඇති ඉනි තුනෙහි එක් අන්තයක සිට ඉහතින් සඳහන් කළ සිංහල වූ ප්‍රතජ්ජන කවර අයෙක් හෝ අනෙක් අන්තයේ සිටුවා ඇති ඉනි තුනට පන්දුවක් විසි කරත්. අනෙක් අන්තයේ ඉනි තුනට එන පන්දුවට පහර දීමට ඉහතින් සඳහන් කළ පෘතජ්ජන සිංහල කුල කවරෙක් හෝ ලෑලි කැබැල්ලක් අතැ’තිව සිටිත්. තරඟයක් ලෙස, සිටවූ ඉනි අතර සිදුවන කෙළිය බැලීමට, සිංහල ප්‍රතජ්ජන වූ, රජ දරුවෝ මහා අමත්‍යවරයෝ, රාජ කුල පුරුෂයෝ, සේනාපතියෝ, ගම් නායකයෝ, සිංහල කුල උපාසක උපාසිකාවෝ , සිංහල කුල වැඩිහිටියෝ සිංහල කුල කුමර කුමරියෝ සපැමිණ සිටිත්. වට රැස් වී තරඟය නරබත්. ඔල්වරසන් දෙත්. ප්‍රීති ඝෝෂා නගත්. ජය ඝොෂා නගත්.
දැන් නම් (ඒ මොහොතේ) සිංහල ප්‍රතජ්ජන වූ, රජ දරුවන්ට, මහා අමත්‍යවරයන්ට, රාජ කුල පුරුෂයන්ට, සේනාපතියන්ට, ගම් නායකයන්ට, සිංහල කුල උපාසක උපාසිකාවන්ට, ,සිංහල කුල වැඩිහිටියන්ට, සිංහල කුල කුමර-කුමරියන්‍ට, තථාගත බුදු රදුන් අමතක ය; තථගත බුදු රදුන්ගේ ධර්මය අමතක ය; මේ ලංකා දීපය සම්බුදු රදුන්ට පූජා වී ඇති බව අමතක ය;
තථාගත බුදු රදුන් වදාළ සතර සතිපට්ඨාන අමතක ය. සතර සතිපට්ඨාන වැඩිය යුතු බව අමතක ය; සිංහල බෞද්ධ කුලය විසින් තථාගත සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගත යුතුය යන වගකීම සහ යුතුකම අමතක ය. මහා සංඝ රත්නය පෝෂණය කළ යුතු ය, රැක බලා ගත යුතුය යන උදාර සිතිවිල්ල අමතක ය; තථාගත් බුදු රදුන් අනුදැන වදාළ පන්සිල් සුරැකීම අමතක ය; අටසිල් සමාදන් වීම, ආචාරයෙන් ගෝචරයෙන් යුතුව වැසිය යුතු බව අමතක ය; තථාගත බුදුරදුන්ගේ ධර්ම විනය ආරක්ෂා කර ගත යුතු බව අමතක ය; නව විහාරස්ථාන ගොඩනැගිය යුතු බව අමතක ය; ගොඩ නගා ඇති සිද්ධස්ථාන, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළ යුතු බව අමතක ය; චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසය සම්බුද්ධ ශාසනයට පිළිගැන්විය යුතු බව අමතක ය. තථාගත දේශනාවට අනුව සතර සංවර සිලය රකින මග සඟ රුවන කුල දේව්තාවුන් බව අමතක ය; ස්වකීය දිවිය බුදු රදුන්ට නෑකම් කියන කුලයක (බෞද්ධ කුලයක) උපත ලත් බව අමතක ය.
මොවුන්ගේ සිත උපාදාන වී ඇත්තේ හීන ගම් දරුවන්ගේ කෙළියකට ය. ක්‍රීඩාවකට ය.
මෙ ආකාරා උපාදාන වූ සිත් ඇත්තන්ගෙන් සම්බුද්ධ ශාසනයට කෙසේ නම් අනුග්‍රහයක් ලබන්නේ ද?
