Spread the News

ද්‍රවිඩ රාජ්‍ය නිලධාරින්ගේද සහායෙන්
හොර ඔප්පු හදා නැගෙනහිර සිංහලයන්ගේ
ඉඩම් කොල්ලකති

හේමන්ත රන්දුණු
source:
සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් නැගෙනහිර පළාතේ පිහිටි ඇතැම් විහාරස්‌ථානවලට අයත් ඉඩකඩම් සහ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඒවා අත්පත් කර ගනිමින් සිටින බව අනාවරණය වී ඇත.

විශේෂයෙන්ම මෙම ඉඩම් කොල්ලය මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ බහුල වශයෙන් සිදුකෙරෙන අතර මේ සඳහා එම ප්‍රදේශවල සේවය කරන ඇතැම් රජයේ දෙමළ නිලධාරීන්ගේ ද පූර්ණ සහාය ලැබෙන බව වාර්තා වෙයි.

මෙම ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි විශාල ප්‍රමාණයක්‌ නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථාන වෙත ලැබී ඇති අතර පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටිති.

මේ සම්බන්ධයෙන් “දිවයින” කළ විමසීමකදී මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් පැවසුවේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් පමණක්‌ නොව විහාරස්‌ථානවලට අයත් ඉඩම්වල පවා දෙමළ පවුල් බලහත්කාරයෙන් පදිංචි වී ඒවාට අයිතිවාසිකම් ප්‍රකාශ කරන බවයි.

මංගලාරාම විහාරස්‌ථානයට අයත් ඉඩම්වල පවා දෙමළ පවුල් විශාල ප්‍රමාණයක්‌ බලහත්කාරයෙන් පදිංචිව සිටින අතර මේ පිළිබඳව බලධාරීන්ට කොතෙකුත් පැමිණිලි කළද කිසිම සාධාරණයක්‌ මේ වන තුරු ඉටුකර නැති බවද සුමන හිමියෝ පැවසූහ.

ආරංචි මාර්ග පවසන අන්දමට සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් මඩකලපුව ප්‍රදේශයේ සිංහල ජාතිකයන්ට අයත් සියලුම ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඇත.

මේ වන විට කිසිම සිංහල පවුලක්‌ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව නැත.

යුද්ධය ආරම්භ වූ සමයේ මඩකලපුව ප්‍රදේශයේ සිංහල ජාතිකයන් 7,000 කට අධික පිරිසක්‌ පදිංචිව සිටි අතර වාලච්ෙච්නේ 3,000 ක්‌ද, එරාවූර් ප්‍රදේශයේ 2,000 කට ආසන්න සිංහල පිරිසක්‌ද පදිංචිව සිටියහ.

1987 වර්ෂය වෙද්දී කොටි ත්‍රස්‌තවාදීන් මඩකලපුව ප්‍රදේශයේ සිංහල ගම්මාන විනාශ කිරීම ආරම්භ කිරීමෙන් පසු ඔවුහු සිය ඉඩකඩම් අතහැර ඇඳිවත පිටින් ආරක්‍ෂිත ස්‌ථානවලට පලා ගියහ.

එම සිංහල ජාතිකයන් පදිංචිව සිටි ඔවුන්ට අයත් ඉඩකඩම් සියල්ල මේ වන විට සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් ව්‍යාජ ඔප්පු සකස්‌කර කොල්ලකාගෙන ඇත.

ඒ සඳහා ප්‍රදේශයේ රජයේ නිලධාරීන්ගේ ද පූර්ණ සහාය ඔවුන් වෙත ලැබී ඇති බවද වාර්තා වෙයි.

යුද්ධය නිමාවීමත් සමගම නැගෙනහිර පළාත අතහැර පලා ගිය සිංහල පවුල් නැවත සිය ඉඩකඩම්වල පදිංචි වීමට යද්දී සංවිධානාත්මක දෙමළ පිරිස්‌ ඒවා අත්පත් කරගෙන සිටින බව හෙළිවී තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන තුරු කිසිම බලධාරියකුගේ අවධානය යොමුවී නොමැති බවද වාර්තා වෙයි.

මෙම ඉඩම් කොල්ලයට සම්බන්ධ හිටපු කොමසාරිස්‌වරයකු මඩකලපුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සැකකරු සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ රුපියල් කෝටි ගණනක්‌ වටිනා ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඒවා හොර රහසේම වෙනත් අයට විකුණා ඇති බවද අනාවරණය විය.