Fri. Nov 22nd, 2024
Spread the News

වජිර ලියනගේ Dinamina

බෞද්ධ හා පාලි සරසවිය මුදා නොගත් ප්‍රදේශයක් වගේ.” අපට මෙසේ කිව්වේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේදීම එහි මහෝපාධ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන්ය. අලුතින් බැලූ කෙනකුට හිතෙන්නේ පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවක වදය අලුතින් ඇතිවූ තත්වයක් බවය. 

මේ වසර 15කට පෙර මේ විශ්වවිද්‍යාලය ගැනම පළවූ පුවතකි.

නවක වදයෙන් භික්ෂුවක් රෝහලේ හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවක භික්ෂූන් වහන්සේලා හට ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා ලබාදුන් අමානුෂික නවක වදය හේතුවෙන් එක් භික්ෂුුන් වහන්සේ නමකගේ වෘෂණ කෝෂයක් ඇඹරීම නිසා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ. නවක වදයට ගොදුරු වූ භික්ෂූන් වහන්සේලා මේ බව විනය භාර භික්ෂූන් වහන්සේට දන්වන්නට සූදානම් වෙද්දී පැමිණිලි කළොත් සියල්ලන්ම විශ්වවිද්‍යාලයෙන් අස්කරන බව පවසමින් නවක වදය ලබා දුන් භික්ෂූන් වහන්සේලා තර්ජනය කර ඇතැයි පැවැසේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කළේ කුමකටද? මේ ගැන 16 වන උපාධි ප්‍රදානෝත්සවයේදී එවකට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය මහෝපාධ්‍යායයන් වහන්සේ වූ පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර ස්ථවිරයන් අරමුණ ගැන පවසා ඇත්තේ මෙසේය.

මෙම විශ්වවිද්‍යාලය 1981 අංක 74 දරන ආයතන හතරක් වශයෙන් ආරම්භ විය. පසුව 1995 අංක 37 දරන පනතින් ස්ථාපනය කරනු ලැබ හෝමාගම පිහිටුවන ලදි. පනතට අනුව එහි සුවිශේෂී වූ අරමුණු රාශියකි. එහි නිර්මාතෘ පූජ්‍ය මහාචාර්ය වල්පොල රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි පරමාර්ථ සටහන් කරමින්, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි බුද්ධාගම පතුරුවාලීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීම සඳහා බෞද්ධ ධර්මය සහ විනය පිළිබඳ ශාස්ත්‍රධරයන් පුහුණු කිරීම, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පාලි භාෂාව සහ බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ වර්තමාන ලෝක සත්වයන්ට ගැළපෙන පරිදි එම අධ්‍ය්‍යන ක්ෂේත්‍ර නංවාලීම ආදී පරමාර්ථ සමූහයක් දක්වා ඇත. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණක් වන විද්‍යාර්ථීන්ගේ ආචාර ධර්මානුකූල පැවැත්ම හා මානසික ශික්ෂණය වැඩිදියුණු කිරීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීම පරමාර්ථ කොටගෙන මෙම වැඩසටහන උතුරු නැගෙනහිර පළාත් සහිතව අනෙකුත් දිස්ත්‍රික්ක 19ක ආරම්භ කරන ලදි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් ප්‍රථම වරට මෙම පාඨමාලාව පැවැත්වීමේ දී ලැබූ අත්දැකීම් හා ගැටලු තේරුම් ගෙන ඉදිරියේ දී තවදුරටත් මෙවැනි ආකාරයේ ඩිප්ලෝමා වැඩසටහන් ග්‍රාමීය මට්ටම දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.

එහෙත් අරමුණ කෙසේ වුවද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය ගැන එහි මහෝපාධ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන් අපට පැවසුවේ මෙසේය. අපට මුලින්ම දැනගත හැකි වූයේ වෙනත් විශ්වවිද්‍යාලවල ඉන්නේ උපකුලපතිවරුන්ය. එහෙත් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ වැඩසිටින්නේ ‘මහෝපාද්‍ය’ තනතුරකි. ඒ ධුරය වල්පොල රාහුල හිමියන් බෞද්ධ පරිපාලනමය ධුර අනුව කරන ලද හැඳින්වීමකි.

මේ විශ්වවිද්‍යාලයට අධ්‍යාපන කටයුතුවලට ඇතුළු වෙනකොටම විනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවාද?

මේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනකොටම අත්පොතක් දෙනවා. ඒකේ පැහැදිලිව තියෙනවා නවක වදය සපුරා තහනම් කටයුත්තක් බවය.

වසර 2011දී ද මෙම විශ්වවිද්‍යාලයේ මෙවැනිම තත්ත්වයක් උදා විය. එදා එම තත්ත්වය වාර්තා වූයේ මෙසේය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ චීවරය පොරවා ගත් සියයට පහකට අඩු පිරිස මත්පැන් හා ගංජා බොමින් ගෙන යන නින්දිත ක්‍රියා කලාපය නිසා විශ්වවිද්‍යාලය පමණක් නොව සංඝ සමාජය ද පිරිහෙන බව එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයක් විසින් එවර ප්‍රකාශයක් නිකුත් කරන ලදි. ඔවුන්ගේ අශෝභන ක්‍රියා කලාපය හා අනුමත කළ නොහැකි කතාබහ විශ්වවිද්‍යාලය අවට වැසියන්ට පිළිකුල් දනවන සුළුය. විශ්වවිද්‍යාලය ගිහි ශිෂ්‍යයන්ට කුඩම්මාගේ සැලකිලි ලබා දෙන ක්‍රීඩාපිටිය උඩුකය ගිහි ඇඳුමෙන් සරසා ගත් ඇතැම් චීවරධාරීන්ට තෝතැන්නකි. මෙවැනි අනුමත කළ නොහැකි අශෝභන ක්‍රියා දුටුවන්ගේ කතාබහට ලක්වීමට පමණක් නොව හද කම්පනයට පත් කිරීමට තරම් ප්‍රබලය. එපමණක් නොව විටක හිමිනමකගේ ස්වරූපය ද තව විටෙක ගිහියකුගේ ද වෙස් ගන්නවුන්ට නේවාසිකාගාරය වටා වූ විශාල තාප්පය මහත් පිටුබලයකි. එහි සැබෑ තොරතුරු විශ්වවිද්‍යාලීය අවට ගම්වාසීන් පැහැදිලිව දැන සිටින බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කරන්නට ද එදා ශිෂ්‍ය සංගම් අමතක කළේ නැත. 2011 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලීය භික්ෂු ශිෂ්‍ය සංගමය විසින් ස්වාධීනව කටයුතු කරන ප්‍රගතිශීලී ශිෂ්‍යයන් මර්දනය කරනු සඳහා සංවිධානය කරන්නට යෙදුණු මත්පැන් සාදයට තෝරාගත් සිසුන් කිහිපදෙනකු සම්බන්ධ කොට ගෙන තර්ජනය කොට බලහත්කාරයෙන් මත්පැන් පොවා රාජ්‍ය විරෝධී ක්‍රියාකලාපයන්ට එකඟ වෙන්නැයි කළ යෝජනාවට විරුද්ධ වීම පදනම් කරගෙන ආයුධ පෙන්වා පොලු, මුගුරුවලින් පහර දුන්හ. එයින් ද දැඩිව පහර කෑ ඇතැම් සිසුන් රෝහල් ගත කිරීමට ද සිදු වීම කනගාටුවට ද කරුණකි.

නමුත් මෙවර තත්ත්වය වඩාත් භයානක වී ඇත. පසුගිය 15 වැනිදා පැවති හෝමාගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ ප්‍රකාශ කර සිටියේ පිටිපන පිහිටි විශ්වවිද්‍යාලයක සිසුන් 18 දෙනකු මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවය. වාර්තා වන පරිදි පසුගිය සති දෙක තුනක කාලය තුළදී විශ්වවිද්‍යාල සිසුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කර ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත. එමෙන්ම ඉදිරියේදී හෝමාගම පිටිපන මාහේන ප්‍රදේශයට පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමටත්, හෝමාගම පොලිස් කොට්ඨාසය ලෙස පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කර මත්ද්‍රව්‍ය මැඩලීම කඩිනම් කිරීමටත් කටයුතු කරමින් සිටින බව ද ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් මෙම රැස්වීමේදී ප්‍රකාශ කොට ඇත්තේ එය තම බල ප්‍රදේශයට අයත්වන නිසා විය යුතුය.

