Chinese revolution
Spread the News

අද දින මා රෝහලේදී ශිෂ්‍ය හෙද දරු දැරියන් වෙනුවෙන් කල දේශනයෙන් පසුව මා හට ඊට උපහාරයක් ලෙස පොත් දෙකක් පරිත්‍යාගයක් ලෙස ලැබිණි.  මා එම පොත්දෙක බලා තරමක් සතුටුවිය. ඒ අන්කිසිවක් නිසා නොව ඔවුන් යාන්තමින් හෝ මා කවරෙක්ද යයි හඳුනාගෙන මේ පොත් යුගල මා හට පරිත්‍යාග කර ඇති බව මේ පොත් දෙකෙහි මාතෘකා දෙස බැලීමේදී මට පෙනුනි.

ඉන් එකක් “ජසින්ඩා ආර්ගන් “ ගැනය. එය කලක් නවසීලන්තයේ අගමැතිව සිටියාය. ඇය තම මව්බිම ගොඩගැනීම වෙනුවෙන් කල සේවය එහි ලියවී තිබිණි. එම පොතෙහි කතෘ ආදී විශාඛා දියණියකි.

දෙවැන්න “ලුශුන්”ගැනය. චීන විප්ලවය හා සබැඳි ලේකඛකයකු වූ මොහු ඒ හා සබැඳි එය පරිවර්තන කෘතියකි.

මොවුන් මා වෙනුවෙන් මෙවැන්නක් තේරුවේ ඇයි ?

මා තනිව කල්පනා කළේය.

මා තරුණ කල විප්ලවයට ආශාකල පුද්ගලයෙකි. නමුත් පසුව ඒ ගැන මා විසින්ම කල දීර්ග ස්වයන් අධ්‍යනයකින් පසු මා සම්පුර්ණයෙන්ම ඒ අදහසින් බැහැරවිය.

විප්ලවයක් යනු එකම වූ ජන කොට්ඨාශයක් දෙකට බෙදා දෙපසින්ම ඝාතනයට අතවනන ආකාරයේ එකකි.  එය චීනය , රුසියාව , කියුබාව , බොලිවියාව වැනි රටකට උචිත වුවක් වුවත් ශ්‍රී ලංකාව වැනි රටකට එය කිසිසේත් උචිත නොවන බව මා එදා තීරණය කළේය.  “අසාධාරණය” නමැති එකම කරුණ උපයෝගී කොටගෙන වයිරය උලුප්පා , වෛරය ගිනිදැල් බවට හරවනා විප්ලවය නමැති ජන කැළඹීම ශ්‍රී ලංකාවේදී දියත්කල නොහැක්කක් බව එදා මට වැටහුණි. විප්ලවයක් තාවකාලිකව සාර්ථක වුවත් එය ලංකා බිමේ වැඩිකලක් නොපවතින බව මා ඉඳුරාම දැනගත්තෙකි.

ඊට හේතුව ?

චිරාත් කලක් “සියලු සතුන්ට මෛත්‍රි කරන්න” යයි කියා ඉගැන්වූ ඉගැන්වීමක් සහිත රටක වෛරයෙන් සමාජය බෙදා වෙන්කිරීම එතරම් සුළුපටු නොවන බව එදා මා හට වැටහුණි. කුපිතකලහැකි මට්ටමේ වූ මිනිසුන් කුපිතකිරිම ඉතා පහසුය. කුපිතකලහැකි මිනිසුන් ඉන්නේ කුපිත ප්‍රතිපදාවක් පුරන්නවුන් අතරය. මිනිසුන් කුපිත ප්‍රතිපදාවක් පුරන්නේ කුපිත ප්‍රතිපදාවක් තම ඇදහීම ලෙස පවතින කලය. ඒ නිසා කුපිතකම හැරපියාලෑමට ක්‍රමවේදයක් ඔවුන් දන්නේ නැත. ඒ නිසා ඔවුන් කුපිතකම දරා ඉපදී , කුපිතව ජීවත්වී , කුපිතවම මිය යයි.

නිවෙන ප්‍රතිපදාවක් එබ්බවූ මිනිසුන් අතරේ කුපිතකම එතරම්ම පහසුනොවේ.  සමහරවිට එවැන්නක් තාවකාලික වුවත් එය දීර්ග කාලීන නොවේ.  