දේවානම්පියතිස්ස මහ රජතුම හීන වූ ග්‍රාම්‍ය වූ ගම් දරුවන්ගේ ක්‍රීඩාවකට සිත උපදාන වූවානම් එ දවස සිටි වැසියන් ද රජුගේ සිතුවිල්ල අනුව යනවා ඇත. කිසි ලෙසකින් මහ මිහිඳු මහ අරහතුන් වහන්සේගේ වචනය ගරු නො කරනවා ඇත. එවකට තිබූ දඩ කෙළිය එයට සාක්ෂි දරණවා ඇත. දේවානම් පිය තිස්ස මහ නිරිඳුන් දඩ කෙළිය අත් නො හළේ නම් එතුමාගෙන් පසු රාජ්‍යත්වයට පත් වූ සිංහල රජවරු දඩ කෙළිය ගරු කර ක්‍රියා කරනවා ඇත. ලංකා රාජ්‍ය හෙබවූ සිංහල බෞද්ධ රජවරු දඩ කෙළිය අත්හැර සම්බුදු සසුන් කෙත අස්වැද්දූවේ දේවානම් පියතිස්ස නරේන්ද්‍රයානන්ගේ පූර්වාදර්ශය හේතුවෙනි.
දඩ කෙළිය අත් නො හළේ නම් හෝ හීන වූ ගම් දරුවන්ගේ හිස් ලාමක කෙළි සෙල්ලමක් හෝ සිංහල රජවරු ගරු කෙළේ නම් අනුග්‍රහය ලබා දුන්නේ නම් ථූපාරාමය, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, අෂට ඵලරුහ බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලා, රුවන්වැලි මහාසෑය, අභයගිරි චේතිය, ජේතවනාරාම චේතිය, ලංකාරාම චේතිය, මිහින්තලේ අම්බස්තල චේතිය, ඇතුලු මේ ලංකා භූමියේ තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සෙර්ලා සහ අරහත් ධාතුන් වහන්සේලා නිදන් කොට බඳවන ලද එකදු චෛත්‍යක්වත් දක්නට නො ලැබෙනු ඇත. එකදු බෞද්ධ සිද්ධස්ථානයක් දක්නට නො ලැබෙනු ඇත. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අර්හත් භූමි පත් ආර්ය උතුමන් ද කල්‍යාණ ප්‍රතජ්ජන වූ භික්ෂූන් වහන්සේලා ද එකදු නමක් වත් දක්නට නො ලැබෙනු ඇත.
සිංහල අකුරින් ලේඛණ ගත වී සුරක්ෂිත වුණ , තථාගත සම්බුදු රදුන්ගේ ශ්‍රී සද්ධර්මය සහ අටුවා, ටීකා සහිත ධර්ම සංග්‍රහ ගන්ථ ලෝකයට දායා ද නො වනු ඇත.
තථාගත බුදු රදුන් විසින් දම්සක් පැවතුම් සුතුරෙහි නො සෙවිය යුතු අන්තයක් වූ කාමසුඛල්ලිකානුයෝගය පිළිබඳව මෙසේ වදාළහ.
“යො චායං කාමේසු කාමසුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ”
මෙහි සංහල තේරුම:-
“යමෙක් මේ කාම සුකල්ලිකානුයෝගය හෙවත් වස්තු කාම ක්ලේෂ කාමයන්හි අනුයුත්ත ද ලාමක ග්‍රාමවාසීන්ගේ සන්තක= (ලාමක ගම් දරුවන්ට සාධාරණ) අන්ධ බාල ප්‍රතජ්ජන වූ, ශුද්ධ නො වු උත්තම නොවූ හෙවත් ආර්යන්ට අයිති නො වු අර්ථ සංහිත නොවූ (අන්තය නො සෙවිය යුතු ය.)” යනුවෙනි
අතීත සිංහල රජවරු සහ ඒ ඒ කාලයන්හි සිටි සිංහල වැසියන් සම්බුදු රදුන්ගේ සද්ධර්මය අනුව කටයුතු නො කර දඩ කෙළිය හෝ හීන ගම් දරුවන්ගේ කෙළි සෙල්ලම් පිළිගෙන කටයුතු කළේ නම්, චෛත්‍ය විහාරාම බෝධි වෘක්ෂ වෙනුවට, අද අපට දකින්න ලැබෙන්නේ එකල රජවරුන් දඩ කෙළියේ යාමට යොදා ගත් හෝ රජවරුන් විසින් කෙළීමට යොදා ගත්,= (හීන ගම් දරුවන්ගේ කෙළි සෙල්ලම්වලට යොදා ගත්) මෙවලම් යොදා තැනූ ස්මාරක හෝ එය සංකේතවත් කර තැනූ ස්මාරක නො වේයැයි කාට නම් කිව හැකි ද?