මනුෂ්‍යත්වයේ දැස්
කඳුළින් නැහැවූ
සියලු ජාතීන්ගේ දියණිය
වසර තිහක යුද්ධය අපට මතකය. ඒ බිහිසුණු යුද්ධයේ නටබුන් තවමත් උතුරේ මෙන්ම නැඟෙනහිර ද දක්‌නට ඇත. ගිනි අව්ව වගේම සුදුවැලි පවා අවුස්‌සා ගෙන හමන සුළඟ ද දැඩි අව් රශ්මියෙන් පිරි උතුරුකරය ස්‌වභාව සෞන්දර්යයෙන් අනූනය. කයිට්‌ස් ප්‍රදේශය ද ඒ සෞන්දර්යය නොඅඩුව පවතින ප්‍රදේශයකි. දැන් යුද්ධයක් නැත. සාමකාමී ය. ගිනි අව්වට පිච්චි පිච්චි මහ මුහුදේත්, ගොඩබිමේත් කඩි සේ වැඩ කරන මිනිසුන්, තිස් වසරක ශාපලත් යුද්ධයෙන් පසු නව ජීවිතයක් සඳහා වෙහෙසෙන හැටි බලන්නට අපූරුය.
සිවලෝගනාදන් විද්‍යා දියණිය ද යුද්ධයේ වෙඩි හඬ මැද උපන් එකියකි.
ඇය හරියටම ඉපදුණු දා කයිට්‌ස් ප්‍රදේශයම යුද පිටියකි. ඒ 1997 වසරයි. ඇයට එදා සිට ඇසුණේ යුද්ධයේ බිහිසුණු හඬවල් ය. මරළතෝනිය. සිංහලුන් තම මවුබිම ආක්‍රමණය කරනවා යෑයි වැඩිහිටියෝ ඇයට කීහ. ඇය සිතුවේ සිංහලුන් යනු සතුරන් යෑයි කියා ය.
නමුත් 2009 වසරේදී ප්‍රභාකරන් ඇතුළු පිරිස මරාදමා යුද්ධය අවසන් කළ පසු උතුරත්, දකුණත්, වෙලාගෙන සිටි යක්‍ෂයා අතුරුදන් වී ඒ අයටත් නවලොවක අපූර්වත්වය බලන්නට ඉඩ ලැබිණි. යුද්ධයෙන් පසුව පුන්කුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙන ගන්නට සිවලෝගනාදන් විද්‍යා ඇතුළු දරුවන් ගියේ සිතේ තිබූ බිය සැක අතහැරය. සිංහලුන් යනු සතුරන් නොව මිතුරන් යෑයි ඇයට දැනුණේ නිදහස ලැබුණු පසුය.
සාමාන්‍ය පෙළ සමත් වූ ඇයට උසස් පෙළ හදාරන්නට පටන් ගත් විට ලෝකය මොන තරම් මනරම් දැයි තේරුම් ගන්නට හැකි වී තිබිණි වෙඩි හඬ මැද සා පැටවුන් සේ ගුලි වී ජීවත්වූ යුගයත්, සාමකාමී පරිසරයක් මැද ගෙවන ජීවිතත් අතර මොන තරම් වෙනසක් ඇත්දැයි ඇයට කල්පනා වූ වාර ගණන අපමණය.
පසුගිය බදාදා (13 වැනිදා) ඇය සුපුරුදුපරිදි පාසල් ගියේ සිතේ සැහැල්ලුවෙනි. විද්‍යා සුන්දරය. පිවිතුරුය. සුරූපීය.
යුද්ධයේ ගිනිදැල් යට අනාගත සිහින සියල්ල බොඳ වී තිබූ යුගයේ ඇයට ඒ හැටි බලාපොරොත්තු තිබුණේ නැත.
නමුත් අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හදාරන කාලය පටන් ගත් පසු ඇයට දුර ගමනක සිහින පෙනුණි.
නිදහස් නිවහල් බිමක නිදහසේ හුස්‌ම ගනිමින්, අධ්‍යාපන කටුතු කරන්නට හැකි වීම ඇයට පමණක් නොව උතුරුකරයේ මෙන්ම නැඟෙනහිර ද දකුණේ ද දරුවන්ට සිතට, ගතට දෙකටම දැනී තිබිණි.
ඇය පාසල් ගියේ පාපැදියෙනි. මොන තරම් ආකර්ෂණීය පාසල් ශිෂ්‍යාවක් වුවද ඇය කිසිවිටෙකත්, පෙම් හබවල පැටලී අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නට අදිටන් කරගෙන සිටියාය.
13 වැනිදා බදාදා දිනයේ ඇය සුපුරුදු පරිදි, සුදු ගවුමෙන් සැරසී පොත් බෑගය ද ගෙන පාපැදියේ නැඟී පාසල් ගියේ සාමාන්‍ය පරිදිය.