විප්ලවීය රටක අසාධාරණයක් නැද්ද  ?

එවැනි වූ රටක වුවත් රාජ්‍ය පාලකයින්ට හා පාලිතයන්ට එක හා සමාන වරප්‍රසාද ලැබෙන්නේ නැත. එතනද රජා රජාමය. එතනද රජාට කම්කරු වරප්‍රසාද නැත. එය එසේ නම් “සාධාරණ \ අසාධාරණ සීමාව” පිලිබඳ වූ ප්‍රශ්නයකින් මගේ හිත එදා නිතර තෙරපෙන්නට විය. ඇත්තටම සාධාරණය , අසාධාරණයෙන් වෙන්වන්නේ කුමන සිමාවේදීද ?

ලුශුන් විප්ලවයට දරදිය අදින ලද චීන ලේකඛකයෙකි. එනම් වක්‍රව ගිනිදැල් උලුප්පා වූ කෙනෙකි. ලක්ෂ ගණනින් මියෑදුනු අහිංසක මිනිසුන්ගේ සිරුරු වලට වගකිව යුත්තෙකි. මියැදුනෝ මියගියේය. විප්ලවය සරු විය. චීනය “මුදලින්” ලොව පෙරටම ආයේය. නමුත් චීනයේ එතෙක් වූ අධ්‍යාත්මය සහමුලින්ම ඉන් මරාදමන ලදී.

අධ්‍යාත්මය ?

අධ්‍යාත්මය කන්නද ?

මිනිසෙක් නම් ලොව සෑම තැනම ඉන්නේ මිනිසෙකි. මිනිසෙක් රෝබෝවරයකු නොවන්නේ අධ්‍යාත්මය නිසාය. මිනිසකුව උපන් මිනිසාට මිනිස් බවේ අරුත ගැබ් වී ඇත්තේ අධ්යත්මයේය. එය කෑමක් නොවේ. දැනගැනීමකි.

මිනිසකුව උපන් මිනිසාට මිනිස් බවින් මිඳීයාමේ ප්‍රතිපදාව ඇත්තෙත් අධ්යාත්මයේය.

නමුත් රටක් රෝබෝවාදී හෙවත් බෞතිකවාදී වුවා කියා මිනිස්කම ගැන දැනගැනීමට ලැබෙන්නේ නැත. ඒවා දැනගැනීමක් අරභයා රට දුප්පත්ව තිබිය යුතු යයි ඉන් හැඟෙන්නේ නැත. රටක් දියුණුවිය යුත්තේ අධ්‍යාත්මය හා වැළඳගෙනය. නැතිව අධ්‍යාත්මය පසෙක ලා නොවේ. විප්ලවයකට පෙර මිනිසා සහ විප්ලවයකට පසු මිනිසා අතර වූ වෙනසක් කියන්න. විප්ලවය නිසා බිහි වූ රාජ්‍යන් හි මිනිසුන් විප්ලවයට පෙරත් විප්ලවයට පසුවත් කලේ මිනිසා ගේ දෛනික ක්‍රියාවලීන්ම පමණි. විප්ලවයෙන් පසුව විප්ලවය නිසා එක් මිනිසකුගේ හෝ සාමාන්‍ය ක්‍රියාවන්ට අමතර අතිරේක ක්‍රියාවලියක් ඔහු තුල ස්ථානගත වුවා යයි යමෙක් කියයි නම් කරුණාකර එය අපට ලියන්න.

ශ්‍රී ලංකාව තුල විප්ලවයක් සඳහා අරඇඳීම අතිශයින් භයානකය. ඊට හේතුව ශුන්‍ය මට්ටමට ආසන්නව ඇති සිංහල නමැති ජනවර්ගය මතවාදයෙන් දෙකට බෙදා එකිනෙකා මරාගැනිමට සැලැස්වීම අතිශයින් භයානක ප්‍රතිපල දෙන්නකි. එසේ වුවහොත් ඊට අනුබල දෙන්නෝ අනුග්‍රාහක වරු බොහෝ වනු ඇත. අතීතයේදීත් ඒ දේ ඒ ලෙසම සිදුවිය. අනුග්‍රාහකත්වයෙන් උන් අදහස් කරන්නේ මස් කුට්ටිය තමන් සතුකර ගැනීමය.

