Lion Hearted Child Hero
ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගන්නට මහමලුව මැදින් පිය නඟන කෙනෙකුට දළදා මැඳුර දෙසට මුහුණලා සිටින දරුවකුගේ පිළිරුවක් සහිත සිහිවටනයක් නෙත ගැටෙයි. 1814 මැයි 17 වැනි දින හිස ගසා දමන ලද සිංහ හදවතක් තිබුණ (Lion Hearted Child Hero) ළමා වීරයා මද්දුම බණ්‌ඩාර ඇහැලේපොල යනුවෙන් සමරු කුළුණේ ඇති සිහිවටන ඵලකයෙහි ඉංග්‍රීසි බසින් සටහන් කර ඇත. මේ ස්‌මාරකය පිහිටි භූමිය විසිපස් වසරකට පමණ පෙර හැඳින්වුණේ මද්දුම බණ්‌ඩාර ළමා උද්‍යානය යන නමිනි. මහමලුව පුළුල් කරන විට ඒ උද්‍යානය ද එයට සම්බන්ධ කෙරුණි. එහෙත් ළමා වීරයාගේ පිළිරුව ඒ පින්බිමෙහි තවමත් දකින්නට ලැබීම බලවත් සතුටකි. අතීතයේ අපේ රටේ ජීවත් වූ දහස් ගණනක් ජාතික වීරයන් ගැන අසන්නට ලැබේ. පෘතුගීසීන්ගෙන් රට බේරා ගැනීමට ළමා වියේදීම සටනට බට ටිකිරි රාජසිංහ කුමරු හැරුණු විට අපේ සිහියට නැගෙන එකම ළමා වීරයා මද්දුම බණ්‌ඩාර ය.
මද්දුම බණ්‌ඩාර ළමා වීරයාගේ පියාණන් වූයේ ඇහැලේපොල සෙනෙවිරත්න සේනානායක චJද්‍රතිලක විඡේසුන්දර දිසානායක අමරකෝන් වාහල පණ්‌ඩිත මුදියන්සේ ය. සිංහලේ ඉතිහාසයේ අවසාන භාගයේ කැපී පෙනුණ පුද්ගලයකු වූ ඔහු බොහෝ දෙනා හඳුනන්නේ ඇහැලේපොල මහ අදිකාරම් වශයෙනි. ඔහුගේ මව පිළිමතලව්වේ පරපුරේ කෙනෙකි. මාතලේ උඩසියපත්තුවේ ඇහැළේපොල උපන් ඔහු මහවෙල පොල්වත්තේ පිහිටි තම නිවස පන්සලක් බවට පත්කර ඉඩකඩම් එයට පිදුවේය. මහනුවර වත්මන් රිමාන්ඩ් සිර මැඳුර මහ අදිකාරම්ගේ සෙංකඩගල වලව්වයි.
ශ්‍රී වීර පරාක්‍රම නරේJද්‍රසිංහ රජුගෙන් සිංහල රජ පරපුර කෙළවර වීමෙන් පසු රජකමට පත් වූයේ දකුණු ඉන්දියානු සම්භවයක් ඇති නායක්‌කර් කුමාරවරුන් ය. පැරැණි සම්ප්‍රදාය හා සිරිත් විරිත් ගැන තේරුම් ගත් ඔවුහු භික්‍ෂුන්ගේ අනුශාසනා පරිදි රට පාලනය කිරීමටත්, බුද්ධ ශාසනයේ දියුණුවටත් කටයුතු කළහ. ඒ අතර ඉතා බුද්ධිමත් හා රටවැසියන්ගේ සිත් දිනාගත් පාලකයා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය. එහෙත් ද්‍රවිඩ නායක්‌කර් වංශිකයන් රට පාලනය කිරීම හා ඔවුන් හින්දු සිරිත් අනුගමනය කිරීම ගැන අසතුටින් කල් ගෙවූ ගිහි පැවැදි ප්‍රභූ පිරිසක් ද සිටියහ. නායක්‌කර් රජ පරපුර වැනසීමට අවස්‌ථා කීපයකදී ම ඔවුන් සිදු කළ කුමන්ත්‍රණ අසාර්ථක විය. සිංහලේ රාජ්‍යයේ අවසාන පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හෙවත් කන්නසාමි කුමරුට රජකම ලැබුණේ පිළමතලව්වේ මහ අදිකාරම්ගේ උපායකිනි. කුමරුවා රූකඩ රජකු ලෙස තබාගෙන ක්‍රමයෙන් රාජ්‍ය බලය තමන් වෙත පවරා ගැනීම පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ අරමුණ විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඒ බව වැටහිනි. 