Spread the News

සේරුවිල පාසල් බස් රථ සේවාව ඇරඹෙයි. – Launching Free School Bus Service in Seruwila – https://m.facebook.com/story.php?story_fbid=pfbid02jXriKt8b3rtR7vdcDNYdZUpTteapkUredM46T7FZYHM4s5zqPS7kqKvCWVn2ksoml&id=103753498603000

සේරුවිල ප්‍රදේශයේ පාසල් සිසුනට පාසල් කරා ගමන් කිරීමට තිබූ දුෂ්කරතාවය මඟ හරවමින් සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම ඔස්සේ පාසල් සිසුනට නොමිලයේ පාසල් වෙත ගමන් කළ හැකි අයුරින් අභිනව බස් රථ සේවාවේ මංගල ගමන් වාරය උත්කර්ෂවත් අයුරින් පසුගියදා ඇරඹුනි. සේරුවිල නාහිමියන්ගේ ඉල්ලීම පරිදි පීපල්ස් ලීසිං ආයතනය මඟින් මේ සඳහා ඔවුන් සතු බස් රථයක් පරිත්‍යාග කරන ලද අතර නාහිමියන්ගේ සභාපතීත්වයෙන් යුතු සේරුවිල ප්‍රජා සංවර්ධන පදනම මඟින් උතුම් සමාජ සත්කාරයක් ලෙස මෙම සේවාව නොමිලයේ පවත්වාගෙන යනු ලබයි. සුමේධංකරපුර, සේරුවිල, නෙලුම්ගම, කාවන්තිස්සපුර, මහින්දපුර, සෝමාවතී පාර, අරිප්පු හන්දිය ආදී ප්‍රදේශ ගණනාවක් ආවරණය වන අයුරින් මෙම බස්රථයේ සේවාව දිනපතා පාසල් දරුවන් වෙත සැළසේ. මෙම සේවාව සළසාගැනීම සඳහා පාසල් සිසුන් 191 දෙනෙකු අයදුම් කොට තිබුණි. සේරුවිල මහා විද්‍යාලය, සේරුවිල ප්‍රාථමික විද්‍යාලය, මහවැලිගම විද්‍යාලය සහ මහවැලිගම ප්‍රාථමික විද්‍යාලය යන විද්‍යාලයන්හි ඉගෙනුම ලබනා සිසුදරුවන්ට මේ ඔස්සේ යහපත සැළසේ.

සිසුසැරිය බස්රථය පාඩු ලබනා නිසා මීට මාස ගණනාවකට පෙර නවතා දැමීමත් සමඟ වල්අලි ප්‍රශ්නයෙන් පීඩා විඳිමින් දිවි ගෙවනා මෙම ප්‍රදේශයන්හි සිසු සිසුවියන්ට අලිමංකඩවල් හරහා පාගමනින් සහ පාපැදි වලින් පාසල් යෑමට සිදු වී තිබුණි. ඇතැම් දරුවන්ගේ පාසල් ගමන නැවතෙන මට්ටමටම මෙම ප්‍රශ්නය ඔඩුදුවා තිබූ අතර රටතුළ උද්ගත වූ දැඩි ආර්ථික අර්බුධය අභියස දෙමාපියන් ද අසරණ වී තිබුණි. මෙම තත්ත්වය හමුවේ දෙමාපියන් සහ පාසල් සිසුන් සේරුවිල නාහිමිපාණන් වහන්සේගෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව උන්වහන්සේගේ කාරුණික මැදිහත් වීම මත පීපල්ස් ලීසිං ආයතනය මඟින් මෙම බස්රථය පරිත්‍යාග කොට තිබුණි. මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ සභාපති සුජීව රාජපක්ෂ මහතා, පීපල්ස් ලීසිං ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ශමීන්ද්‍ර මර්සිලීන් මහතා ඇතුලු පීපල්ස් ලීසං කාර්ය මණ්ඩලයට ඒ සඳහා ජාතියේ ප්‍රණාමය හිමි වේ.

බස්රථයේ මංගල ගමන් වාරය සිදුවන දිනයේ ගම්වාසීන් විසින් කැවුම් කිරිබත් සකසා එම මොහොත සමරන ලද්දේ ඔවුන්ට තිබූ බරපතල ප්‍රශ්නයකට විසඳුම ලැබුණ නිසාවෙනි. එදින පාසල් සිසු සිසුවියන් බොහෝ පිරිසක්, විදුහල්පතිවරුන්, ආචාර්යවරුන්, දෙමාපියන් සහ නැගෙනහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උදය මහතා, කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධර්මතිලක මහතා, සේරුවිල ප්‍රාදේශීය සභා සභාපති ජයසිරි මහතා, සේරුනුවර පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් එම මොහොතට සහභාගී වනු පිණිස සේරුවිල විහාරස්ථානයට පැමිණ සිටි අතර මහා සංඝ රත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මංගල ගමන් වාරය ඇරඹුනි. බස් රථය සැරසීම සේරුවිල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ දරුදැරියන් විසින් සිදු කළ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දිසාපාලක මහින්දපුර ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍යපාද නීලපොල ධම්මසේන නා හිමියන් අනුශාසනා පවත්වමින් දීර්ඝ කාලයක සිට සේරුවිල ප්‍රදේශයට තිබූ බලවත් අවශ්‍යතාවයක් පූර්ණය කිරීමට පෙරමුණ ගැනීම පිළිබඳ ව ප්‍රදේශවාසී මහා සඟරුවන වෙනුවෙන් සේරුවිල නාහිමියන් වෙත සිය බලවත් සතුට සහ ආශීර්වාදය ඵල කරනා ලදී.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් පැවසූයේ මෙසේ නොමිලයේ සිදුකරනා පාසල් බස්රථ සේවාවක් පිළිබඳ තම සේවා කාලය තුළ අත්දැකීමක් ලද ප්‍රථම අවස්ථාව මෙය බවයි. එනිසා මේ උතුම් කටයුත්ත අඛණ්ඩව පවත්වාගෙන යෑමට එතුමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ප්‍රධාන විහාරස්ථානයක් මුල් වී මෙබඳු කටයුතු සිදුකිරීම සමාජයට මහත් ආදර්ශයක් බවත් එතුමා වැඩිදුරටත් පැවසීය. මේ දුෂ්කර කාලයේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට මෙය ඒකාන්තයෙන්ම මහඟු අත්වැලක් වන බව කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් පැවසූ අතර සේරුවිල නාහිමිපාණන් වහන්සේටත් පීපල්ස් ලීසිං ආයතනයටත් නිරතුරුව තමන් ඇතුලු ප්‍රදේශවාසීන් කෘතවේදී වන බව සේරුවිල ප්‍රාදේශීය සභා සභාපතිතුමන් පවසන ලදී.