‘හෙළ වෙද ඉසිවරු’ රටට හෙළි කිරීම උතුම් ක්‍රියාවක්‌

Spread the News

‘හෙළ වෙද ඉසිවරු’ රටට
හෙළි කිරීම උතුම් ක්‍රියාවක්‌

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජනාධිපති උපදේශක ඕමාරේ කස්‌සප නාහිමි

පූගොඩ – සරණපාල නුවරපක්‍ෂ source:

‘නීරෝගී බව සුරැකීම සඳහා මේ පිංබිමේ අප ලබන ආස්‌වාදය, වින්දනය ලෝකයේ කොයි රටකට ගියත් අපට ලබන්න බැහැ. ඕනෑම දියුණු රටකට අභියෝග කළ හැකි මට්‌ටමට විවිධ පැතිකඩවලින් දියුණුවන රටක්‌ හැටියට මේ රට හඳුන්වන්න පුළුවන් මෙවන් අවස්‌තාවක හෙළ වෙඳ ඉසිවරු රටට හෙලි කිරිම උතුම් ක්‍රියාවක්‌ යෑයි’ ඕමාරේ කස්‌සප නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ දිවයින කර්තෘ මණ්‌ඩලයේ උපකතුවරයකු වශයෙන් සේවය කරන විමලසිරි අගලකඩ මහතා විසින් රචිත හෙළ වෙද ඉසිවර’ නමැති ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය ඒ මහතාගේ නිවසේදී පැවැති අවස්‌ථාවේදීය. කස්‌සප නාහිමියෝ මෙසේද පැවසූහ.

විශේෂයෙන් අප රට තුළ වෛද්‍ය ක්‍රම රාශියක්‌ තියෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ඇතුළු වෛද්‍ය ක්‍රම ගණනාවක්‌ තිබෙනවා. ආයුර්වේදයට තමයි ඇතුළත් කර තිබෙන්නේ අපේ දේශීය වෙද පරපුර. මේ දේශීය වෙදකම තමයි අපේ ඉපැරැණි වෛද්‍ය ක්‍රමය. ඒ ඉපැරැණි වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක කරන වෛද්‍යවරුන්ට, වෛද්‍යවරියන්ට වෛද්‍යවරුන් වෙන්න බලාපොරොත්තුවන අයට මීට වඩා ඇගයීමක්‌ රජයෙන් කළ යුතු වුවත් අගලකඩ මහතා මේ වෛද්‍යවරු ඇගයීම පිළිබඳවත් පුවත්පත මගින් මේ වෙදකම රට හඳුන්වා දීම පිළිබඳවත් අගය කළ යුතුයි.

දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතා – අද මේ අවස්‌ථාව ඓතිහාසිකයි කියලා මට හිතෙනවා. මන්ද අපි ලංකාවේ හැම තැනම ගිහින් දේශීය වෛද්‍යවරුන් සමග සාකච්ඡා සහ විවිධ හමුවීම් පවත්වපු මතකයන් මතක්‌ වන නිසා. අපිට ජාතියත්, රටත්, අපේ සංස්‌කෘතියත් වටිනවා. මේ උතුම් ඉසිවරු හමුවේ මොහොතක්‌ ගත කරන්නට විමලසිරි අගලකඩ මහතා තමන්ගේ නිවහන තුළ ලබාදුන්න සුවිශේෂී අවස්‌ථාව ගැන පළමුකොටම එතුමන්ටත් එතුමන්ගේ ආරාධනය පිළිඅරගෙන මේ ස්‌ථානයට පැමිණි තමුන්නාන්සේලා සියලු දෙනාටමත් මගේ ගෞරවණීය ස්‌තූතිය පිරිනමන්ට කැමතියි.

මට මතක්‌ වෙනවා. දිවයින පුවත්පතේ ලිපියක්‌ පළවුණාම, ඉරිදා දිවයින සංග්‍රහයට විශේෂ අතිරේකයේ වෛද්‍යවරයෙක්‌ ගැන ලිපියක්‌ පළවුණාම දිවයිනට එන දුරකථන පණිවුඩ සංඛ්‍යාව. සමහර අවස්‌ථාවල ඒක අපිට වදයක්‌ වෙච්ච අවස්‌ථා තිබුණා. එතුමන්ගෙන් ඒ ගැන විමසුවේ පිහිට පතන අහිංසක ගිලනුන්. ඒ අයට සෙතක්‌ ශාන්තියක්‌ කරන්න මේ වෛද්‍යවරුන්ගේ හමුවීමක්‌ ලබා දෙන්න අවස්‌ථාවක්‌ තමයි මේ අහිංසක ජනතාව අපෙන් අයෑද සිටින්නේ.