1805 වසරේ දී පිළිමතලව්වේ සහ මීගස්‌තැන්නේ අදිකාරම් සිදු කළ කුමන්ත්‍රණයක් නිසා රජු විසින් ඔවුහු සිරකර තබන ලදහ. පසුව නිදහස ලැබූ මීගස්‌තැන්නේ නිලමේ අසනීපයෙන් මියගියේ ය. ඔහු දැරූ දෙවැනි අදිකාරම් තනතුර ඇහැලේපොල නිලමේ වෙත පත් කෙරුණි. පිළිමතලව්වේ නිළමේගේ බලලෝභය නිම නොවිනි. රජුට රැකවරණය සැපයූ ජා සෙබළුන් හැට දෙනකුට අල්ලස් දී රජු මැරවීමට ඔහු සැලසුම් කළේය. ඒ කුමන්ත්‍රණය හෙළිවීමෙන් 1812 දී පිළිමතලව්වේ මහ අදිකාරම් මරණ දඬුවම ලැබීය. ඔහු දැරූ මහ අදිකාරම් තනතුරට පත් කෙරුණේ ඇහැලේපොල නිලමේ ය.
තමන් මරා හෝ බලයෙන් නෙරපා දමා හෝ නිලමේවරුන් රාජ්‍ය බලය ලබා ගනු ඇත යන සැකය හා බිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මනසේ තදින් පැලපදියම් වී තිබිණි. මේ මානසික පීඩනයෙන් මිදෙන්නට සිතූ රජු සුරාපානයට ඇබ්බැහි වූ බව ද පෙනේ. සුළු සිද්ධියකදී වුව ද කෝපයට පත් වූ ඔහු සැක සිතෙන හැම දෙනාම මරා දමන්නට පෙළඹිණි. ඔහුගේ සැකය සැබවින්ම සාධාරණ ය.
රජුගේ දෙවැනි විවාහ මංගල්‍යයට ඇහැලේපොල මහ අදිකාරම්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබිණි. නාථ දේවාලය දළදා මැඳුර අසලින් ඉවත් කර රජ මාලිගාව තැනීමට රජු ගත් තීරණයට ද ඔහු විරුද්ධ වී තිබේ. ඇහැලේපොල මහ අදිකාරම් සෙංකඩගල නුවරින් ඈත් කිරීමට අදහස් කළ රජු කෘෂිකාර්මික කටයුතු හා ආදායම් බදු එක්‌රැස් කිරීම සඳහා ඔහු සබරගමුවට පිටත් කරන ලදී. රූමත් කුල කතක වූ ඇහැලේපොල කුමාරිහාමි පිළිබඳ අනියම් හැඟීමක් රජු තුළ පැවැති නිසා ඇය හුදෙකලා කර ගැනීමේ උපායක් වශයෙන් එසේ කළ බව ද කියති. රජුගේ ගඟසිරිපුර සංචාරයකට ඇය සහභාගි නොවීම ගැන රජු කෝපයට පත් වූ බවට ද තොරතුරු ඇත. නොයෙකුත් හේතු නිසා ඇහැලේපොල මහ අදිකාරම් ගැන රජුට ඇති වුණ සැකය හා අමනාපය තව තවත් තියුණු කරන ලද්දේ මහ අදිකාරම් තනතුර බලාපොරොත්තුවෙන් සිටි මොල්ලිගොඩ නිලමේ විසිනි. රටවැසියන්ට හිංසා කිරීම, අයබදු රැස් නොකිරීම, රජුට එරෙහිව සේනාවක් රැස් කිරීම, රනින් කඩුවක් හා ඔටුන්නක් සෑදවීම වැනි කරුණු මහ අදිකාරම්ට එරෙහි තොරතුරු අතර වෙයි.
