Spread the News

19ට පැවැත්විය යුතු  ජනමතවිචාරණය පවත්වා නැති බවත්, ජනාධිපතිවරණය පැවත්විය හැක්කේ එකී ජනමතවිචාරණය පවත්වා ජනාධිපතිවරයා විසින් 19ය නීතියක් බවට සහකිය යෙදීමෙන් පසුව බවත්, ඒ සදහාවන ජනමතවිචාරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ලබා ගැනීමට නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ  මූලික අයිතිවාසිකම් නඩුවක් 2024.07.09 දින පවරා ඇත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වර්ෂ 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධන කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමෙන් වැළැක්වීමේ විධිවිධාන ගෙන ඒමට උත්සාහ කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ එකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී විනිසුරුතුමන්ලා 7දෙනෙකු ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විභාග කළ අතර, එකී 70 වන ව්‍යවස්ථාව සංශෝධනය පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව 2/3 නොඅඩු පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කර ඇත්නම් මිස නීතියක් නෙවන බව තීරණය කළ හෙයින් එකී සංශෝධනය සිදු වී නැති බවත් පෙත්සමේ දක්වා ඇත.

නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධන කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමෙන් වැළැක්වීමේ විධිවිධාන සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය ඇතුළු තවත් සංශෝධන 16ක් සමග 2015 වර්ෂයේද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ එකී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී ගරු විනිසුරුතුමන්ලා 3දෙනෙකු ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය විභාග කළ අතර එකී කෙටුම්පත අදාල පරිදි පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව 2/3 නොඅඩු පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් මගින් නීතියක් කර ගැනීමට හැකි බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එය පාර්ලිමේන්තුව විසින් නීතියක් ලෙස පනවා ඇති අතර එම කෙටුම්පතේ 5 වන වගන්තියේ (33.2.ඇ ව්‍යවස්ථාව) මගින් 19 වගන්තිය (70.1 ව්‍යවස්ථාව) යටපත් කරන හෙයින් ජනමතවිචාරණයකින් තොරව එය නීතියක් ලෙස පනවා ඇති බවත් එය ප්‍රශ්නයක් වූ බවත්, නීතියක් ලෙස සළකනු ලැබු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.5 ව්‍යවස්ථාව සහ 33.2.ඇ ව්‍යවස්ථාව යටතේ වර්ෂ 2018 නොවැම්බර් 09 දින අංක 2096/70 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් එවකට සිටි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබූ අතර එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩු (SC/FR/351/2018) වල තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33.2.ඇ ව්‍යවස්ථාව අභිබවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන බවට තීරණය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.5 ව්‍යවස්ථාව සහ 33.2.ඇ ව්‍යවස්ථා යටතේ වර්ෂ 2018 නොවැම්බර් 09 දින පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබූ අංක 2096/70 අතිවිශෙෂ ගැසට් පත්‍රය නීතිය ඉදිරියේ බලාත්මක නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා 7කු තීරණය කර එය ඉවත් කිරීමට 2018.12.13 දින තීන්දු කර ඇත.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33.2.ඇ ව්‍යවස්ථාව අභිබවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන හෙයින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19වන වගන්තිය (70 ව්‍යවස්ථාව) ජනමතවිචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව 2/3කට නොඅඩු පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් මගින් නීතියක් කර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව වැරදි බවත් එය මේ දක්වා නීතියක් වී නැති බවත්, නීතියක් ලෙස නොමග යවමින් පවත්වාගෙන යන බවත්, 2018.12.13 දින එය දැනගත් පසු එයට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාව අනුව සුදුසු පියවර ගැනීමට තිබූ බවත් පෙත්සමේ දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළ 2018.12.13 දිනයෙන් පසු 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයම පනත් කෙටුම්පතක් හෙයින් එය නීතියක් වීමට අවශ්‍ය ජනමතවිචාරණය පැවැත්වීමට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79, 80 ව්‍යවස්ථා අනුව සුදුසු පියවර ගැනීමට අදාල කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ක්‍රියාකර නැති අතර, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් ලෙස සළකා තවදුරටත් ක්‍රියාකරගෙන යන අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් වලට අදාල 2002 සහ 2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සහ SC/FR/351/2018 මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් ලෙස නොසැළකිය යුතු බවත්, එය නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය ජනමතවිචාරණය පැවැත්විය යුතු බවත්, එය ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතියක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ යුුතුකමක් බවත්, එකී ජනමතවිචාරණය මේ දක්වා පවත්වා නැති බවත් පෙත්සමෙන් දක්වා ඇති අතර, ජනමතවිචාරණයකින් අනුමත වන්නේ නම් මිස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් නීතියක් නොවන බවත් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

එසේ තිබියදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, නීතියක් ලෙස සළකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම් වන බවට, විධායක හෝ පරිපාලන ක්‍රියා කිරීමට සූදානම් වන බවට පෙත්සම්කරුට දැන ගන්නට ලැබී ඇති අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පළමුව ජනමතවිචාරණයක් මගින් අනුමැතිය ලබා නීතියක් බවට පත් නොකර ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ක්‍රිියා කළ හොත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ආරක්ෂා කර ඇති 12.1 ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් අහිමි වන බවත්, මූලික අයිතිවාසිකම් කඩවීමට අත්‍යාසන්න තත්ත්වයක් උද්ගත වන බවත් පෙත්සමේ දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම සදහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමතවිචාරණයක් පවත්වා නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තු මහලේකම් ක්‍රියා කළ යුතු බව පෙත්සමේ දක්වා ඇත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචාරණයක් පවත්වා නීතියක් බවට පත් නොකර වර්ෂ 5කදී ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් අහිමි වීමට අත්‍යාසන්න තත්ත්වයක් බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පටහැනි බවත් පෙත්සම්කරු කියා සිටී.

ජනමතවිචාරණයකට යා යුතු සහ ජනතාව අනුමැතිය ලබා දිය යුතු පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව 2/3 නොඅඩු පක්ෂව දෙන ලදඡන්ද සංඛ්‍යාවක් ලැබූ පමණින් ජනතාවගේ අනුමැතියෙන් සහ ජනාධිපතිවරයාගේ සහතිකයෙන් තොරව නීතියක් ලෙස සැළකීමට නොහැකි බවද පෙත්සමේ දැක්වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ජනමතවිචාරණයක් පවත්වා නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කරන ලෙස ඇතුලු සහන ලබා දෙන ලෙස අරුණ ලක්සිරි උණවටුන නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද ඇත.

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066 / 0712063394 (2024.07.12)