විප්ලවය නොව මව්බිමට අවශ්‍යවන්නේ රාජ්‍යත්වයයි. සිංහලයන් එක් රජකු යටතේ නැගිටින ජන සමුහයක් විය යුතුය. අද රජ ප්‍රතිපදාවක් ලොව නැත යයි යමෙකුට තර්ක කල හැකිය. එසේ නොවන්නේ නම් අරාබි රාජ්‍යත්වය පවතින්නේ කෙසේද ? ඉතිහාසය මේ සඳහා අපට බොහෝ උදාහරණයන් සපයයි. ඒ නිසා විප්ලවවාදී නොව දේශප්‍රේමී රාජ්‍යක් නිර්මාණය විය යුතුය.

දෙවැනි පුස්තකය හා සම්බන්ධවත් යමක් ලිවිය යුතුමය.

“ජසින්ඩා ආර්ගන්” , ඇය නවසිලන්ත කාන්තාවක්. ඇය නායකත්වය දුන්නේ නවසිලන්තයටයි. ඇයට එම හැකියාව ලැබුනේ ඇය නවසීලන්තයේ ඉපදී , එහිදීම හැදී වැඩි, නවසීලන්තයේ හදගැස්ම ඇයට අමුතුදෙයක් නොවූ නිසාය.

එසේ කියා ඇය ශ්‍රී ලංකාවට නායකත්වය දීමට සුදුස්සෙක් නොවේ. ඇයගෙන් සිංහල සමාජයට ගතහැක්කේ වුවමනා නම් අල්පයක්.

ඇයි ඒ ?

ප්‍රශ්නයක් අහන්නද ?

ලංකාවේ සිංහල පුද්ගලයෙක් කල හපන්කම් අනුව නවසීලන්තයට නායකත්වය දීමට ඉදිරිපත් වුවහොත් ඔවුන් මොහු පිලිගනිවිද ? ලංකාවේ ඉපදී , ලංකාවේ හැදී වැඩි ඇති ඔහු නවසිලන්ත හදගැස්ම නොහඳුනයි. ඒ නිසා ඔහුගේ නායකත්වය ලංකාවට ගැලපුනත් නවසීලන්තයට ගැලපෙන්නේ නැත. එයම අනික් අතටත් එසේම වේ. ලංකාවේ ඉපදී , ලංකාවේ හැදී වැදුන අපට නවසිලන්ත හදගැස්ම හඳුනන පුද්ගලයෙකුගෙන් ගතහැක්කේ ස්වල්පයකි.

අද සිංහලයන් බොහෝවිට උදාහරණ ගන්නේ අන්‍ය රටවලිනි. තම උදාර මව්බිම පසෙක ලා “අන්‍ය රටවල් උදාහරණ ගත හැකි මට්ටමේ ඇත” යන හැඟීමක් සහිතව ඉන්නා ඔවුන් රටේ හිඳ නොරට සේ ජීවත්වේ. තම රට නොව අන්‍ය රටවල් ඉහලින් තබා කතාකිරීම , විවරණය කිරීම සිංහලයා සතු වත්මන් “උතුම්” කියනා ගුණාංගයකි. සාමාන්යෙන් එය හඳුන්වන්නේ යටත්විජිත මානසිකත්වය කියා කියලයි.

එදා, අද සුපිරි යයි කියනු ලබන, ආක්‍රමණිකයන්ට එරෙහිව කරනු ලැබූ බලන , දන්තුරේ , මුල්ලේරියා , වාගොල්ල , මාතලේ , වෙල්ලස්ස , ගන්නොරුව  සටන් වලදී ඔවුනගේ සුපිරි කාලතුවක්කුව කඩුවෙන් පරාජය කරනු ලැබුවේ මෙරට ක්‍රමය මෙරටදී අනුගමනය කිරීම හේතුවෙනි. නැත්නම් එදා උන්ගේ එවකට සුපිරි බයිනෙත්තුව හෙල්ලෙන් පරාජය වුයේ කෙසේද ?

අවසාන සියල්ල උන් සතු වුයේ සටනකින් නොව උන්ගේ කපටිකම් වලට සිංහලයා රැවටිමෙනි.