පෘතුගීසීන්ට බදු ගෙවූ ඇතැම් ගම්වල වැසියෝ බදු ගෙවීමෙන් වැළකී සිටියහ. එසේම රජ බිසොවකට අයිති ගමක වැසියෝ බදු ගෙවීම පැහැර හැර කන්කානමට හිරිහැර කළහ. මේ අතරේ මලබාර් වෙළෙන්දෙක් මහ අදිකාරම් තැන විශාල මුදලක් භාණ්‌ඩාගාරයට අහිමි කරන බව රජුට දැන්වීය. කඳපොල නිලමේ ද ඇහැලේපොල මහ අදිකාරම් ගැන රජුට කේලාම් කියූ කෙනෙකි. උඩරට පාලනය කරන දෙමළාගේ තොරතුරු කොහොමද? යි මහ අදිකාරම් එක් මිනිහෙකුගෙන් අසා තිබෙනවා යෑයි ඔහු රජුට පවසා ඇත. මේ තොරතුරු ඇසීමෙන් කෝපයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, මහ අදිකාරම්ට වහාම සෙංකඩගලට එන්නැයි පණිවිඩයක් තල්පතක ලියා යෑවීය. දැනට ආරම්භ කර ඇති වාරිමාර්ග කටයුතු නිමවා ඔබතුමා වෙනුවෙන් සකස් කළ වටිනා තෑගි ද රැගෙන ඉක්‌මනින් පැමිණෙන්නෙමි යනු මහ අදිකාරම් එයට ලියූ පිළිතුරයි. පණිවුඩකරු පැමිණෙනතුරු කඩවතෙහි රැක සිටි මොල්ලිගොඩ නිලමේ පිළිතුරු තල්පත ලබාගෙන වෙනත් ලිපියක් ලීවේය. “මම තවදුරටත් ඔබගේ වහළෙක් නොවෙමි. ඔබගේ පාලනයට මම යටත් නොවෙමි.” යනු එම පිළිතුරයි. එය දැකීමෙන් රජු උදහස් විය. ඔබේ ප්‍රාණය වැනි වූ දරුවන් සහ බිරිඳ සිටින්නේ මගේ අත් අඩංගුවේ යි. ඔවුන් ජීවත් වනු දකින්නට කැමැති නම් වහාම එන්නැයි නැවතත් නියෝග කළේය. රජතුමා කිසියම් වැරැදි වැටහීමකින් සිටින බව මහ අදිකාරම්ට හැඟුණි. රජතුමනි, වරදක් සිදු වී තිබේ නම් සමාව දෙනු මැනවැ යි සඳහන් කොට ඔහු රජුට පිළිතුරක් යෑව්වේය. නමුත් නැවතත් රජු අතට ලැබුණේ මොල්ලිගොඩ නිලමේ සකස් කළ ලිපියකි. එහි සඳහන් වචන ඉතා දරුණුය. “නුඹට වුවමනා මගේ දරුවන් මරන්නට නම් ඔවුන් මරා දමාපන්. එපමණක් නොවෙයි ඔවුන්ගේ මසුත් කෑවාට මට කමක් නැහැ” යි එහි සඳහන් කර තිබුණි. කෝපයෙන් ඇවිලුන රජු මොල්ලිගොඩ මහ අදිකාරම් තනතුරට පත්aකර ඇහැලේපොල නිලමේ අත්අඩංගුවට ගන්නැයි ඔහුට නියෝග කළේය. මොල්ලිගොඩ මහ අදිකාරම් සේනාව සමඟ සමනලකන්ද තරණය කොට සපරගමුවට පැමිණෙන විට ඇහැලේපොල නිලමේ ඉංග්‍රීසීන්ගෙන් රැකවරණය ලබන්නට කළුතර හරහා කොළඹට පලා ගියේය. බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා සහ ආර්යාව ගල්කිස්‌සේ නිවසේ දී මුණගැසුන විට ඒ දෙපොළට දෙමවුපියන්ට මෙන් ඇමතීමට අවසර දෙන්නැයි ඇහැලේපොල නිලමේ ඉල්ලුවේ කඳුළු සලමිනි.