මෙම නවක වදය නිසා විශ්වවිද්‍යාලය හැර ගිය පිරිස ගැන මහෝපාද්‍ය හිමියන්ගෙන් අසන්නට අප අමතක කළේ නැත. උන්වහන්සේ පවසන්නේ නවක වදය නිසා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගිහි පැවිදි සිසුන් තිස් දෙනකු සරසවි දිවිය අතහැර ගොස් ඇති බවය. පළමු වසරේ විභාගයට 196 දෙනකු ලියාපදිංචි වී සිටියත් ඉන් විසිදෙනකු ද, දෙවැනි වසරේ 176 දෙනකු ලියාපදිංචිව සිටියත් ඉන් දොළොස් දෙනකු ද විශ්වවිද්‍යාලය මෙලෙස අතහැර ගොස් තිබේ. මෙම නවක වදය ඇතුළු දූෂිත ක්‍රියා විශ්වවිද්‍යාලයෙන් අතුගා දමා ගිහි පැවිදි සිසුන්ට කරදරයකින් තොරව අධ්‍යාපනය ලබා ගැනීමේ වාතාවරණය සැකසීම බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් ඉදිරි පියවර ගැනීම උන්වහන්සේගේ අරමුණ වී තිබේ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් බලහත්කාරයෙන් අගෝස්තු මස පැවැති විරෝධතාවකට රැගෙන ගිය පූජ්‍ය පුලියන්කුලමේ සුනිලඥාන හිමි මේ වනවිට විශ්වවිද්‍යාලය අතහැර ගොස් ඇති බව වාර්තා වී ඇත.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට බුදුන් වැඳීම නයාට අඳුකොළ මෙන් බව කී මහෝපාධ්‍ය හිමියෝ භික්ෂූන් වහන්සේලා 350ක් පමණ සිටින නේවාසිකාගාරයේ බුදු මැදුරෙහි බුද්ධ පූජාව තැන්පත් කරන්නේ නේවාසිකාගාර පාලක ලෙස කටයුතු කරන ගිහියකු බව ද සඳහන් කළ අතර, අපට ඒ අවස්ථාවේ මතකයට ආවේ 2014 දී අධිකරණයට ද අපහාස කරමින් යෙදී සිටි උපවාසයක් ගැනය.

පාලි හා බෞද්ධ විශ්වවිද­්‍යාලයේ උපවාසයේ නියැළෙන පිරිස ඉවත් කර උපවාසයට සහභාගි වන පිරිස අධිකරණයට අපහාස කිරීම හා නීති විරෝධී රැස්වීම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම අතිරේක දිසා විනිසුරු වයි.ආර්.බී. නෙලුන්දෙණිය නියෝග කළේ 2014 ඔක්තෝබර් 28 වැනිදාය. හෝමාගම නගරයේ ප්‍රධාන මාර්ගයේ පිටිපන හන්දියේ ආසන්නයේ මඩුවක් ඉදිකරගෙන භික්ෂූන් වහන්සේ උපවාසයේ යෙදී සිටීම නිසා මාර්ගයේ ගමනාගමනයටත්, මහජනතාවටත් බාධා වී ඇති බවත් මේ ස්ථානයෙන් ගමන් ගන්නා පදිකයන්ට අවහිරතා වී ඇති බවත්, ප්‍රදේශය අපවිත්‍ර වීම සහ ආගමික වශයෙන් පිරිහීමට ලක්වීමක් සිදුවන බවත් මහජන සාමයට බාධාවක් වන බවත් පවසා හෝමාගම පොලිසිය මේ පිරිස ඉවත් කරන ලෙස කර තිබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු අධිකරණය මේ නියෝග නිකුත් කරන ලදි. මේ උසාවි නියෝගය ලබාදී තිබුණත් තමන්ගේ ඉල්ලීම් ලබා දෙන තෙක් ඉවත් නොවන බව අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ එදා පැවසූ බව අද බොහෝ දෙනාට අමතකය.