පාසලේ අධ්‍යාපන කටයුතු ද කළේ දැඩි කැපවීමෙනි. ජීවන ගමනේ අනාගත සුබ සිහින සැබෑ කර ගන්නට නම් අධ්‍යාපන කටයුතු, නිසි පරිදි, පිළිවෙළට ඉතා ඕනෑකමින් කළයුතු නිසා ඈ අධ්‍යාපන කටයුතු කළේ ඉගෙන ගන්නා කොයි දරුවාටත් ආදර්ශවත් ශිෂ්‍යාවක ලෙසිනි.
පාසල නිම විය. සුදු පරෙවි රෑන සේ පාසල් බිමෙන් ශිෂ්‍යයන් එළියට බැස නිවෙස් බලා ඇදෙන්නට වූහ.
නමුත් මේ දැරිවි සිහිනෙන්වත් නොසිතූ, නොපැතූ යමක් සිදුවෙමින් තිබිණි.
තල් රුප්පා මැද ගංජා උරමින් සිටි තරුණයන් පිරිසක් සිහිවිකලෙන් යමක් සැලසුම් කරමින් සිටියහ.
“අපි හොඳ වැඩක් කරමු.” එකෙකු කළ යෝජනාවට සෙසු පිරිස ද විරෝධය නොදක්‌වා නිහඬව එම යෝජනාව අනුමත කර තිබිණි.
එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ද තවත් හය දෙනකුද මෙහි සිටියහ.
විද්‍යා දියණිය පාසල නිම වී එන්නේ මේ තල් රුප්පා අතර, ලඳු කැලෑ ප්‍රදේශය හරහාය. උදේ සවස ගමන් බිමන් යන මාර්ගයේ බිම් බෝම්බ තිබූ යුගයේ නම් ඒ අය ගමන් බිමන් ගියේ සිතේ සැකයෙනි. නමුත් දැන් බිම් බෝම්බ නැත. ත්‍රස්‌තවාදීන් ද නැත. සිත කීරි ගස්‌සන බෝම්බ හඬ ද වෙඩි ශබ්ද ද නැත. ඉඳහිට නැඟෙන කුරුලු නාද හැර විද්‍යාලාට ඇසෙන්නට වෙන භයානක ශබ්ද දැන් මේ පළාතේ නැත.
තල් රුප්පාවේ අතුඉති වේගයෙන් සෙලවෙද්දී නැඟෙන ශබ්දය හැර විද්‍යාට දැනුණේ ගමන් වෙහෙස මැද හදින් නැඟෙන හඬ පමණකි. තල් රුප්පාව චණ්‌ඩ සුළඟකට හසුව සෙළවෙන්නේ යම් සේද විද්‍යා ද හිටිහැටියේ තිගැස්‌සී ගියේ ඒ ලඳු කැලෑ අතරින් මතු වූ තරුණ පිරිස කළ නොමනා විහිළුව නිසා ය.
විද්‍යාගේ දෙකොපුල් රත් පැහැ වී ගියේ ඇයට ද නොදැනීය. එකකු විද්‍යා අසලට පැමිණ විද්‍යාගේ අත අල්ලා ගත්තේ වියරුවෙනි. විද්‍යා දියණිය බියපත්ව කෑ ගසන්නට වූවාය.
දියෙන් ගොඩට ඇද දැමූ මත්ස්‍යයකු සේ ඈ වෙවුලුම් කන්නට වූවාය.
“අනේ මට යන්න දෙන්න” ඇය එසේ කීව ද ඒ නරුමයන් ඇයගේ අත රැඳි බෑගය උදුරා ගත්හ.
ලඳු කැලෑව් සිට සතා සීපාවාද තුෂ්නීම්භූතව බලා සිටියේ විද්‍යාට සිදුවන්නට යන අකරතැබ්බය ඉවෙන් මෙන් වැටහී ගිය සෙයියාවෙනි.
ලඳු කැලෑවේ කුඩා පදුරු අතරින් තවත් කිහිප දෙනෙක් මතුවූහ. විද්‍යාගේ අතින් ඇදගත් මේ නරුමයන් ඇයව ලඳු කැලැවේ කිසිවකුට ඇස නොගැසෙන පාළු පෙදෙසකට, ඇදගෙන ගියේ. මිනී කුණකට පොරකන වළසුන් මෙනි.
තල්ගස්, සර සර හඬින් වියරු වෙද්දී විද්‍යා මුවැත්තියක සේ ගැහෙද්දී මේ නරුමයන් විද්‍යාගේ ගෙල බැඳි පාසල් ටයි පටිය ගලවා ඇයගේ අත්දෙක පිටුපසට කර ගැටගසා ඇයගේ කටට රෙදි පාන්කඩ එබූහ.
