Spread the News

හායි.! හායි..!
එන්න කන්න බොන්න කියන ප්‍රීතිසාගරේ…!

source:

සඳ සැඟ වී ගොස්‌ය. අඳුර රජයන හිස්‌ අවකාසේ විදුලිය සිත්තම් මවා පෑය. තාරුකා හොරෙන් හොරෙන් එබිකම් කර බැලුවේ ඝන අන්ධකාරයට බියෙන් සේය. ළඟ ළඟ වැස්‌සක්‌ එන බව කියමින් සීතල සුළං රැලි අප වටා දැවටෙමින් සිටියි. අපි සොබාදහමේ සුන්දරත්වය රිසි සේ විඳිමින් සිටියදී, අපගේ මෝටර් රථය ජාඇල නගරයට සේන්දු වෙමින් තිබිණි. පාට පාට විදුලි බුබුළුවලින් ඒකාලෝක වූ උත්සව ශාලාවක්‌ අසල මෝටර් රථය නතර විය. තවත් මෝටර් රථයක්‌ නවතා තැබීමට තැනක්‌ නොමැති තරමට ඒ භූමිය වාහනවලින් පිරී ගොස්‌ය.

“හායි මහත්තයා.. මම බලාගෙන හිටියේ මහත්තයා එනකම්. කොච්චර දෙයක්‌ද මහත්තයා අපු ඒක. සෝයි නේ යාළුවෝ දෙන්නෙකුත් ඇවිත් ඉන්නේ. යමු අපි ඇතුළට.”

ඔසරියකින් හැඩ වූ සිහින් සිරුරකින් යුත්, දුටුවන් වසඟ කරන රූ සපුවකින් හෙබි සුකුමාර තරුණියක්‌ එසේ අපව පිළිගත්තාය. අපි සෙමෙන් සෙමෙන් උත්සව ශාලාව ඇතුළට පියනැඟුවෙමු.

පාට පාට බැලුම් බෝල, නන් විසිතුරු මල් වර්ගවලින් ශාලාව වර්ණවත් කර තිබිණි. තලස්‌තානි රුවක්‌ නොදුටු, ඒ ශාලාව පුරා පැතිර ගියේ භද්‍ර යෞවනයේ තරුණ්‍යයේ හඬ පමණි. ප්‍රදේශය සීතලෙන් වෙලාගනිමින් සිරිපොද වැස්‌සක්‌ ඇඳ හැලෙමින් තිබිණි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යයි. උත්සව ශාලාවේ තිබූ සියලු අසුන් තරුණ තරුණියන්ගෙන් පිරී ගොස්‌ය. අපි විදුලි ආලෝකය අඩු තැනක්‌ සොයාගෙන අසුන් ගත්තෙමු.

“අපි එක්‌ක කතා කරපු කෙල්ලගෙද පාටි එක.”

මම අපව ඒ සාදයට කැඳවාගෙන ගිය මගේ මිත්‍රයාගෙන් විමසුවෙමි.

“පිස්‌සුද.. කෙල්ලෙක්‌ නොවෙයි. එයා කෙල්ලෙකුත් නෙවෙයි, කොල්ලෙකුත් නොවෙයි.

කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවූ ඒ පිළිතුරෙන් මම විශ්මයට පත් වීමි. අපි කිසිවකු කිසිවක්‌ කතා නොකර මුහුණට මුහුණ බලා සිටියෙමු. මිනිස්‌ මනස නොදැකපු දේ බලා ගැනීමටත්, නොඅසපු දෑ අසා දැනගැනීමටත් ආශාවෙන් පෙළෙන බව අපි දනිමු. ඉතින්.. මේ නොදැකපු මඟුල දැක බලාගැනීමට අපිදු නොනිමි ආශාවෙන් පසු වුණෙමු.