අප මේ ගැන මහෝපාධ්‍ය හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ පවසා සිටියේ උපාධිය සම්පූර්ණ කර විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා රැවුල් කොණ්ා වවාගෙන නේවාසිගාරවල රැඳී සිටිනවා.‍ ඇතැම් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල නිවාඩු කාලවලදීත් නේවාසිකාගාරවලින් පිටව යන්නේ නැහැ. නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම්දීම් කළත් ඒවා පිළිගන්නේ නැහැ. නේවාසිකාගාර සිසුන් රාත්‍රී 12.00 පමණ වන තුරු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් ඝෝෂාකාරී ලෙස හැසිරෙන බවට අවට පදිංචිකරුවන්ගෙන් පවා මා හට පැමිණිලි ලැබී ඇති අතර එය නවත්වන්නැයි දැනුම් දුන් විට විශ්වවිද්‍යාල සංස්කෘතිය අනුව තමන්ට එසේ කළ හැකි බව ඔවුන් පවසන බවත් උන්වහන්සේ අපට පැවසූහ.

නමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය වුවත් ශිෂ්‍ය සංගමය දැනුම් දී ඇත්තේ එහි ඇති බෝධිඅංකුරයත් ඉවත් කරන ලෙසය. නේවාසිකගාර පාලක හිමියන් පවසන්නේ බුදුන් වඳින්නට ශිෂ්‍යයන්ට ආරාධනා කළ විට “බුදුන් වඳින්නට ආවොත් බාවනවා” යනුවෙන් තමන්වහන්සේගේ කාර්යාලය ශිෂ්‍ය හිමිවරු වට කළේ පොලු මුගුරු අතැතිව බවය.

“මේ අවුරුද්දේදී විශ්වවිද්‍යාලයට බඳවාගත් සිසුන්ගෙන් 17 දෙනකු නේවාසිකාගාරවලින් ඉවත්ව වෙනත් ආරක්ෂිත නේවාසිකාගාර ලබාදෙන ලෙස ඉල්ලීඹක් කර තිබෙනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් 40 දෙනා ද නේවාසිකාගාරවල පවතින ඝෝෂාකාරී බව ගැන පාලනාධිකාරියට පැමිණිලි කර තිබෙනවා. විශ්ව විද්‍යාලය ඇතුළෙත් නේවාසිකාගාරවලත් මේ කටයුතු මෙහෙය වන්නේ ශිෂ්‍ය සංගමයේ රැකවරණය ලබන 50ක 60ක පිරිසක්. අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින සිසුන්ගේ අධ්‍යාපනයට ද ඔවුන් නිසා බාධා එල්ල වෙනවා!”

පිටිපන විශ්වවිද්‍යාලයේ මේ නවක වද සිද්ධීන්ට ලක්වූ පුද්ගලයන් කිහිපදෙනකුම සම්බන්ධ කර ගැනීමට අපට හැකිවිය‍. වරක් වකුගඩු ආබාධයකින් පෙළුණ නවක හිමිනමක නවක වදය නිසා කම්පනයට පත්ව සිහිසුන් වුණා. සිද්ධියට සම්බන්ධ අය පෞද්ගලික රෝහලකින් එම භික්ෂුවට ප්‍රතිකාර අරන් සිද්ධිය පොලිසියට නොයා යට ගැහුවා. දිළිඳු පවුලක දෙමාපියන්ට අන්තිමට ඒ රෝහල් ගාස්තු මුදලත් ගෙවන්න සිද්ධ වුණ බව පැවසූ පුද්ගලයා කරුණු හෙළිදරව් කළේ තමන්ගේ නමවත් සඳහන් නොකරන ලෙසය.

මේ අතර වාර්තා වන පරිදි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති මිදැල්ලාවේ සිරිරතන හා ලේකම් තලාවේ ධම්මික යන ස්වාමීන් වහන්සේලා ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බව හෝමාගම පොලිසිය සඳහන් කොට ඇත. විශ්වවිදාල තුළ ගිහි පැවිදි සිසුන්ට නවක වද හිංසා කිරීමේ චෝදනා රැසක් මත විමර්ශන කෙරෙන අතරතුර මෙලෙස අතුරුදන් වී ඇති බවට පවසන හෝමාගම පොලිසිය වැඩිදුරටත් පවසා සිටින්නේ විශ්විද්‍යාලයේ මහෝපාධ්‍ය (උපකුලපති) මහාචාර්ය නෙළුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේ මෙන්ම පීඨාධිපති කථිකාචාර්ය ඉලුකේවෙල ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ ගිහි පැවිදි සිසුන් රැසක් හෝමාගම පොලිසියට සිදුකරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ කිරීමෙන් පසු මෙම අතුරුදන් වීම ගැන වාර්තා වී ඇති බවය.