පොත් දුසිම් ගණන් ලියවිය යුත්තේ සිංහලයේ සිංහල රාජාවලිය වෙනුවෙන්ය. ඔවුන් තම දිවි දෙවැනි කොට බිම රැකගැනීමටත් , බිම සශ්‍රික කිරීමටත් දැරුවා වූ අපමණ වෙහෙස ඔබ මහා වංශය අවංකව අධ්‍යනයක යෙදෙන්නේ නම් මොනවට පැහැදිලි වේ. නමුත් අප ඒවා පසෙක ලා අප අද ලියන්නේ චීනයේ මාවෝ සේතුම් ගැනය. මාවෝ සේතුම් යනු චීනයේ හදගැස්ම හඳුනාගත් පුද්ගලයකු වුවත් මෙරට හදගැස්ම හඳුනාගත් අයකු නොවේ. ඇතැමෙක් ලියන්නේ බොලීවියාවේ චේ ගැනය. බොලීවියාවේ චේ ඔහුගේ රටේ වූ හදගැස්ම හඳුනාගත් අයෙකි. එම ක්‍රමය , එම හදගැස්ම මෙරට වූ අප රට වූ මිනිසුන්ට කාවද්දනු බොරුය. එකෙක් ලියන්නේ කියුබාවේ කැස්ත්‍රෝ ගැනය. කියුබාවේ කැස්ත්‍රෝ කියුබාවට හරිය. නමුත් පෙර සේම ඔහු අපට නොවේ. කෙනෙක් ලියන්නේ සිංගප්පුරුවේ ලී ක්වාන් යු ගැනය. සිංගප්පුරුවේ ලී සිංගප්පුරුවට හරිය. යමෙක් රුසියාවේ ලෙනින් ගැන ලියයි. රුසියාවේ ලෙනින් රුසියාවට උචිතය. ඔහු රුසියන් හදගැස්ම හඳුනන කෙනෙකි. ඇතැමෙක් ලියන්නේ කාල් මාක්ස් ගැනය. ඇතැමෙක් ලියන්නේ නෙල්සන් මැන්ඩෙලා ගැනය.

මේවාට ඇසිය යුත්තේ එකම එක ප්‍රශ්නයකි.

අපේ එකෙක් උන්ට ගැලපෙයිද ?

අපේ එකෙක් ගැන උන් පෑනක් පාවිච්චි කරනවාද ?

අප රට , අප හදගැස්ම , අප ක්‍රමය හඳුනාගන්නේ අප රට ඉපිද , මෙහි හැදී වැඩුණු අයෙකුටය. අපි ලිවිය යුත්තේ ඔවුන් ගැනය. එය එසේ නම් ,

සිංහලේ දුටු ගැමුණු ගැන අප නොලියන්නේ ඇයි ?

සිංහලේ වළගම්බා , විජයබා , පැරකුම්බා , ගජබා , රජසින් පරපුර ගැන අප නොලියන්නේ ඇයි ?

සිංහලේ අමාත්‍ය වරුන් වූ බුදන්නා , ජයම්පති වැනියවුන් තම නිලයෙන් පමණක් රට රැකගත් අයුරු අප නොලියන්නේ ඇයි ?

මාඕ සේතුම් ගැන ලියන්නට ගන්නාට ලංකාවේ නරපතීන් ගැන ලියන්නට නොසිතෙන්නේ ඇයි ?

අවසානයට කිවයුත්තේ මෙපමණකි.

අපි නොරට කවුරු ගැන උදාහරණ ගත්තද , ඔවුන්ගේ ගුණ වැයුවද, ලංකාව කිසිවිටකත් , කිසිකලෙකත් එම නායක කාරකාදීන්ගේ එම මෙරටට අදාළ නොවන නොරට ක්‍රමය මෙහි බින්න බහින්නේ නැත. මෙහි ක්‍රමය අද දක්වාම චිරාත් කාලයක් නොනැසී පවතින්නේ එය අපට වුවමනා ආකාරයට තියෙන නිසා මිස එය නොරට උදාහරණ වලට ගැලපෙන ආකාරයට පරිවර්තනයවුනු නිසා නොවේ.

එයයි යතාර්ථය.

ස්තුතියි !

Protected by Security by CleanTalk