ඒ උත්සවයට පැමිණ සිටි බහුතරය ඔවුන් බවද, ඔවුන් සියල්ලෝම කාන්තා ඇඳුම් පැළඳුම්වලින් සැරසී විවිධාකාර කොණ්‌ඩා මොස්‌තරවලින් සැරසී සිටි බවද තහවුරු විය. ඔවුහු සැබැවින්ම සුකුමාර ලඳුන් වූහ. භද්‍ර යෞවනයේ චමත්කාරයද ස්‌ත්‍රියකගේ රූ සපුවද මොනවට ඔවුන්ගෙන් දිස්‌ විය. වරක්‌ දුටු කෙනෙක්‌ නැවත හැරී නොබැලුවොත් පුදුමයකි. ඒ තරමට ඔවුන්ගේ රූ සපුව සුන්දරය. පැහැපත්ය. ඔවුන්ගේ පෙනුමට අපදු රැවටුණු වාර ගණන අනන්තය.

කොට කළු සායකින් සහ කළු දැලක්‌ මෙන් හැට්‌ටයකින් සිරුර වසා ගත් කාන්තා වෙස්‌ ගත් පුද්ගලයෙක්‌ අපට සිසිල් පැන් වීදුරුවකින් සංග්‍රහ කළේය. ගත වූයේ නිමේෂයකි. ශාලාවට ආලෝකය ලබාදී තිබූ සියලු විදුලි බුබුළු නොසිතූ විරූ ලෙස නිවී ගියේය. ඒ සමග ඇඟ හිරිවට්‌ටන අධිවේගී ඩීඡේ සංගීතයක්‌ ශාලාව පුරා ගලා ගියේ දෙසවන් හිරි වට්‌ටමිනි.

ලායාන්විත ගීත රාවයක්‌ ශාලාව ඉදිරියෙන් ඈතින් මෙන් ඇසෙයි. නමුදු තීව්‍ර වී ගලා යන්නේ අධිවේගී ඩීඡේ සංගීත රාවයයි. නානා පැහැ විදුලි කදම්බ ඇස්‌ නිලංකාර කරවමින් ශාලාව පුරා නලියමින් තිබිණි. මොහොතක්‌ අඳුරටත් මෙහොතක්‌ අලෝකයටත් හුරු වූ අපගේ දෑස්‌ ඔවුන්ගේ අනඟ රුගුම් දෙස බලා සිටියි. සංගීතයෙන් මුසපත් වූ ඔවුහු විවිධ නැටුම් නැටූහ. ඇතැම්හු ඇඟලා සිටි ඇඳුම් ගලවා වීසි කළහ. දුවවිත් මේස උඩ නඟිමින් නටති. ගලා යන ගී පද වැල් මුමුණති. එකිනෙකා සිප වැළඳගෙන සතුටු වෙති. නැටුම් ගැයුම් වැයුම්වලින් ශාලාව පීරි ගොස්‌ය. අසුන්වල වාඩි වී සිටි සියල්ලෝම අසුන්වලින් නැඟිට එක පොදියට නටති.

සුරා විත පිර වූ බඳුන්, විවිධ මසවුළු වර්ගවලින් මේස පිරී ගොස්‌ය. ඒ සාදයේදී සුරාවෙන් මත් වී නොසිටි කෙනෙක්‌ සොයාගැනීමට නොහැකි තරම්ය. දැල් වී නිවෙන විදුලි බුබුළු මෙන් ශාලාව පුරා දුම්වැටි දැල් වේ. ඇතැමුන් අරක්‌කු බෝතල් කට තියාගෙන නොබීවාම නොවේ. සුරාවෙන් මත් වූ ඇතැම්හු ගලවා විසි කළ සාරි ඔසරි පාවී ගියේ සරුංගල් සේය. ඔවුහු ශාලාව පුරා දුවති. කෑමෝර දෙති. ඔවුන් මෙතරම් සුරාවට, දුම්වැටියට ලොල් වී සිටින්නේ මන්දැයි කියා අපි විශ්මයෙන් මෙන් බලා සිටියෙමු.

