Spread the News

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ වැල්ලවත්තේ දයා පාරේ පිහිටි නිවස අසල ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළකු පෙරේදා (04 වැනිදා) උදෑසන සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසා ගෙන ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙලෙස දිවිනසා ගෙන තිබුණේ නුවරඑළිය, වලපනේ පදිංචිව සිටි මධුක ලක්මාල් නමැති 22 හැවිරිදි යුද හමුදා සෙබළෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමක යුද හමුදා සෙබළුන් 8 දෙනෙකු රාජකාරි කරන බවත්, ඉන් එක් සෙබළකු මෙලෙස වෙඩි තබාගෙන දිවිනසාගෙන තිබූ බවත් පොලිසිය පවසයි.

මෙම සෙබළා එම ඉඩමේ ඇති විවේකාගාරයට ගොස් ටී 56 රාජකාරි ගිනි අවියෙන් නළලට වෙඩි තබාගෙන තිබූ බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම ඉඩම මන්ත්‍රීවරයාගේ නිවසේ සිට නිවෙස් තුනකට පසුව පිහිටා ඇතැයි පොලිසිය කියයි.

එම සෙබළාගේ නළලේ වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර ලේ ගලන තුවාල සහිතව සෙබළා වැටී සිටි ස්ථානයේ ටී පනස් හය වර්ගයේ හිස් පතරොම් කොපු දෙකක් තිබී හමුවූ බවද පොලිසිය පවසයි.

මෙම සෙබළා දිවි හානිකර ගැනීමේ හේතුව සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර ඊයේ (05 වැනිදා) සවස් වනවිට මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ආරක්‍ෂාවට යොදවා සිටි සෙබළුන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය කියයි. දිවිනසාගත් සෙබළාගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ගමගේ මහත්මිය හමුවේ පෙරේදා පැවැත්විණි.

පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛi නිලධාරි කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එල්. ඒ. යූ. නාඋරුන්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සිසිර කුමාර, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක රංගන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

Divaina