Spread the News

ඉතිහාසයේ වැඩිම පුරාවිද්‍යා සාක්‍ෂි තොගයක්‌
ඉබ්බන්කටුවෙන් සොයා ගැනේ

සීගිරිය – සරත් එරමිනිගම්මන

දශක තුනකට පසු දඹුල්ල ඉබ්බන්කටුව මහා ශිලා සුසානයේ සිදු කළ කැණීම්වලදී මෙතෙක්‌ එකම ස්‌ථානයකින් හමුවූ වැඩිම සොහොන් ගර්භ බරණි හා මුට්‌ටි ඉබ්බන්කටුව සුසානයෙන් හමුවූ බව මධ්‍යම සංස්‌කෘතික අරමුදල සඳහන් කරයි.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ දඹුල්ල කළමනාකරු අජිත් ජයසුන්දර මහතා යටතේ මෙම කැණීම් කටයුතු සිදු කෙරේ.

දැනට සිදු කර ඇති කැණීම්වලදී සොහොන් ගර්භ 40 ක්‌ පමණ ද, බරණි හා මුට්‌ටි 20 ක්‌ පමණ ද මතුකරගෙන ඇත. මෙම බරණි හා මුට්‌ටි පශ්චාත් විශ්ලේෂණ කටයුතු සඳහා රසායනාගාර පරීක්‍ෂණවලට යොමු කිරීමට නියමිතය.

මෙගලිතික යුගයේදී මානවයා යකඩ භාවිත කිරීමට පටන්ගෙන ඇති බව විද්වතුන් කරන ප්‍රකාශය සනාථ කෙරෙන බරණියක තිබී යකඩ කැබලි ද කැණීම්වලදී සොයාගෙන ඇත.

මීට පෙර මෙම සුසානයේ කැණීම් සිදුකර ඇත්තේ 1982 වසරේදීය. එම කැණීම්වලදී ප්‍රථම වරට සොහොන් ගර්භ 19 ක්‌ සොයා ගැනුණු අතර සිදුකළ කාබන් 14 පරීක්‍ෂණවලදී ඒවා වසර 2500 කට වඩා පැරණි මෙගලිතික යුගයට අයත් බවට විද්වතුන් අනාවරණය කරන ලදී.

කැණීම්වලින් පසු මෙම සුසානයට විශේෂ ආරක්‍ෂාවක්‌ද සපයා ඇත. මෙහි කැණීම් කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.