විද්‍යා කලබලයට පත්ව පොරබදන්නට වූවාය. නමුත් හැඩි දැඩි පිරිමි සිරුරු හමුවේ ඇය මුවැත්තියක මෙන් බියෙන් සැසලී නිහඬ වූවාය. දෑස්‌වලින් ගලාගිය කඳුළැලි දෙස බලන්නට ඒ නරුමයින් කිසිවකු උත්සාහ කළේ ද නැත.
තල් රුප්පා ඈ වටා භ්‍රමණය වන සෙයක් ඇයට දැනිණි. වියරුවූවෝ සුදු ගවුම පිළිබඳවත් නොතකා හැර ඇයගේ පිරිපුන් යෞවනයේ සියලු සාර උදුරාගන්නට වූහ.
ඇයට සිදුවූයේ ඒ වේදනාබර මොහොත සිතින් අමතක කර දමා දෑස් පියා ගැනීම පමණි. මේ මුග්ධ මස් වැද්දෝ ඇයගේ ජීවිතය උදුරා ගත්තේ මහපොළොව පවා කම්පනයට පත් කරමිනි. එකෙකු නොව නව දෙනෙකුම මේ දැරිවිට සිදුකළ අපරාධය පැවැති යුද්ධයෙන් පසු ඇසූ දරුණුම අපරාධය ලෙස සටහන් කිරීම අතිශයෝක්‌තියක්‌ද? සිවලෝගනාදන් විද්‍යා දියණිය දහඅට හැවිරිදි වියේ පසුවිය. ඇය දෙමළ බව ඇත්තකි. 1997 යුද ගිනිමැද උපන් මේ දියණියට පසුගිය වසර හයේදී දැනුන සැනසුම ඇයගේම සහෝදර පිරිසක් විසින් විනාශ කර දැමීම මොන තරම් අපරාධයක්‌ද? එතැනින් නොනැවතුන මේ මුග්ධ නරුමයින් විද්‍යාගේ ගෙල සිරකර මරා දමන්නට තරම් සැහැසි වූයේ මන්ද?
විද්‍යා යනු මේ බිමේ උපන් අපේ දියණියකි. සහෝදරියකි. ඇයට මේ සා විශාල අපරාධයක් සිදුවූයේ මන්ද?
මෙම සිද්ධියෙන් පසු ඇය ඉගෙනුම ලැබූ පුන්කුඩතිව් මහා විද්‍යාලයේ ගුරුවරු, මිතුරු මිතුරියන් මෙන්ම කයිට්‌ස් ඇතුළු යාපනය පමණක් නොව මුළු රටම කම්පාවට පත්වූහ. විද්‍යා දෙමළ බව ඇත්තකි. ඇයව දූෂණයකොට මරා දමනු ලැබුවේ දෙමළ තරුණ පිරිසක් බවද ඇත්තකි. නමුත් විද්‍යා අපේ එකියකි. ඇගේ සිරුර පුරා දිවෙන්නේ රුහිරුය. ඇගේ හෘදස්‌පන්දනය, අපේ හෘදස්‌පන්දනයට සමානය. ඇගේ හැඟීම්, ඇගේ වේදනාව, ඇගේ අනාගත බලාපොරොත්තුව, දකුණේ වේවා නැගෙනහිර වේවා ජීවත්වන අයකුගේ හැඟීම්, දැනීම්වලට සමානය.
එනිසා විද්‍යාට සිදුවූ අපරාධය අසා මුළු රට එකාවන්ව කලබලයටත්, දුකටත් පත්වූ වග රහසක් නොවේ.
පාසල් ගිය දියණිය නිවසට යළි නොඒම නිසා පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබිණ. පොලිසියත් ප්‍රදේශවාසීනුත් එක්‌ව ලඳු කැලෑව පීරා බලද්දී විද්‍යාගේ නිසල සිරුර හමුවිය. දෑත් පිටුපසට කර ගැටගසා ඇයව සමූහ දූෂණයට ලක්‌කර ඇති වග වෛද්‍ය වාර්තා මගින් සනාථ කෙරිණි.
යුද්ධය පැවැති අධම යුගයේ නම් විද්‍යා දූෂණයට ලක්‌කිරීම, පසුව ඝාතනය කර දැමීම රජයේ හමුදාව වෙත පටවා ඒ නරුමයින්ට අතපිස දමා ගැනීම ඒ හැටි දෙයක් නොවන්නට හොඳටම ඉඩ තිබිණි.
