Spread the News

සන්ධානයෙන් ඉවත්වී
හෙළ උරුමය නව පෙරමුණකින් ඡන්දයට

දයා ලංකාපුර

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත් වී ඉදිරි මැතිවරණයට නව පෙරමුණකින් තරග කිරීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එහි මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මේ වෙනුවෙන් නව දේශපාලන පෙරමුණක්‌ පිහිටුවා ඇති බවත් ඒ පිළිබඳව මැතිවරණ…

කොමසාරිස්‌වරයා සමඟ සාකච්ඡා කළ පසු එම පෙරමුණේ නම සහ ලකුණ ප්‍රකාශයට පත්කරන බවත් බත්තරමුල්ලේ ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

ජාතික හෙළ උරුමය මෙම තීරණයට එළඹුණේ ඉකුත් ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම මගින් ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉටුකිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයත්, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් අපොහොසත් වූ නිසා බව ද ඒ මහතා පැවසීය.

තම පක්‍ෂය එ.ජ.නි. සන්ධානයෙන් ඉවත් වී නව පෙරමුණක්‌ ලෙස ඉදිරිපත් වීමට තීරණය කළේ මහින්ද රාජපක්‍ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ගෙන ඇති තීරණය නිසා නොවන බවත් එය ශ්‍රී.ල.නි.ප.යේ අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ බවත් මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණවක මහතා පැවසීය.

පාඨලී චම්පික රණවක මහතා එහිදී මෙසේ ද පැවසීය.

“රට නව දේශපාලන අවධියකට ගමන් කරමින් පවතිනවා. මේ අවස්‌ථාවේ අපේ ජාතික වගකීම ඉටුකරන්න ඕනේ කියල අපි කල්පනා කළා. අද මේ රටේ ජනතාව අතර යම් වික්‍ෂිප්ත භාවයක්‌ ඇති වී තිබෙනවා. කුමක්‌ද මේ සිදුවෙමින් පවතින්නේ කියා”

ජනවාරි 08 වැනිදා විශාල ධනයක්‌ රාජ්‍ය බලයක්‌ පාවිච්චි වෙමින් තිබියදී මේ රටේ උගත්, බුද්ධිමත් ජනතාවගෙන් විශාල පිරිසක්‌ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබාදුන්නා.

තවත් පිරිසක්‌ සමහර විට රට බෙදේවි කියන ආකල්පය මත බයවෙලා මහින්ද මහත්තයට ඡන්දය දුන්නා වෙන්න පුළුවන්. මේ සියලු මධ්‍යස්‌ථ බලවේගවල බලාපොරොත්තුව මේ රටේ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කර ගනිමින් රටේ යහපාලනය සඳහා වූ යටිතල පහසුකම් තවදුරටත් නැංවීමයි. අද රටට ඉතා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනයේ සම අවස්‌ථා ඇතිවන සමබිමක්‌ උදාකර ගැනීමයි. ඒ අවශ්‍යතාවය රටේ ඉතා ඉහළින් පැනනැගී තිබෙනවා.

මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක වන මහින්ද රාජපක්‍ෂ මහතා මෙහෙයවන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටත් අනෙක්‌ පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එක්‌සත් ජාතික පක්‍ෂයටත් එය ඉෂ්ට කරන්න බැරි බව පැහැදිලියි. මේ දෙකම අතීතයට අයත් වන බලවේග දෙකක්‌. ඒ නිසා අපි තීරණය කළා ශීලාචාරකම වෙනුවෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ වගේම අශිෂ්ටත්වය වෙනුවට මේ රටේ උගත්, වියත්, සාධාරණ, යුක්‌ති සහගත පාලනයක්‌ අනාගතයේ ඇති කරගැනීම වෙනුවෙන් ජනවාරි 08 වැනිදා ක්‍රියාත්මක වූ බලවේගයන්ට නව වේදිකාවක්‌ බවට පත්වෙන්න.

ඒ නිසා පසුගියදා රැස්‌ වූ අපේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. එ.ජ.නි.ස.යෙන් ඉවත් වෙලා මේ රටේ අනාගතය ගොඩනගන යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන ශීලාචාර දේශපාලනයක්‌ සඳහා වූ නව දේශපාලන බලවේගයක්‌ නව අරුතකින් ඉදිරිපත් කිරීමට. ඒ සඳහා මේ රටේ සිටින ආත්මගරුත්වයක්‌ ඇති බලකාමයෙන් මත් නොවූ පිරිසෙන් සහ කෙසේ හෝ මන්ත්‍රීකම්, ඇමැතිකම් ගැනීමේ බලාපොරොත්තු නොවී රට ගොඩනැගීමට ඉදිරිපත් වන සෑම කෙනකුටම අපි ආරාධනා කරනවා.”

එහිදී වැඩිදුරටත් කරුණු දැක්‌වූ රණවක මහතා, අනාගත දේශපාලන පෙරමුණු සාමුහික වෘත්තීය නායකත්වයකින් යුත් පෙරමුණක්‌ බවත් යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය හා ශීලාචාර දේශපාලනය රට තුළ ස්‌ථාපිත කිරීම එහි තේමාව බවත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික පස්‌සරමුල්ලේ දයාවංශ හිමියන් සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ නිරෝෂා අතුකෝරළ මහත්මියත් මධ්‍යම කාරක සභික අනුරුද්ධ ප්‍රදීප් මහතාත් සහභාගි වූහ.

හෙළ උරුමය ඉටු කරන්නේ රනිල්ගේ වුවමනාවයි

– උදය ගම්මන්පිල

අනුරාධ හිරිපිටියගේ

ජාතික හෙළ උරුමය විකල්ප බලවේගයක්‌ හැදීමට උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහගේ වුවමනාවන් ඉටු කිරීමට යෑයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා “දිවයින”ට ඊයේ පැවැසීය. නමුත් ඊට ජනතාව රැවටෙන්නේ නැතැයි ද ඔහු සඳහන් කළේය.

ජාතික හෙළ උරුමය වෙනම පෙරමුණක්‌ යටතේ මහ මැතිවරණයට තරග කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඔහු මේ බව පැවැසීය.

ජනවාරි අටවැනිදා ජනාධිපතිවරණයේදී හංසයාට ඡන්දය දී තමන් ගත්තේ වැරදි දේශපාලන තීන්දුවක්‌ බව තේරුම් ගත් ජනතාව දැන් නිවැරැදි මාවතට පැමිණ සිටින මුත් උද්දීපනය වන ජනමතය පිළිගන්නේ නැතිව හෙළ උරුමය නැවතත් වැරදි මාවතක ගමන් කරමින් බුලත් කොළයේ ඡන්ද කැඩීමේ අසාර්ථක උත්සාහයක නිරත වීමට හදන බව ඔහු කීවේය.

ජනවාරි නව වැනිදා රනිල් ගේ ආණ්‌ඩුවක්‌ හැදීමේ ව්‍යාපෘතියට හෙළ උරුමය දායක වුණ මුත් මෙවර ඔවුන්ට එය කර ගැනීමට බැරිවන බව ද ගම්මන්පිල මහතා සඳහන් කරයි.