අද උදෑසන මා තැබූ සටහනක් ඔබගේ කියැවීම පිණිස මෙහි බහාළමි:
කෙනෙකුගේ කවි සිතුවිල්ලකට මගේ අත්දැකීමක් මෙසේ ඈ ඳමින් fb එකේ පළකළා:
මටත් මීට සමාන අපූරු අත්දැකීමක් තිබෙනවා.
එය පද්‍ය කාව්‍යයක් ලෙස නොව ගද්‍ය කාව්‍යයක් ලෙස ලියන්නම්.
ඒ වසර 1974. ස්ථානය බටහිර බර්ලිනය. වෙලාව උදේ දහයට පමණ ඇත. ශීත සෘතුවේ මැද භාගයේ දිනයක්.
Moabit ප්‍රදේශයේ පදික වේදිකාවක් මත ගමන් කරමින් සිටියදී මගේ දෑත් මතට කඳුළු බිඳු මෙන් සීතල වතුර බිඳු කිහිපයක් වැටුණා.
මා උඩ බැලූ විට මගේ හිසට උඩින් තිබුණේ අඩි 15ක පමණ උස කොළ හැළී තිබුණු කුඩා ගසක්. කොළ හැළුණු ඒ ගසේ අතු සිහින් කෝටු මෙන් පොළොවට සමාන්තරව ව්හිදී තිබුණා.
කලින් දින වල පතිත වූ හිම සෑම අත්තක්ම වෙලාගෙන මිදී තිබුණා.
එදින තිබුනෙ හෙමින් හෙමින් හිම දිය වෙන උෂ්ණත්වයක්.
මම මොහොතකට ගහ යට නතර වී මෙසේ සිතුවා:
ඔබ අඬන්නේ
ශිතයට පෙර වසන්තයේ
ඔබේ සිරුර වසා සිටි
ඔබව හැඩගැන්වූ
ලස්සන කොළ හා මල්
ශීතය ඔබෙන්
උදුරාගෙන
වසන්තය ඔබට
අහිමි කළ
දුක නිසා විය යුතුයි
ඒ කතාවයි ඔබ මේ
කඳුළු සලමින්
කියන්නේ
ඔබ ගසකි
මා මිනිසෙකි.
මට නැති වුනු දේ
බොහෝයි
නැතිවුණා නොව
උදුරගනු ලැබුවා.
නැවත ලැබීමක්
ගැන හැඟීමක්
එහෙම දේකුත් නැහැ
එහෙත්
වසන්තය
නැවත එනවා
ඔබව සරසා තිබුණ
හරිත වර්ණ
සිහින් පත්‍ර
දළුලමින් ලියලනව
එහෙව් සිහිනයක්
මට නොතිබුණත්
ඔබේ සතුට
මගේ සතුටයයි සිතා
හිරු මුදුන් ව
උණුසුම දෙනවිට
අපි හිනැහෙමු
ඒ මොහොතේදි
එකම අහස යට
-එඩ්වර්ඩ්-
16.04.2023