ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කර ආණ්‌ඩුව වෙනස්‌ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌!

Spread the News

විද්වත් හමුව

source link:

ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කර ආණ්‌ඩුව
වෙනස්‌ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌!


ශ්‍රී ලංකාව ලෝකය හමුවේ විශාල අපකීර්තියකට ලක්‌කර බලවත් රටවලට අවනත වන ආණ්‌ඩුවක්‌ මෙරට පිහිටුවා ගැනීමට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුමන්ත්‍රණය කරළියට පැමිණීමක්‌ ලෙස එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ වාර්තාව හැඳින්විය හැකි බව විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් කල්‍යානන්ද ගොඩගේ මහතා පවසයි.

බෑන් කී මූන්ගේ කමිටු වාර්තාව හරහා ශ්‍රී ලංකාවට කරන අධිරාජ්‍යවාදී මැදිහත්වීම වළක්‌වා ගන්නේ කෙසේද? මැයෙන් විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් කල්‍යානන්ද ගොඩගේ සමග “දිවයින ඉරිදා සංග්‍රහය” පැවැත්වූ සාකච්ඡාවකි මේ.

විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් කල්‍යානන්ද ගොඩගේ

අපේ රටේ මානව හිමිකම් කඩ වී තිබෙනවාද යන්න සොයා බලන්නට එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය යෝජනාවක්‌ අනුමත කරල නැහැ. එසේ නම් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට මෙබඳු වාර්තාවක්‌ සකස්‌ කරන්නට පුළුවන්ද?

අපි මුලින්ම වරද්දාගෙන තියෙන්නෙ බෑන් කී මූන්ගෙ මේ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ සම්මේලන වාර්තාවක්‌ විදිහට හඳුන්වා දීමයි. මම මේක හඳුන්වන්නෙ බෑන් කී මූන්ගෙ පුද්ගලික වැඩක්‌ විදිහටයි. මහ ලේකම්වරයා හැටියට ඔහුගෙ හිතුමනාපෙට කරපු වැඩක්‌.

මේ අවුරුද්දෙන් බෑන් කී මූන්ගේ ඔය තනතුරේ කාලය අවසන් වෙනව. නැවත මේ තනතුර ලබාගන්න නම් ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ සහයෝගය අවශ්‍යයි. බෑන් කී මූන් අපේ රටට එරෙහි මේ වාර්තාව පිළියෙල කළේ ඔය කියන රටවල් සතුටු කරන්න. ඇමරිකාව, ප්‍රංශ, බ්‍රිතාන්‍යයේ ඉන්න ද්‍රවිඩ සංවිධාන ඒ රටවල රාජ්‍යයන්ට බලකරනව. එංගලන්ත පාර්ලිමේන්තුව පස්‌ වතාවක්‌ අපේ රටට එරෙහිව යෝජනා ගෙනත් තිබෙනවා. අපේ රටට රිද්දන්න බලා ඉන්න මේ සංවිධාන සහ පිරිස සතුටු කරන්නයි බෑන් කී මූන් මේ වැඩේ කළේ. ඔහු මේ කමිටුව පත් කළේ අපේ රටේ සිදුවී තිබෙන දේ පිළිබඳ ඔහුට වාර්තාවක්‌ ලබාගන්නයි. නමුත් දැන් මොකක්‌ද සිදුවී තිබෙන්නේ. ඒ වාර්තාව ලෝකයටම ප්‍රසිද්ධ කරල තියෙනව.

ඔය වාර්තාව හැදුවයි කියන විද්වත් මණ්‌ඩලය කොහේ විද්වතුන්ද? එක්‌කෙනෙක්‌ කාලයක්‌ අපේ රටේ හිටපු ඉන්දුනීසියාවේ හිටපු ඇටෝනි ජනරාල්වරයෙක්‌. අපේ රටට ඇවිත් ප්‍රශ්න ඇති කරගෙන ගියා. අනිත් මනුස්‌සය අපේ රටේ මිනිස්‌සු දෙමළ ජනතාවට සලකන්නෙ දකුණු අප්‍රිකාවෙ ගෝත්‍රිකයන්ට වගේ කියල ප්‍රකාශයක්‌ කරපු කෙනෙක්‌. අනික්‌ කෙනා කාන්තාවක්‌. ඇයට අවුරුද්දකට යුරෝ මිලියන 40 ක්‌ යුරෝපියන් යුනියන් එකෙන් ලැබෙනව. එම නිසා ඇය එම එන්ජීඕ එකට ණය ගැතියි. එම නිසා මේ තුන් දෙනා අපක්‍ෂපාත වාර්තාවක්‌ හදන්න පුළුවන් අය නෙවෙයි. මේ තුන්දෙනා කරන්නෙ ඒ අයට මුදල් වියදම් කරන අයගෙ ඕනෑ එපාකම්.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අපේ රට පිළිබඳ ඔහුට තොරතුරු දැනගන්නට තිදෙනකු පත්කර සකස්‌ කළ වාර්තාව ඔහු දැන් ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙහි අරමුණ කුමක්‌ද?