සිංහලේ රාජ්‍යය අල්ලා ගැනීමට වෙහෙසුන ඉංග්‍රීසීන්ට ඇහැලේපොල නිලමේගේ පැමිණීමෙන් උදාවුණේ හොඳ අවස්‌ථාවකි. බොරු කරුණාවකින් ඇහැලේපොල නිලමේට සැලකූ ඔවුහු සිංහලේ රාජ්‍යයේ සේනා බලය, ධනය හා ආරක්‍ෂක විධි පිළිබඳ රහස් ඔහුගෙන් ලබාගත්හ. දෙපාර්ශ්වයටම වුවමනා කළේ රජු බලයෙන් පහ කිරීමටයි. ඇහැලේපොල නිලමේ තුළ පැවතුණේ ඉංග්‍රීසීන් යටතේ රාජ්‍ය පාලනය තමන්ට පැවරෙනු ඇත යන විශ්වාසයයි. ඉංග්‍රීසීන්ට තිබුණේ කපටිකමයි. ඔහු ඉංග්‍රීසීන් විශ්වාස කළේය.
මේ අතර මොල්ලිගොඩ මහ අදිකාරම් සහ රජු භේද කිරීම සඳහා ජෝන් ඩොයිලි යෙදූ සැලසුම සාර්ථක විය. සතර කෝරලේ නිල ලාංඡන හා ලේකම් මිටි මහ අදිකාරම් විසින් ඉංග්‍රීසීන්ට භාර දෙන ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ වන විට නිලමේවරුන් දෙදෙනාගේ මානසික තත්ත්වය පැහැදිලි වන්නේ ඔවුනොවුන් අතර ඇතිවුණ කතාබහෙනි. “මම විනාශ වූ මිනිසෙක්” යනුවෙන් ඇහැලේපොල නිලමේ පවසන විට “මටත් සිදුවුණේ ඒ දෙයම යි” යනුවෙන් මොල්ලිගොඩ නිලමේ පැවසූ බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් සිංහලේ වැසියන් ගැන ලියූ වාර්තවේ සඳහන් වෙයි. ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිටියේ ඒ දෙදෙනො කෙරෙහි බලවත් කෝපයකිනි. ඔහු ඔවුන් ගැන කතා කළේ දැඩි කලකිරීමකිනි. “ඇහැලේපොල හා මොල්ලිගොඩ ගැන පරිස්‌සම් වන්න. ඔවුන් මට සිදුකළ විපත්තිය ඔබලාටත් කරනවා ඇති. ඔවුන් මා රැවටුවා. ඔබලාත් රවටාවි” යනුවෙන් රජු පවසා ඇත. “මගේ වැසියො නිසිලෙස හැසිරුණාහු නම් මා පිරිමියෙක් ද ගැහැනියෙක් ද යන වග ඔබට පෙන්වන්නට තිබුණි. ආහාර වැළඳීමෙන් පසු එහි රසය ගැන කතා කිරීම නිෂ්ඵලය. මා මගේ රාජ්‍ය පාලනය කළේ මනු නීතියට අනුවය. මුරකරුවන් නිදිමතව සිටින විට ඔවුන් අවදිවන්නේ දඬුවමෙනි. සාධාරණත්වයේ ශ්‍රේෂ්ඨ ගුණය දඬුවමයි. මිනිසා යහමඟට පත්වන්නේ එයින් ය. නිර්දෝෂ මනුෂ්‍යයකු සොයා ගන්නට නොහැකියෑ” යි තමන්ගේ කටයුතු යුක්‌ති සහගත බව හඟවමින් රජු හෙන්රි මාර්ෂල්ට පැවසූ බව වාර්තා කර ඇත. ඉංග්‍රීසීහු ඇහැලේපොළ නිලමේ රවටා තම අරමුණු ඉටුකර ගත්හ. ඔහුගේ අරමුණ ඉටු වී නම්, සිංහලේ රාජ්‍යය යළිත් සිංහලයන් සතු වන්නට තිබිණි. ශිෂ්ට යෑයි කියන ජාතීන් යුද්ධ ආරම්භ කරන්නේ රටක් තම අණසකට යටත් කර ගැනීම සඳහා යි. ඔවුන් එය සාධාරණීකරණය සඳහා කපටිකමට ගෙනහැර පාන්නේ දයානුකම්පාව නමැති වචනය යි. නැතිනම් ජනතාව විපතින් මුදා ගැනීමයි. බ්‍රිතාන්‍ය රජය විසින් ස්‌වාධීන සිංහලේ රාජ්‍යය ආක්‍රමණය කිරීමෙන් සිදුකළේ එය බව වෛද්‍ය ජෝන් මාර්ෂල් වැඩිදුරටත් පවසයි.