අපේ වෛද්‍ය ශාස්‌ත්‍රය තුළ අනාදිමත් කාලයක සිට තිබෙන ඒ මහා දක්‍ෂතාවන් තුළින් අපි ප්‍රයෝජනය ගත්තා මදිදෝ කියලා මට හිතෙනවා. මන්ද කීදෙනෙක්‌ ඒ මහතා ලිව්ව ලිපි පෙළ නිසා ඔබතුමන්ලාගේ ප්‍රතිකාර වලින් සුවපත්වී තිබෙනවාද? ඒ පිංදෙන උදවිය අනන්තයි අප්‍රමාණයි. ඔබ සියලු දෙනාම ජාතියට කරන මෙහෙවර අති උත්තරීතරයි. තමුන්නාන් සේලාට ඒ පින අත්වෙනවා.

හෙළ වෙද ඉසිරිවරු ග්‍රන්ථයේ කර්තෘ විමලසිරි අගලකඩ මහතා – බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කරන්න බැරි ශල්‍යකර්මයන් සඳහා ලක්‍ෂ ගණන් ඉල්ලපු රෝග අපේ මේ වෙද මහත්වරු එක බෙහෙත් වේලෙන් සනීප කර තිබෙනවා. මේ මහා සුවිශේෂී කාර්ය නිසා අපි තීරණය කළා අපට ආවේනික වුණු මේ හෙළවෙදකම තව ටිකක්‌ ගැඹුරින් හොයන්න. අද වෙන කොට අපි ලියපු ලිපි පෙළ හරහා විශාල ප්‍රමාණයක්‌ පිටරටවලින් පවා දුරකථන ඇමතුම් අපට ලැබෙනවා. දේශීය වෙදකමේ උන්නතිය සඳහා යම් පමණක්‌ හෝ දායකවීමට අපිට එය මහා සවියක්‌ අභිමානයක්‌ වේවි.

මෙම අවස්‌ථාවට අකුරැස්‌ස වැලිහේන සුභද්‍රdරාම විහාරාධිපති රඹුකන ඥණරතන, සියනෑ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත වීරපාන ජිනරතන යන හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය සමග අධිනීතිඥ ධර්මසිරි සූරියආරච්චි. උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්‍ෂ ළහිරු ගුණසේකර, සංස්‌කෘතික අමාත්‍යාංශයේ සංස්‌කෘතික නිලධාරී නන්දසේන පලිහක්‌කාර යන මහත්වරු සහ දේශීය පාරම්පරික වෛද්‍යවරු ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

මෙහිදී සර්ප විෂ විශේෂ රඹුකන ඥනරතන හිමි සහ මාකුරේ පියනන්ද නාහිමි, පිළිකා හෘද රෝග හා සර්වාංග රෝග වජිරජීව වසන්ත කුමාර, වාත රෝග අංශභාග ධර්මදාස රද්දල්ගොඩ, ස්‌නායු රෝග හා වකුගඩු රෝග කේ. ඒ. එන්. පී. බානගල, සර්වාංග රෝග හර්ෂ ධර්මවිජය, අස්‌ථි හා ස්‌නායු රෝග කේ. එම්. රණසිංහ බණ්‌ඩාර, සර්වාංග හා ගෙඩි වන විශේෂ රුවන් සාගර දහනායක, වාත රෝග හා හෘද රෝග අනිල් වසන්ත කුමාර, මධුමේහය හා අපස්‌මාර කේ. ඩී. ආරියදාස, කැඩුම් බිඳුම් හා අස්‌ථි විශේෂ ඩබ්. පී. ගුණසේන, සර්වාංග රෝග සුජීව විතානගේ, අක්‍ෂි රෝග විශේෂ ඩී. ධර්මසේන, නිල වෙදකම ජී. එම්. සුබනේරිස්‌, මානසික රෝග විශේෂ දයානන්ද උග්ගල්ලගේ, අක්‍ෂි විශේෂ ඒ. එම්. ඒ. අශෝකා ප්‍රියන්ති අලගියවන්න, කැඩුම් බිඳුම් ධනුෂ්ක සම්පත්, අස්‌ථි රෝග එච්. ඒ. ඩී. සිරිසේන, සර්වාංග රෝග තරංගා කුමාරි වික්‍රමසූරිය, සර්වාංග රෝග උපුල් ජයවර්ධන, සර්වාංග කැඩුම් බිඳුම් ජයන්තා සෝමසීලි සහ සර්වාංග හා බාල රෝග සුසිලා සඳසීලී යන වෙදදුරුවරුන් හා වෙදදුරුවරියන් 24 දෙනකු සම්මාන තිළිණයෙන් පිදුම් ලැබූහ.