මේ වාර්තාව සකස්‌ කළ විද්වත් කමිටුව යෑයි කියා ගන්නා තිදෙනා මෙහෙයවන අයගේ වුවමනාව අපේ රටේ නායකයන් ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ගෙන ඒමයි. මේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කළේ එයට මගපාදා ගැනීමේ අරමුණින්. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට මේ වාර්තාව ඉදිරිපත් කිරීම මොවුන්ගේ ඊළඟ වෑයමයි.

ලෝකයේ අංක එකේ ත්‍රස්‌තවාදියා ලෙස සැලකූ අපේ රටේ මහා මිනිස්‌ ඝාතනයක්‌ කළ ප්‍රභාකරන් වැනසූ සැටි සොයන මේ මහලේකම්වරයා ඉරාකයේ ඇµaගනිස්‌ථානයේ සහ දැන් ලිබියාවේ සිදුවන මහා මිනිස්‌ ඝාතන ගැන නිහඬයි. ඔහුගේ මේ දෙබිඩි පිළිවෙත ලෝකය අනුමත කරනවද?

ලෝකයේ සිදුවෙන්නෙ බලවත් රටවල් කිහිපයකට අවශ්‍ය දේ. මේ ආණ්‌ඩුවට වඩා මේ අයට වුවමනා කරන්නෙ එදා කොටින්ගෙ අන්තර්වාර පාලන මණ්‌ඩලයට ඉඩදුන්නු පීටොම්ස්‌ යෝජනාවට එකඟ වුණු ආණ්‌ඩුවක්‌. අන්න ඒ විදිහේ ඔවුන්ට හීලෑ ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීම තමයි මේ හැමදේකම පිටුපස තිබෙන අරමුණ. මේ වාර්තාව සකස්‌ කළ පුද්ගලයෝ මෙහෙයවන අය බලාහිටිය ප්‍රභාකරන් යුද්ධයෙන් ඔවුන්ගෙ අරමුණු ඉටුකරල දෙයි කියල. ඒ බලාපොරොත්තුව කඩවුණාට පස්‌සේ ඒ අරමුණු වෙනත් ක්‍රමයකින් ඉටුකරගන්න කරන උත්සාහයක්‌ මේක.

මේ වාර්තාව හරහා සිදුවිය හැකි දේ කුමක්‌ද?

මේ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට ඔවුන් උත්සාහ දරාවි. එහිදී පරීක්‍ෂණයක්‌ පවත්වල මේ චෝදනා ඔප්පු වුවහොත් විවිධ තහංචි පැනවීමට ඔවුන්ට හැකියාව ලැබෙනව. ජනාධිපතිවරයා ඇතුළු නායකයන්ට වෙනත් රටවල සංචාර සඳහා තහංචි පැනවෙන්න පුළුවන්. වෙනත් රටවල සංචාරකයන්ට මෙරටට පැමිණීම තහනම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකරන රටක්‌ හැටියට ලෝකයේ අපකීර්තියට පත් කිරීමත් මේ වාර්තාව ඉදිරිපත් කිරීමේ අරමුණක්‌.

අපේ රටට එරෙහිව සිදුවන මේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම වළක්‌වා ගන්නෙ කොහොමද?

මුලින් මේ කමිටුව අපි ප්‍රතික්‍ෂේප කළ ආකාරයට දිගටම කටයුතු කළා නම් මීට වඩා වෙනස්‌ තත්ත්වයක්‌ ඇතිකර ගත හැකිව තිබුණා. නමුත් ඔවුන් සමග සාකච්ඡාවට යැම නිසා අපි ඔවුන් පිළිගත්තා වැනි තත්ත්වයක්‌ ඇති වුණා. සමහරු මේ කණ්‌ඩායම කැමැති නම් ඇවිත් උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ සාක්‌කි දෙන්නත් කිව්වා.