නවක වදයට විරෝධය දක්වන නවකයන් සිහිසුන්වන තුරු පහරදීම ද ජයටම කෙරුණ කටයුත්තකි. මෙවැනි සිසුවකු මීට වසර කීපයකට පෙර දින හතරක් සිහිසුන්ව රෝහල් ගත කර තිබුණි. එහෙත් මරණ තර්ජන නිසා සිසුවාගේ දුප්පත් දෙමාපියන් මේ ගැන පොලිසියට පැමිණිලි කරන්නට ගොස් නැත. එහෙත් දැන් දැන් හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවක වදය ගැන පැමිණිලි ලබත්දි බොහෝ ශිෂ්‍යයන් හා දෙමාපියන් තමන් ලද අත්දැකීම් හෙළිදරව් කිරීමට ඉදිරිපත් වී සිටී.

මේ අතර හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඉකුත්දා සංවිධානය කර තිබූ උද්ඝෝෂණයේ සංවිධායක කමිටුවට ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සිසුන් නම් කර තිබුණේ භික්ෂූත්වයට කිසිසේත් නොගැළපෙන නම් වලින් බව එම සරසවියේ අභ්‍යන්තර සිසුන් පිරිසක් හෙළිදරව් කොට ඇත. picket committy නමින් හඳුන්වා තිබූ මෙම කමිටුව බැනර් පෝස්ටර් කමිටුව, ප්‍රචාරක කමිටුව, පෙළ සැකසීමේ කමිටුව, සටන් පාඨ කමිටුව, විනය කමිටුව, ප්‍රවාහන කමිටුව, ප්‍රථමාධාර කමිටුව, අට්ටාල සැකසීමේ කමිටුව, මුදල් කමිටුව, බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට යන පිරිස හා තොරතුරු එඑකතු කිරීමේ කමිටුව, රහසිගත තොරතුරු එකතු කිරීමේ කමිටුව, අලයෝ සම්බන්ධ කමිටු හා නිවේදක කමිටුව ලෙස සංවිධායක කමිටුව නම් කර තිබේ. ජ්‍යෙෂ්ඨ හිමිනමගේ නමට පිටුපසින් අයියා ලෙස නම් කර ඇති අතර ඔවුන් සුසීම අයියා, සුමේධ අයියා, කෝවිද අයියා, මුදිත ධම්ම අයියා, පඤ්ඤානන්ද අයියා, සෝමානන්ද අයියා, පේමානන්ද අයියා, දීපානන්ද අයියා, සුමන රතන අයියා, ජිනරතන අයියා, යසස්සි අයියා, රාහුල අයියා, අමිතසිරි අයියා ඇතුළුනම් රැසක් හඳුනාගෙන ඇත. පැවිදි හා ගිහි කණිෂ්ඨ සිසුන් කටවුට්, මහාරූෆ්, කලීස්, චාන්ස්, බැලන්ස්, මනෝ, සෙම්බූ, බට්ලර්, සැන්ඩා, චොකා, ගුගුරා, නඩාල්, කදුලා, නාසා, ෆ්ලෑෂ්, බූසලා, ටිකිරා වැනි නොගැළපෙන නම් වලින් මෙසේ හඳුන්වා තිභූ බව හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර සිසුන් පිරිසක් කළ හෙළිදරව්වකින් අනාවරණය වී ඇත. 

මෙම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ නවක සිසුන් ඇතුළු වූ දිනයේම ඔවුන්ට ‘උත්තම ජ්‍යෙෂ්ඨ’ සිසුන් පනවන නියෝගයක් වන්නේ විශ්වවිද්‍යාලයේ පරිපාලනමය තීන්දු සමඟ එකඟ නොවන ලෙසය. භික්ෂු නවක වදය පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට පමණක් සීමාවූවක් නොවේ. නවක භික්ෂූන් වහන්සලොට අමානුෂික ලෙස නවක වදය දීමේ සිද්ධීන් පාලනය කළ නොහැකි වීම නිසා නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය 2010 දී දින නියමයකින් තොරව වසා දමන ලදි.

