Spread the News

තරිඳු ජයවර්ධන

මහනුවර ඇතිවූ කළහකාරී සිදුවීම් සමග ජනාධිපතිවරයා විසින් පවන ලද හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විදේශ සංචාරය නිමවී ලංකාවට පැමිණි පසුව බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරයා ලංකාවට නැවත පැමිණීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා (07) බවත්, ඒ වන විට රටේ ඇති වාතාවරණය සලකා බැලීමෙන් අනතුරුව හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ලබන බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මහනුවර ප්‍රදේශයේ පසුගිය පස් වැනි දා ආරම්භ වූ කළහකාරී සිදුවීම් පාලනය කිරීම සඳහා පසුගිය හය වැනිදා පැවැති කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව එදින  සවස 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා   අත්සන් තැබීය.

ඒ අනුව  මහජන ආරක්ෂක ආඥා  පනතේ දෙවැනි කොටස සක්‍රීය වූ බවත්, එහි පස් වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් නියෝග නිකුත් කරනු ලැබූ බවත්  ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.  එම නියෝග මුලින් දින හතක කාලයක් සඳහා පැණවීමට රජය තීරණය කර තිබූ බවත්, ඒ අනුව මේ වන විට දින හතක කාලය අවසන් වී ඇතත් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉවත් කළ හැක්කේ ද ජනාධිපතිවරයාගේ අත්සනින්ම බවත්,  ජනාධිපතිවරයා විදේශ ගතවී ඇති බැවින් හදිසි නීති රෙගුලාසි ඉවත් කළ නොහැකි බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි ඉවත් කරනු ලබන තෙක් පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවටම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු විශේෂ බලතල හිමිවව බව ද ජනාධිපති ලේකම් කාර්යාලය කියයි