Spread the News

හෝමාගම සිද්ධියට අත්අඩංගුවට ගත් හිමිවරු දෙනම රිමාන්ඩ්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා , ජයසිරි කාරියවසම් – හෝමාගම සහ ඔරුවල සරත් සිල්වා

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දින (26 වැනිදා) එම අධිකරණ භූමිය ඉදිරිපිටදී ඇතිවූ සිද්ධියට ඊයේ (01 වැනිදා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිමිවරුන් දෙනම ලබන 09 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කෙළේය.

මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ සිංහල රාවය මහ ලේකම් මාගල්කන්දේ සුදන්ත සහ බඩල්කුඹුරේ අරියරතන යන හිමිවරු දෙනමයි.

උන්වහන්සේ දෙනම ලබන 09 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියම විය.

මෙම හිමිවරුන් දෙනම සමඟ මේවනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව හයකි.

මෙම සැකකාර හිමිවරුන් දෙනම ඊයේ උදේ හෝමාගම මූලස්‌ථාන පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව හෝමාගම මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උපුල් ලියනගම මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ටී. ජී. චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.