නමුත් පොලිසිය මේ අපරාධය කළ උන් පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. එකම පවුලේ තිදෙනකු මුලින්ම අත්අඩංගුවට ගත් පොලිසිය තවත් හය දෙනකු අත්අඩංගුවට ගත්තේ මහත් පරිශ්‍රමයකින් පසුවය. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඇතැමෙකු කොළඹට පලාගොස් සිටියදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙම සිද්ධිය සැබැවින්ම හරි සංවේදීය. ඒ සංවේදී සිද්ධියෙන් පසු ඇය උගත් පාසලේ ශිෂ්‍ය විරෝධතා සංවිධානය විය. සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත පමුණුවද්දී “උන්ටික අපට දියව්” කියමින් දෙදහසක පමණ පිරිසක් පොලිසියට හා අධිකරණයට ගල්මුල් ගසමින් නීතිය අතට ගන්නට පටන් ගැනිණි. (එම සිද්ධිය පිළිබඳව වෙනම වාර්තාවක් පුවත්පතේ පළවී ඇති නිසා ඒ පිළිබඳ විස්‌තර නොලියමි.)
කෙසේ හෝ විද්‍යා දියණිය සමූහ දූෂණයට ලක්‌ව අවසානයේදී ඒ මුග්ධයින්ගේ අතින් ඝාතනයට ලක්‌වීම අපේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සෑම ජනකොටසකම හදවත පාරවා හමාරය.
මෙම ඝාතනය සැළසුම් සහගත ඝාතනයක් යෑයි පොලිසියට සැක පහළවී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එකම පවුලේ තිදෙනා හා විද්‍යාගේ පවුලේ අය අතර නෝක්‌කාඩුවක් තිබී ඇතැයි පැවැසේ. ඒ අනුව චන්දකාන්තන්, මහාලිංගම්, ශිවදේවන්, කුදාසන්, ගෝපිතන්, එකම පවුලේ සහෝදරයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් නව දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මීට ඉහත අවස්‌ථාවකදී අදාළ තරුණයකුට එරෙහිව පොලිසිය හමුවේ සාක්‌ෂියක් ඉදිරිපත් කිරීම සම්බන්ධ නෝක්‌කාඩුවකට මෙලෙස විද්‍යා දූෂණය කර මරා දමන්නට ඇතැයි සැකයක් මතුව තිබේ. පොලිසිය ඒ පිළිබඳවද අවධානය යොමුකර තිබේ.
වසර තිහක යුද්ධයේ නටබුන් තවමත් උතුරුකරයේ දක්‌නට ඇත. ඒ නපුරු, අඳුරු කාල පරිච්ඡේදය එහි ජීවත්වන අයට පමණක් නොව දකුණේ ජීවත්වන අපටද හොඳ හැටි මතකය. යුද්ධයේ ගිනිදැල් නිවී ගියද ඒ ගිනිදැල් යට ගිනි පුපුරු තිබෙන බව අප කල්පනා කළ යුතුය. වෛරය, පළිගැනීම, සැකය මත ජීවත්වන ඇතැමුන්ගේ සිත් තවමත් සුවපත්වී නැත. සිවලෝගනාදන් විද්‍යා දියණිය දූෂණයකොට මරා දැමීම ජාතික අපරාධයක් තරමට අපට දැනෙන්නේ ජාතික සමගිය ගොඩනඟන මොහොතක සිදුවූ කාලකණ්‌ණිම සිද්ධිය මෙය බැවිනි. විද්‍යා දියණියනි, නුඹ දෙමළ වුවද නුඹ මේ රටේ උපන් අපේ දියණියක්. සිංහල, දෙමළ, මුස්‌ලිම් ලෙස බෙදී වෙන්වී යුධ කළ රටක නුඹ ජාතික සමගි සංකේතයක් බඳුය. නුඹේ දෙමළ ජනයා නුඹ වෙනුවෙන් හැඬුයේ කවර වේදනාවකින්ද, ඊටත් වඩා නුඹ වෙනුවෙන් හඬපු, ලතැවුණ දුක්‌වුණු නාඳුනන සිංහල, මුස්‌ලිම්, බර්ගර් ආදී පිරිස දස ලක්‍ෂ ගණනකි. විද්‍යා දියණිය නුඹට මේ අපරාධය කළේ මේ රටේ සිටි මුග්ධම මුග්ධ අධමයින් පිරිසකි. ඒ අපරාධය කළ අධමයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කර නුඹට සාධාරණය ඉටුවනු දැකීමට කැමැති සිංහල, දෙමළ, මුස්‌ලිම්. බර්ගර් ආදී වූ ජනතාව කෝටි දෙකක් බලා සිටින වග නුඹ දන්නේ නම් නුඹ මොනතරම් සතුටු වනු ඇත්ද?
ශිරාන් රණසිංහ