සිංහලේ රාජ්‍යයේ අර්බුද නිසා කෲර ලෙස ඝාතනය කෙරුණ පිරිස අතර මුලින්ම සිටින්නේ ඇහැලේපොල පවුලයි. වරදකරුවකු වෙනුවෙන් පවුලේ අය ප්‍රාණ ඇපයට ගැනීම සිංහලේ රාජ්‍යයේ රීතියක් බව රොබට් නොක්‌ස් ද සඳහන් කර ඇත. ඇහැලේපොල මහ අදිකාරම්ගේ දරු පවුල යටත් කෙරුණේ ද ඒ රීතියටයි.
1814 මැයි 17 වැනි දින දළදා මැඳුර අබියස නාථ හා මහා විෂ්ණු දේවාල අතර පිහිටි දේව සංහිද නමින් හැඳින්වුණ භූමියට හිරභාරයේ සිටි ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන් සිවුදෙනා කැඳවාගෙන එනු ලැබූහ. ඉදිරිපස රජ වාසලේ සිට රජු බලා සිටියේය. තමා සහ දරුවන් රාජ නියෝගයට යටත් වන බව ඇහැලේපොල කුමාරිහාමි නිර්භීතව ප්‍රකාශ කළාය. “දරුවනි බිය නොවන්න, රඡ්ජුරුවන්ට ලේ පිපාසය සෑදී ඇත. අපේ ලේ වලින් ඔහුගේ පිපාසය සංසිඳේවා. නිර්දොaෂී වූ පියාණන්ට මේ බිලි පූජාවෙන් යහපතක් වේවා කියා ප්‍රාර්ථනා කරන්නැ” යි දරුවන්ට පැවසුවාය. ඇයගේ කී වදන් රජුට නොඇසුණි. ඇය පැවසුවේ මොනා දැයි රජු වධකයාගෙන් විමසුවේය. එවිට අහසට දැත් දිගු කළ කුමාරිහාමි “මාගේ ස්‌වාමීනි, ඔබ කොතැනක සිටියත් මේ අපරාධය දැන ගන්නට ලැබුණ විට එයින් තවත් ධෛර්ය සම්පන්නව මේ වඩිගයා නෙරපා දමා අපේ රාජ්‍යය නිදහස් කරගන්නට ඔබට ශක්‌තිය ලැබේවා” යි පැවසුවේ උස් හඬිනි. ගෙල සිඳින්aනට ගහලයා කඩුව අතට ගත් විට බියට පත් එකොළොස් හැවිරිදි වැඩිමහල් දරුවා මවගේ ඇඟෙහි එල්ලී වැළපෙන්නට විය. මෑණියන්ගේ කථාවෙන් ධෛර්යවත් වූ නව හැවිරිදි මද්දුම බණ්‌ඩාර නොබියව ඉදිරියට පැමිණ “අයියණ්‌ඩි, බිය නොවන්න, මැරෙන හැටි මම පෙන්වමි” යෑයි පවසමින් ඔහු ගහලයාට ගෙල පෑවේය. වීර දරුවාගේ හිස එක කඩු පහරකින් වෙන්වුණි. ඉන් පසු වැඩිමහල් ලොකු බණ්‌ඩාර සහ දියණිය ඝාතනය කරන ලදහ. අනතුරුව ගහලයා මවගේ ඇකයෙහි සිටි බිළිඳු දරුවා උදුරාගෙන ගෙල සින්දේය. ක්‍රෝධයෙන් හා උමතුවෙන් හැසිරුණ රජුගේ මුවින් ඊළඟට නිකුත් වුණේ දරුණු නියෝගයකි. එයින් කියෑවුණේ දරුවාගේ හිස වංගෙඩියට දමා කෙටීමටයි. ශෝකයෙන් ගල් ගැසුන කුමාරිහාමි තුෂ්ණිම්භූතව බලා සිටියාය. නියෝගය ඉටු නොකළොත් මුළු පරපුරම රොඩී රැහැට යවන බවට නැවතත් තර්ජනය කෙරුණි. තම පරපුරට අවනම්බුවක් සිදුවීම නොකැමැති වූ කුමාරිහාමි මොල් ගස අතට ගෙන ගෙලෙන් ලේ සහ මුවින් කිරි වැගිරෙන බිළිඳාගේ හිස මත එය හෙළද්දී ශෝකය දරාගත නොහැකිව ඇය ඇද වැටුණි. අසල බලා සිටි සියල්ලෝම හඬා වැළපෙන්නට වූහ. නියෝගය ක්‍රියාත්මක කළ පලිපාලන කෝරාළ ද සිහිසුන්ව වැටුණි. රජු විසින් ඔහු සේවයෙන් නෙරපන ලදී. ඇහැලේපොල කුමාරිහාමිත්, ඇයගේ නෑනණ්‌ඩිය වන පුස්‌සැල්ලේ කුමාරිහාමි හා සොහොයුරියත් වැවේ ගිල්වා මරණ ලදහ. මේ කෲර සිද්ධිය නිසා මුළු මහනුවර මළ ගෙයක් බවට පත්විණි. දුෂ්ට පාලකයාගේ මාලිගාවේ හැර සෙසු කිසිදු නිවසක දින දෙකක් යනතුරු ලිප ගිනි මෙලවීම හෝ පහන් දැල්වීම සිදු නොකළ බවත්, වැසියන් නිරාහාරව සිටි බවත් ජෝන් ඩේවි වාර්තා කර ඇත.