භික්ෂූන් වහන්සේලා පමණක් අධ්‍යාපනය ලැබූ මෙම විද්‍යා පීඨය නවක වද සිද්ධීන් හේතුවෙන් මීට පෙර ද වසරක පමණ කාලයක් වසා දමා තිබිණි. ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා විසින් නවක භික්ෂූන් වහන්සේලාට නවකවද දීමේ සිද්ධීන් රැසක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට එවකට තොරතුරු ලැබී තිබුණ අතර එම සිද්ධීන් පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය එම විද්‍යා පීඨයේ පීඨාධිපති අමුණුපුරේ ශීලවංශ හිමියන්ට දැනුම් දෙන ලදී. විද්‍යා පීඨයේ ගොඩනැඟිලිවලට ගල් ප්‍රහාර එල්ල කර වීදුරු කඩා බිඳ විශාල අලාභ හානියක් කර ඇති බවට ද අමාත්‍යාංශයට තොරතුරු එදා ලැබී තිබුණි. එහෙත් විශේෂත්වය වන්නේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිසුන් නම් එවැනි අලාභයක් විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි වලට සිදු කර නොතිබීමය.

නවකයන්ට පිළුණු ආහාර දීම එක් වදයකි. මෙසේ පිළුණු කෑම කන නවකයන් දෙකොනින්ම වමනය හා මලපහ පිට කරමින් විඳින වේදනාව මේ උන්මත්තකකාරී ශිෂ්‍ය ක්‍රියාකාරී හිමිවරුන් බලා සිටින්නේ මත්පැන් බොමින් මහා වීරකමක් කරන්නාක් මෙනි.

බොහෝවිට මෙහි දෙන නවක වදය ගැන නවකයන් බාහිර පුද්ගලයන්ට කියන්නට යන්නේ නැත. දුරකතන මගින් අප සමඟ එක්වූ ශිෂ්‍යයකු කීවේ තමන් සමඟ විශ්වවිද්‍යාලයට ඇතුළු වී ශිෂ්‍යයකුට වරක් බටවලින් පහරදී වැසිකිළි වලක හිස ඔබාගෙන සිටීමට සැලැස්වූ බවය. එමෙන්ම නවක වදයේ තවත් අංගයක් වන්නේ කලින් කී පිළුණු ආහාර වලකට දමා ඊට වතුර දමා පල්කර නවකයන් පැය දෙක තුනක් එම වලේ බස්සා තැබීමය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවකයන්ට නවක වදය දීමටම ‘අපායක්’ ඇතැයි අපට දැන ගැනීමට ලැබුණු නිසා පාලනාධිකාරියේ මහාචාර්ය වව්වාවේ ධර්මරක්ඛිත හිමියන්ගෙන් මේ ගැන අසා බැලුවෙමි. උන්වහන්සේ පවසා සිටියේ නිල වශයෙන් එවැනි හැඳින්වීමක් නැතත් එවන් ස්ථානයක් හඳුනා ගෙන ඇති බවය.

මෙම විශ්වවිද්‍යාලයේ සංඝයා වහන්සේට දෙන හීල් දානයට කියන්නේ සයිමා ගහනවා කියාය. වවුලා ගහනවා කියන්නේ නවකයකු නිරුවතින් ඇවිද්දවීමය. මෙහි නවකයන්ගේ පානය කරන වතුර වීදුරුවට පවා කෙළ ගසන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිවරුන් වැඩ වාසය කරන බව අවසානයේ අපට දැන ගත හැකි විය.

අවසානයේ අප සිකුරාදා හවස බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇතිවී ඇති අර්බුදයේ වත්මන් තත්වය ගැන විමසුවේ බෞද්ධ අංශ පීඨාධිපති කථිකාචාර්ය ඉලුක්වෙල ධර්මරතන හිමියන්ගෙනි.

“අපි අද හවස කොළඹදි රැස්වෙලා තීරණය කළා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා තබන්න සිසුන්ගේ ආරක්ෂාව පතා. ඒ වගේම විදේශීය ශිෂ්‍යයන් ආරක්ෂිත ස්ථානවල විශ්වවිද්‍යාලයට බාහිර තැන්වලට යොමු කළා. විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ඉන්න සියලුම ශිෂ්‍යයන්ට දැනුම් දීල තියෙනවා නේවාසිකාගාරයේ සියලු බඩු මුට්ටු ඉවත් කරගෙන අයින් වෙන්න කියලා.

ඒ අනුව දැන් අපට බලා සිටීමට ඇත්තේ විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කළ පසු උද්ගත වන තත්ත්වය ගැන බලාපොරොත්තුවක් පමණි.

Protected by Security by CleanTalk