වර්තමාන සල්ලාල ලෝකයේ මෙබඳු අය ගණිකා වෘත්තියේ ද යෙදි සිටිති. මොණර කොල දහස්‌ ගනනින් විසි කරමින් ඔවුන්ගේ පහස ලබාගැනීමට කැමති කාමාතුරයෝ ද සමාජයේ බුරුතු පිටින් වෙසෙති. ඇතැම්හු ගණිකා වෘතිත්තිය රැකියාව කරගෙන ජීවිකාව ගෙන යන බව ද රහසක්‌ නොවෙති. ඒ ගණිකා වෘත්තිය ගැන අපි පසුව දවසක කතා කරමු. දැන් අපි අඟන රැඟුම් මැද ගලා යන ප්‍රියසාදයට එක්‌වෙමු.

මගේ මිත්‍රයා දැන හඳුනන ව්‍යාපාරික කාන්තාවක්‌ද මෙම සාදයට පැමිණ සිටියාය. සාදය අතරතුර ඇය අප සමග විවිධ දේ කතා බහ කළාය. ඒ අතරට ඔවුන් පිළිබඳ විවිධ රස කතා ද පැවසීමට ඇය අමතක නොකළාය.

“මල්ලි මෙයාලටත් කියලා ජීවිතයක්‌ තියෙන්න ඕනෑ. අපිත් මේ අයගේ පාටිවලට සහභාගි වෙන්න ඕනෑ. එයාලත් එක්‌ක ඉන්න ඕනෑ. එතකොට ඒ අයට ඔවුන් ගැන දුකක්‌ දැනෙන්නෙ නැහැ. හැබැයි මල්ලි.. ඔවුන් පිරිමින් එක්‌ක නම් වෛරයෙන් ඉන්නෙ. මම ඒක හොඳින් දන්නවා. කිසිම වේලාවක ඔයාලා මේ අයට රැවටෙන්න එපා. මේ ගොල්ලෝ අන්ඩවල්ඩ් ගේම් දෙන අය.”

ඇයගේ මුවින් ගලා ගිය වදන් පෙළත් සමග ඔවුන් පිළිබඳ අපගේ මනසේ ඇඳී තිබූ චිත්‍රය මැකී ගියේ අපටත් හොරාය. ඒ තරමට ඒ වදන් පෙළ අපගේ හදවතට සංවේදී විය. ඔබගේ හිතසුව පිණිස කිසිවක්‌ නොසඟවා මේ ටිකත් ඔබට ලියා තැබීමට අපි අදහස්‌ කළෙමු.

මේ අයගෙන් බොහොමයක්‌ දෙනාගේ වෘත්තිය රූපලාවන්‍ය කටයුතුවල නියෑළීමයි. එපමණක්‌ නොව මුදලට විකිණෙක ටෙලිනාට්‍ය නිළියන් කමාතුරයන්ට හඳුන්වාදීමේ තරැව්කාර සේවය ද ඔවුන්ගේ එක්‌ සැඟවුණු ව්‍යාපාරයකි. සුරූපී ටෙලි නාට්‍ය නිළියකගේ පහස ලබාගැනීමට කාමතුරයකුට අවශ්‍ය වූ විට ඔවුන් අමතන්නේ මොවුන් බව වර්තමාන සමාජයේ රහසක්‌ නොවේ. අවශ්‍ය ඕනෑම මාදිලියක, ඕනෑම මිලකට විකිණෙන වෙසඟනෝ ඔවුන් සමග ගනුදෙනු කරති. මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ, සුරූපී වෙසඟනන් සමග යහන්ගත වී කාම ආශාවෙන් මුසපත් වූ විට ඔවුන් සමග නිරුවතින් සිටින අවස්‌ථා ගනුqදෙනුකරුවන්ට නොදැනීම ඡායාරූපගත කිරීමට ඒ කාන්තාවන් දක්‍ෂ වීමයි. අනතුරුව ඒ ඡායාරූප ඔවුන් අතට පත් වේ. ඔවුහු ඡායාරූප පෙන්වමින් ගනුqදෙනුකරුවන් “බැල්ක්‌ මේල්” කරමින් ඔවුන්ගේ පදයට නටවයි. ඒ පදවලට නටන්නට අකමැති වූ විට ඡායාරූප හැරෙන තෑපෙලෙන් ගනුqදෙනුකරුවාගේ බිරිඳගේ සුරතට පත් වේ. මෙවැනි සිදුවීම් නිසා පවුල් ජීවිත අවුල් කරගත්තෝ ද අප සමාජයේ නැතුවා නොවෙති. ඔවුන්ගේ සැඟවුණු යථාර්ථය එයයි.

