හෙරොයින් කන්ටේනරය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ ඕනෑ

Spread the News

හෙරොයින් කන්ටේනරය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ ඕනෑ
– ඕමල්පේ හිමි පොලිස්‌පතිගෙන් ඉල්ලයි

මදුර රන්වල source:

පකිස්‌තානයේ කරච්චි නුවර සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ හෙරොයින් මත්කුඩු කන්ටේනරය සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම හෙරොයින් සහිත කන්ටේනරය ඉකුත් ජුනි මස 06 වැනිදා කොළඹ වරායට ගොඩබා ඇති අතර මීට මාස තුනකට පෙර එය විවෘත කරන ලදී.

මෙම පරීක්‍ෂණය ජාතික වැදගත්කමක්‌ සේ සලකන ලෙසත් ශ්‍රී ලංකාවට මෙලෙස මත්ද්‍රව්‍ය පැමිණීම බරපතළ කරුණක්‌ බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්‌පතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කර ඇතැයි ද මෙම කන්ටේනරය නිදහස්‌ කර ගැනීම සඳහා අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ගම්පොළ නාගරික මන්ත්‍රීවරයකු ගනු ලැබූ උත්සාහය සම්බන්ධව පරීක්‍ෂණ පවත්වා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද එම ලිපිය මගින් පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස්‌පතිවරයා මේ වන විට විදේශගතව ඇතැයි ද ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ සම්බන්ධව පියවර ගනු ලබන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මෙම සිද්ධියට සම්බන්ධ අගමැති සම්බනධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ මහතා විද්යුත් මාධ්‍යයක්‌ වෙත පවසා තිබුණේ ගම්පොල නාගරික මන්ත්‍රීවරයකු වන තරංග විට්‌ටච්චි මහතා කළ ඉල්ලීමක්‌ අනුව මෙම කන්ටේනරයට අදාළ කොළඹ වරායේ ගුදම් ගාස්‌තු අඩු කර ගැනීම සඳහා වරාය අධිකාරිය වෙත තමා ලිපියක්‌ යෑවූ බවය. නමුත් එහි හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බව තමා නොදන්නා බවත් තරංග විට්‌ටච්චි මන්ත්‍රීවරයාට සිය දේශපාලන කටයුතු සඳහා උදව් කරන ව්‍යාපාරිකයකු විසින් ආනයනය කරන ලද නාන කාමර උපාංග සහිත කන්ටේනරයක්‌ යෑයි සිතා අදාළ ලිපිය නිකුත් කළ බවය.