සුනඛ අනාථාගාරය ඉවත් කරන්නැයි අනුරපුර හිමි නමක්‌ උපවාසයේ

Spread the News

සුනඛ අනාථාගාරය ඉවත් කරන්නැයි
අනුරපුර හිමි නමක්‌ උපවාසයේ

source:
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ රංග චතූ

අනුරාධපුර මහ නගර සභාව මගින් අනුරාධපුර ඇලයාපත්තුව, නෙල්ලිකුලම ප්‍රදේශයේ පවත්වාගෙන යන සුනඛ මිතුරු නිවස මධ්‍යස්‌ථානය (බලු අනාථාගාරය) ඉන් ඉවත් කර දෙන ලෙස බල කරමින් අනුරාධපුර පූජා භූමියේ පිහිටි දේවී මහ මායා ආරාමවාසී අනුරාධපුර අමතධම්ම හිමියන් පසුගිය (09) සිට එම මධ්‍යස්‌ථානය අසල අඛණ්‌ඩ උපවාසයක්‌ ආරම්භ කොට ඇත.

එම සුනඛ මිතුරු සෙවණ මධ්‍යස්‌ථානය නිසා අවට ජනතාවට පාරිසරික ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට ද තර්ජනයක්‌ එල්ල වී තිබීම නිසා තමන් වහන්සේ මෙම උපවාසය ආරම්භ කළ බව අනුරාධපුර අමතධම්ම හිමියෝ දිවයින ට පැවසූහ.

උන්වහන්සේට උපවාසය පවත්වා ගෙන යැම සඳහා ප්‍රදේශවාසීන් විසින් වේදිකාවක්‌ ඉදිකොට දී තිබෙන අතර ඒ මත වාඩිවී උන්වහන්සේ පෙරේදා පෙරවරුවේ සිට නිරාහාරව මෙලෙස උපවාසයේ නිරතව සිටිති.

මේ වන විට එම සුනඛ මිතුරු සෙවණ මධ්‍යස්‌ථානයේ සුනඛයින් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ගාල් කොට තිබෙන බවත් එම සුනඛයින් අතර කුෂ්ඨ රෝගය වැළඳීමෙන් ලොම් හැළුණු, සහ වෙනත් විවිධ රෝග වැළඳුණු සුනඛයන්ද සිටින බවත් අමතධම්ම හිමියෝ පවසති.

සුනඛයන්ගේ ලෝම සහ මැක්‌කන් පරිසරයට එක්‌වීම නිසා අවට ජනතාවට මහත් පීඩා විඳීමට සිදුවී ඇති බවත් මේ හේතුවෙන් එම මධ්‍යස්‌ථානය අසල පිහිටි වැවේ ජලය ස්‌නානය කිරීමට සහ වෙනත් කටයුතු සඳහා භාවිතයට ගැනීමට සුදුසු නොවන තරමට අපවිත්‍ර වී ඇති බවත් උන්වහන්සේ කීහ.

එම සුනඛ මිතුරු සෙවණ මධ්‍යස්‌ථානය ඉන් ඉවත් කර දෙන ලෙසට එය ආරම්භයේ සිටම උතුරු මැද පළාත් සභාවෙන්, අනුරාධපුර මහා නගර සභාවෙන් හා උතුරුමැද පළාත් සෞඛ්‍ය ඇමැති එච්. බී. සේමසිංහ මහතාගෙන් නෙල්ලිකුලමේ ජනතාව කොතෙකුත් ඉල්ලීම් කළත් මෙතෙක්‌ ඒ සඳහා කිසිදු විසඳුමක්‌ නොලැබුණු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එබැවින් උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතා හෝ උතුරුමැද පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා හෝ පැමිණ පිළිගත හැකි විසඳුමක්‌ ලබා දෙන තුරු තමන් වහන්සේ සුනඛ මිතුරු සෙවණ මධ්‍යස්‌ථානය අසල නිරාහාරව අපවත්වූවත් ආරම්භ කළ උපවාසය අත්නොහරින බව පැවැසූහ.

මේ අතර උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් හමුවීමට සිය අමාත්‍යංශවලට පැමිණෙන ලෙසට ප්‍රධාන ඇමැතිවරයා සහ පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා තම නියෝජිතයින් මගින් අමතධම්ම හිමියන්ට දන්වා එවා තිබුණද උන්වහන්සේ එය ප්‍රතික්‍ෂේප කොට ඇත.

පොදු මහජනතාවට බලපාන ප්‍රශ්න විස¹ ගැනීම සඳහා භික්‍ෂූන් වහන්සේලා ගිහියන් හමුවට යන සිරිතක්‌ නොමැති බවත් ගිහියන් භික්‍ෂූන් ළඟට විත් ගැටලු විසඳීම පුරාතනයේ සිට පැවත එන සිරිත බවත් අමතධම්ම හිමියෝ පැවැසූහ.