නමුදු ඔවුන් ද අප සමාජයේ ජීවත් වන අපේම සහෝදරයෝය. ඔවුන්ට කියා ජීවිතයක්‌ තිබිය යුතුය. ඔවුන්ටත් සාමාන්‍ය මිනිස්‌ අයිතිවාසිකම් හිමි විය යුතුය. ඔවුනුත් විනෝද විය යුතුය. විවාහ මංගල්‍යයක්‌ නොමැති ඒ අහිංසක ජීවිතවල එක්‌ උපන්දිනයක්‌ විවාහ මංගල්‍යයක්‌ ලෙස උත්සවයක්‌ ගැනීම ඔවුන්ගේ සිරිතය. මේ සාදයත් එවැනි උත්සවයක්‌ විය හැකිය.

අධිවේගී ඩීඡේ සංගිතය වේගයෙන් ගලා යයි. දැන් දැන් කොණ්‌ඩ බූ ගෑ, ඇඟ පුරා පච්චයෙන් සිත්තම් ඇඳගත් තරුණ කොල්ලෝ ද බුරුතු පිටින් සාදයට එක්‌ වෙමින් සිටිති. සිරි පොද වැස්‌ස මහ වර්ෂාවක්‌ බවට පත් වී තිබිණි. ඔව්හු එළියට දුවවිත් වර්ෂාවෙන් තෙමෙති. නැවත ශාලාව තුළට පැමිණ නටති. තරුණ කොල්ලන්ව සිප වැළඳ ගනිති. අතිශයින්ම ශෘගාරාත්මක දසුන් ද අප ඒ සාදයෙන් නොදුටුවාම නොවේ.

එහිදී අප ඇස ගැටුණු ෙ€දනීයම දසුන වන්නේ එක්‌ මව්පිය යුවළක්‌ තම කුඩා දරුවන් තිදෙනකු සමග පැමිණ සිටීමයි.

“අර බලන්න අම්මේ අර අක්‌කා ඇඳුම් ගලවලා විසි කරනවා. ඇයි අම්මේ එහෙම කරන්නෙ. අර.. අර.. බලන්න අම්මේ අතන ඉන්න අක්‌කලා ඔක්‌කොම අරක්‌කු බොනවා.”

තව මොන මොනවාදෝ කුටු කුටු ගාමින් කුඩා පිරිමි දරුවකු තම අම්මාට පවසනවා අපගේ දෙසවනට ඇසුණේය. එයින් අප තුළ ඇති වූයේ වේදනාවත් සමග ඒ මව්පිය යුවළ කෙරෙහි දැඩි කෝපයකි. නමුදු අපට කළ හැකි දෙයක්‌ නොමැත. ඔවුන් දැන හෝ නොදැන ඒ ළමයි තිදෙනාව කැටුව ආවාද කියා අපි නොදනිමු. නමුදු ඒ මව්පිය යුවළ එහි රඟ දැක්‌වෙන ජවනිකා දෙස බලා තම දරුවන්ව ද එතැන රඳවාගැනීම සුදුසු ද නැද්ද කියා තේරුම් ගැනීමට තරම් මොළ කලඳක්‌වත් නැත්තවුන් සේ හැසිරුණ බව නම් අපි කියමු. ඒ මව්පිය යුවළ ජීවත් වන සමාජ පසුබිම එය වුවද තම දරුවන් ඒ නරා වළට ඇද දමන්නට පාර හෙළි පෙහෙළි කිරීම නම් දරුවන්ට පමණක්‌ නොවේ සමාජයටම කරන අපරාධයකි. ඔවුන් කළ යුත්තේ ඔවුන් දැන හෝ නොදෙන වැටුණු නරා වළට තම දරුවන්ව ඇද නොදමා සමාජයට යහපත් පුරවැසියකු බවට පත් කිරීමට කටයුතු කිරීමය.

