“සෝම හිමි” නැවත සිහි කරමු (source)
2003 සැප්තැම්බර් 14 වැනිදා මහනුවර මහමළුවේදී පැවැත්වූ බොදු සමුළුවක ප්‍රධාන දේශකයා ලෙස පූජ්‍ය ගංගොඩවිල සෝමහිමියෝ සහභාගි වූහ. එම රැස්‌වීමේ සිය කථාව පවත්වමින් සිටින අතරතුර උන්වහන්සේ විශේෂ ලිපියක් ගෙන ප්‍රදර්ශනය කළහ. එම ලිපිය ප්‍රදර්ශනය කරමින් සෝම හිමියන් ප්‍රකාශ කළේ තමන්වහන්සේ ඝාතනය කිරීමට ක්‍රිස්‌තියානි මූලධර්මවාදී සංවිධානයක් මුදල් යොදවා ඇති බවය. ඇත්තෙන්ම සෝමහිමියන් අපවත්වීමට පෙර සහභාගිවූ අවසන් රැස්‌වීම එයයි.
2003 දෙසැම්බර් 12 වැනිදා සෝමහිමියන් රුසියාවේ පීටර්ස්‌බර්ග් නුවරදී හදිසියේ අපවත්වූයේ මෙරට සිංහල බෞද්ධයන්ව සෝ සයුරක ගිල්වමිණි. වර්තමාන සිංහල බෞද්ධ ප්‍රබෝධයේ මූලිකයා වූ උන්වහන්සේ පිළිබඳ මතකය මෙරට දෑ හිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැක. උන්වහන්සේ අපවත්වී වසර 08 ක් සපිරෙන්නේ හෙට (12) දිනයටය. සෝමහිමි අපවත්වීමත් සමග මෙරට බෞද්ධයන් විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයෝ තමන්ට එරෙහිව මූලධර්මවාදී කුමන්ත්‍රණයක් සිදුවන බව පැහැදිලිව අවබෝධ කර ගත්හ. එනිසාම ජීවත්වු සෝමහිමියන්ට වඩා අපවත්වූ සෝමහිමියන්ගේ බලපෑම වඩාත් ප්‍රබල විය. 2001 පිහිටුවාගත් රනිල් වික්‍රමසිංහ ගේ එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුව 2004 දී බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ සෝමහිමි අභාවයයි. එදා එජාප ආණ්‌ඩුව වෙසක් සතියේදී විදුලිය අරපිරිමැසීමට අවශ්‍ය යෑයි කියමින් තොරණවලට විදුලි පහන් දැල්වීමට අවසර දුන්නේ දින පහක් පමණි. එහෙත් නත්තල වෙනුවෙන් මුළු දෙසැම්බර් මාසය පුරාම විදුලි බල්බ එල්ලා සැරසිලි කරන්නැයි රට පුරාම පොලිසිවලට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හරහා දැනුම්දී තිබිණි. එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්දය දුන් බෞද්ධයෝ පවා සෝමහිමියන්ගේ හදිසි අභාවයත් සමග සිය පක්‍ෂය කෙරෙහි කළ කිරෙන්නට වූහ. එනිසාම 2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ආසන 9 ක් ලබා ගැනීමට හැකි විය. හෙළ උරුමයට ඡන්ද ලක්‍ෂ 05 ක් ලැබුණු අතර එයින් ලක්‍ෂ 03 ක් ම එක්‌සත් ජාතික පක්‍ෂයට හිතැති සිංහල බෞද්ධයන් ලබාදුන් ඡන්ද වේ. මේ බව එජාපයේ හිටපු සභාපතිවරයකුම ප්‍රකාශ කර තිබිණි. 2004 න් පසුව ජාතික හෙළ උරුමයේ දේශපාලන ක්‍රියාවලිය ගැන කථා කිරීමට දැන් අවශ්‍ය නැත. නමුත් සෝමහිමියන්ගේ අපවත්වීමත් සමග සිංහල කමට බෞද්ධකමට විශේෂ තැනක් ලැබුණේ මේ ජාතිවාදී ප්‍රබෝධයක් ඇතිවූ නිසාය. එනිසාම 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්‍ෂය බල යට ඒමට හැකිවිය. 2005 දී මෙරට සෑම සිංහල බෞද්ධ පුද්ගලයින් තිදෙනකුගෙන් දෙදෙනකු ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂටය.
මේ අතීතය අද නැවතත් සිහි කරන්නේ මන්ද? සෝමහිමි මතකයේ මෙන්ම ඒ හරහා ඇතිවූ ආගමික ප්‍රබෝධය බොහෝ දෙනා අමතක කර ඇති නිසාය. සෝමහිමි නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය හරහා රටේ නමගිය ධර්ම කථිකයින්වූ සමහර භික්‍ෂූන්ගේ අද ක්‍රියාකලාපය කෙසේද? සෝම හිමි මෙන්ම රූපවාහිනිය හරහා ධර්ම කථිකයන්වී අවසානයේ අද සිදුකර ඇත්තේ කුමක්‌ද? ෙථිරවාදයටත් ගරහමින් මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතියටත් ගරහමින් “සමන්තභද්‍ර” වීම නොවේද? සෝම හිමියන් නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයෙන් පිම්බුණු මොවුහු අද බෞද්ධයින්ට වංචාකර නොමැතිද? බුදුන් වැඩසිටි කාලයේ ශාසන විරෝධීව හැසිරුණු ජබ්බග්ගිය පුනබ්බසුඛ භික්‍ෂුන්ගේ ක්‍රියාකලාපයන්ද අපට මේ වර්තමාන ශාසන විරෝධීන්ගේ ක්‍රියාවන් දෙස බලද්දී සිහිපත් වේ.
බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයකි. දීපංකරාදී මූලයේදී සුමේධ තාපසගේ තමන්ට නිවන් සැප ලබාගැනීමට හැකියාව තිබුණද ලෝකයාගේ හිතසුව වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨානකර මතු බුදු බව පැතූහ. සෑම බෞද්ධයකුටම තමන්ගේ නිවන් සැපය පවා අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්‌තිය තිබිය යුතු බව මහාචාර්ය වල්පොල රාහුලහිමියන් විසින් රචිත භික්‍ෂුවගේ උරුමය ග්‍රන්ථයේ සඳහන් වේ. සෝම හිමියන්ද සැබවින්ම කැපවූයේ පරාර්ථ සේවය සඳහාය. මූලධර්මවාදී ආක්‍රමණයෙන් බෞද්ධයන් ගලවා ගැනීම සඳහාය. බෞද්ධයාට නිසි මග පෙන්වනු පිණිස සෝම හිමියෝ පැයක් නොව පැය තුනක් බණ දෙසූහ. වෙනදා මෙන් ඒ බණ අසන්නට පැමිණියේ මහලු උපාසිකාවන් පමණක් නොවේ. තරුණ තරුණියෝ දහස් ගණනින් සෝමහිමිගේ බණ අසන්නට පැමිණියහ. ඇත්තෙන්ම මෑත කාලයේ වඩාත් විවාදිත භික්‍ෂු දේශපාලන චරිතය වූයේ පූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ය. එනිසාම සෝම හිමියන්ගේ හදිසි අභාවය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌යෑයි රට පුරා ප්‍රචාරයවීමත් සමග බෞද්ධයෝ කලබල වූහ. එම නිසාම ජීවත් වූ සෝම හිමියන්ට වඩා අපවත්වූ සෝම හිමියන් ප්‍රබල විය. දශ ලක්‍ෂයකට අධික බෞද්ධයෝ සෝමහිමියන්ට අවසන් ගෞරවය දැක්‌වීම සඳහා පැමිණියහ. රට පුරා කහකොඩි එසැවිණි. ඒවා මහරගමට හෝ බම්බලපිටියට සීමාවූයේ නැත.
සෝම හිමි අපවත්වී වසර අටක් ගතවන මේ මොහොතේ ජාතියේ වගකීම කුමක්‌ද? සෝම හිමි නිසා බලයටපැමිණි දේශපාලන බලවේගවලට මූලධර්මවාදීන්ගේ ආගමික ආක්‍රමණය නැවැත්විය හැකි පනත ගෙන ඒමට හැකිවූයේ නැත. එම පනත පාර්ලිමේන්තුවේ පුස්‌කයි. එයට වගකිව යුත්තෝ කවරහුද? එදා පැවැති බෞද්ධ ප්‍රබෝධය අද යම් පමණකට පසු බැස ඇත්ද? එම බෞද්ධ ප්‍රබෝධය යටගැසීමට කිසිවකුට ඉඩදිය යුතු නැත. මන්ද විවිධ කුමන්ත්‍රණකාරී ඉවැන්ජලිකල් බලවේග උත්සහ කරන්නේ මෙරට බෞද්ධ බලය විනාශ කිරීම සඳහාය. රාවතාවත්තේ ප්‍රේම් නිවස නම් ළමා නිවාසය ළමාරක්‌ෂණ අධිකාරිය මගින් හා පොලිසිය මගින් පසුගියදා වටලනු ලැබීය. මෙය කතෝලික පල්ලියේ බලවත් සිත්තැවුලට හේතුවක් වී ඇත. කාදිනල් මැල්කම් රංජිත් බිෂොප්තුමා පවසන්නේ මේ හේතුව නිසා තමා රාජ්‍ය උත්සව වර්ජනය කරන බවයි.
මදර් තෙරේසා අනාථ නිවාසය ගැන කතෝලික පල්ලිය එතරම් කලබල වන්නේ ඇයි? එය ශ්‍රී ලංකා රාජ්‍යය සමග තරහවීමට හේතුවක්‌ද? මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට පත්වූ විට මහානායක හිමිවරු රාජ්‍ය උත්සව වර්ජනය කළේද? නැත. ප්‍රේම් නිවසේ සිද්ධිය බලෙන් යටපත් කිරීමට උවමනාව ඇත්තේ කාටද? මේවා ගැන කථා කරන්න නිසි බෞද්ධ නායකයෙක් නැත. අද එදාට වඩා සෝම හිමියන්ගේ අඩුව හොඳින් දැනේ. මන්ද මිෂනාරී බලවේග වේගයෙන් කලඑළි බැස ඇති නිසාය.
චතුර පමුණුව