කෙසේ වෙතත් දැන් මෙම වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ විවාදයට ගැනීම වළක්‌වාගත යුතුයි. ශ්‍රී ලංකාවට එරෙහිව සකස්‌ කළ මේ වාර්තාව දැනටමත් චීනය හා රුසියාව ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. බෑන් කී මූන් ඇතුළු මේ විද්වත් මණ්‌ඩලයේ ඊළඟ පියවර විය හැක්‌කේ මේ වාර්තාව ආරක්‍ෂක මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමත් එහිදී මෙම වාර්තාව පරීක්‍ෂණයකට භාජන කිරීමත්ය. ඉන්පසු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ගෙන ගොස්‌ මේ ආණ්‌ඩුවට හිරිහැර කිරීම ඔවුන්ගේ අරමුණයි. ඔවුන්ට කීකරු ආණ්‌ඩුවක්‌ මේ රටේ පිහිටුවා ගැනීම මේ සියලු උත්සාහයන් පිටුපස තිබෙන වුවමනාවයි.

රටවල් අතර ගැටලු කළමනාකරණය කිරීමේදී උපායශීලී විය යුතුයි. මේ වාර්තාව පිළිබඳ නොබැඳි රටවල් දැනුවත් කරල ඔවුන් අපේ රටට එරෙහි මෙම වාර්තාව ප්‍රතික්‍ෂේප කරන බව ලෝකයට තහවුරු කරන්න ඕන. මේ වාර්තාව සකස්‌ කරන්නට ඔවුන් කිසිවකුගෙන් විධිමත් ලෙස සාක්‍ෂි කැඳවා නැහැ. කටකතා පදනම් කර සකස්‌ කළ වාර්තාවකුයි ඔවුන් මේ ප්‍රකාශයට පත්කර තිබෙන්නෙ. මේ පිළිබඳ රටවල් දැනුවත් කර පදනමක්‌ නැති මේ චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවට එම රටවලින් ප්‍රකාශ නිකුත් කරවා ගත යුතුයි.

මේ වාර්තාවෙන් අපේ රටට එල්ල කර තිබෙන යුද අපරාධ චෝදනාවෙන් අත්විය හැකි අපකීර්තියෙන් රට බේරාගැනීම සඳහා පක්‍ෂ භේදයකින් තොරව සියලු දෙනාම ඉදිරිපත් විය යුතු අවස්‌ථාවක්‌ දැන් එළැඹී තියෙන්නෙ. ඉන්දියාව, පකිස්‌තානය සමග යුද වදින විට ඉන්දියාවේ සියලු පක්‍ෂ රජය සමග එකට හිටියා. පකිස්‌තානයෙත් ඒ විදිහටම එකතු වුණා. ඒ වගේ මේ මොහොතේ සියලු භේද අමතක කරල මේ අසත්‍ය චෝදනාවලින් රටේ කීර්තිනාමය රැකගැනීම සඳහා අපේ රටේ සියලු දෙනාම එකමුතු වෙන්නට ඕනෑ. ජාති වශයෙන්, ආගම් වශයෙන්, පක්‍ෂ වශයෙන් අපේ රටේ ජනතාව බෙදුනොත් රට කෑලිවලට කඩන්න පහසුයි. මේ වාර්තාව එළිදැක්‌වෙන විටම ඇමරිකානු මානව හිමිකම් වාර්තාවකුත් එළිදැක්‌ වුණා. මේ අලුත් අවුරුදු උත්සව සමයේ අපේ රටේ සිංහල, දෙමළ සමගිය වර්ධනය වන සමයේ මේ වාර්තා දෙකම එක ළඟ එළිදැක්‌ වුණේ කොහොමද? ඇමරිකාව ලෝකෙ කරන දේවල් හැටියට තවත් රටකට ඇඟිල්ල දිගු කරන්න ඇමරිකාවට පුළුවන්ද?

තෙල්, ගෑස්‌ සහ අවි ජාවාරම අද ලොව පුරාම යුද ගැටුම් ඇති කර තිබෙනවා. යුක්‌තිය සාධාරණය නොව ලොව පුරා අද ක්‍රියාත්මක වන්නෙ බලය සඳහා වන න්‍යාය පත්‍රයක්‌.

සාකච්ඡා කළේ පාලිත සේනානායක