අසුන් දෙක තුනක්‌ ඇරෙන්නට සියලු අසුන් හිස්‌ව ගොස්‌ය. සුරා බඳුන් දුම්වැටි අතින් ගත් සියල්ලෝම මත් වූ බඹරුන් සේ වේග රිද්ම සංගීතයට නටති. පිණුම් ගසති. පුටු මේස උඩ නඟිමින් නටති. තැනින් තැන පරුෂ වචන එක දෙක ඇසෙන්නට පටන් ගත්තේ සාදයේ උච්ඡත්වයේදීය.

“මල්ලි එන පොට හොඳ නැහැ. අපි දැන්ම මාරු වෙමු. මේ පාටිවල අවසානය ගුටි බැට කෙළියක්‌. ඔළුව බේරගෙන අපි යමු.”

මගේ මිත්‍රයා මගේ කනට කර පැවසුවේය. අපි හිමින් සීරුවට එළියට ඇදුනෙමු. මෝටර් රථය නවතා තිබූ තැනට යැමට නොහැකි ලෙස වැස්‌ස අපට බාධා කරයි.

“අඩෝ මං හයි ක්‌ලාස්‌ ගෑනියෙක්‌. මම සුපිරි නයිට්‌ ක්‌ලබ්වලට බහින කුරුඳුවත්තේ ගෑණියෙක්‌ කියලා උඹ දන්නවනේ. උඹ මාත් එක්‌ක ඉන්නවා නම් වෙන එවුන් පස්‌සෙ යන්න බැහැ. එහෙම යන්න ඕනෑ නම් මට කියලා මගෙන් අයින් වෙලා පලයන්.”

එක දිගට උද්වේගකර වචන පෙළක්‌ ගලා ගියේය. අපි ඒ දෙසට හැරුනෙමු. අවුරුදු දහඅටක්‌ පමණ කිවහැකි කොලු ගැටයකුව බිත්තියකට හේත්තු කරගෙන වැරෙන් පහර දෙයි. අපි තව තවත් ඒ දෙසට කිට්‌ටු කළෙමු. ඒ ආරවුලට බීජය වී තිබුණේ අසම්මත ප්‍රේමයක ප්‍රේමවන්තයා සාදය අතරතුර අඳුරට මුවා වී තවත් කෙනෙකුගේ පහස විඳිමින් සිටියදී තරුණයාව කැටුව ආ අනෙකා සියසින් දැකීමය. සම්මතයක්‌ නැති වුවත් තම ප්‍රේමවන්තයා වෙනත් අයකු සමග සිටීම හෙයින් ඔහුට තැන නොතැන අමතක වී යාක්‍ෂාරූඪ විය.

“එයි ඕක නවත්තපල්ලා. එළියට ගිහින් ඕන දෙයක්‌ කර ගනිල්ලා.” හැදි දැඩි හයයි හයේ පොරවල් ටිකක්‌ ගෝරනාඩු තැබීමත් සමග සියල්ලෝම විසිර ගියෝය.

අලුත් දවසක්‌ උදා වී තිබිණි. නමුදු තවමත් ඝන අන්ධකාරය පහව ගොස්‌ නොමැත. හිරිගඩු නංවන සීතලේ අපි අමාරුවෙන් මෝටර් රථය පාරට ගෙන කොළඹ දෙසට ගමන් කළෙමු.

තරංග රත්නවීර