ඇහැලේපොල නිලමේ ෙද්‍රdaහියෙක් ද? ඔහු අපේ රට ඉංග්‍රීසීන්ට පාවා දුන්නේ ද? යන්න විවාදයට ලක්‌වන මාතෘකාවකි. තම දරු පවුල ඝාතනය කෙරුණ නිසා ඇහැලේපොල නිළමේ පත්ව සිටි මානසික තත්ත්වය ගැන ද මෙහිදී අවධානය යොමු කිරීමට සිදුවෙයි. රාජ්‍ය බලය තමන් සතුකර ගැනීමේ ආශාවෙන් ඔහු පෙළුණත් රාජ්‍ය පාලනය සිංහලයන් වෙත පවරා ගැනීමේ පොදු හැඟීම ද ඔහු තුළ පැවතිනි. ඔහුට වුවමනා වුණේ කුමන අයුරකින් හෝ කුරිරු රජු බලයෙන් නෙරපා හැරීමටයි. එය උඩරට ගිහි පැවිදි බොහෝ ප්‍රභූන්ගේ හදවත්වල පැවැති අභිලාෂයයි.
මද්දුම බණ්‌ඩාර ළමා වීරයා ජීවිතය පරිත්‍යාග කළේ වඩිග රජුගෙන් සිංහලේ රාජ්‍යය බේරා ගැනීමට තම පියාණන් යෙදූ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙනි. එය තම දේශය වෙනුවෙන් සිදු කළ ජීවිත පූජාවකි. ඔහු දිරිමත් වුණේ මෑණියන්ගේ එඩිතර වචන වලිනි. ඇහැලේපොල දරු පවුල මුහුණ දුන් ෙ€දවාචකය 1815 සිංහල – ඉංග්‍රීසි ගිවිසුමට කුරිරු දඬුවම් නැවැත්වීම පිළිබඳ වගන්තියක් ඇතුළත් කිරීමට හේතුවක් විය. ගිවිසුම ප්‍රකාශයට පත් කරන මොහොතේදී ඇහැලේaපොල නිලමේ මඟුල් මඩුවේ අසුන් ගෙන සිටි බව හෙන්රි මාර්ෂල් පවසයි. සභ්‍ය වු කථා විලාශය හා ආචාර සම්පන්න බව නිසා ඔහුගේ හැසිරීම විශිෂ්ට විය. නිලමේවරු කවුරුත් ඔහුට දැක්‌වූයේ විශේෂ ගෞරවයකි. 1825 වසරේදී මුරුසියට පිටුවහල් කෙරුණ ඇහැලේපොල නිලමේ 1829 අප්‍රේල් මස මිය ගියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 56 කි. සමාජශීලී ඉතා කාරුණික තැනැත්තෙකු වූ ඔහු මුරුසියේ පවුල්වල කුඩා දරුවන් ආදරයෙන් සුරතල් කළ බවත්, සිංහල කවි ගයමින් ඔවුන් විනෝදයට පත් කළ බවත් මුරුසිය සම්බන්ධ වාර්තාවල සඳහන් වෙයි. ඒ සෑම
මොහොතකම ඔහුට තම දයාබර දරුවන් සිහිපත් වන්නට ඇත.
මැදගම ධම්මානන්ද හිමි