හැටනම ලක්ෂයක ඡන්දය අරන් ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තාත්තාගේ සොහොන කඩනකම් බලන් හිටි බව පූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරන බව විඩීයෝවකින් අපට දක්නට ලැබුණි.
ඒ ප්‍රකාශය ඇසීමත් සමග ම අපට පළමුවන මහා විජයබාහු රජ තුමා ගැන සිහි පත් විය.
පළමුවන මහා විජයබාහු රජු ලෙස කීර්ති කුමාරයා බලයට පත් වන්නේ, 5 වන මිහිඳු නම් රජතුමා දකුණු ඉන්දීය සොළීන් විසින් පළවා හැර, අනුරාධපුර රාජධානියේ අවසන් සිංහල රජු වශයෙන් රුහුණට පළා ආ එරජු සොළීන් විසින් ජීවග්‍රහයෙන් අල්වා ගන්නා ලද අතර 5 වෙනි මිහිඳු රජුන් සොළී දේශයට ගෙන ගෙන ගොස්, රජරට රාජ්‍යධානිය සොළීන්ට අත්පත් වී, සිංහල ජාතියත්, සිංහල රාජ්‍ය කිරුළත්, සම්බුද්ධ ශාසනයත් අතිශයින් පීඩාකාරී, මහත් විලෝපයකට පත් වූ අවස්ථාවක ය.
ක්‍රි:ව:1017 අනුරාධපුර රාජ්‍යධානිය අවසන් කර පොළොන්නරුව කේන්ද්‍ර කර ගත් සොළී පාලනය රෝහණනය දක්වා ව්‍යාප්ත කළ ඒ අවධියේ වරින් වර ලංකාද්විපය, විශේෂයෙන් 5 වන මිහිඳු රජු රෝහණයේ දී සතුරන් අතට පත් වීමට පෙර රෝහණයේ පාලන ප්‍රදේශය හැර, සෙසු ලංකා භූමිය කේරළ, කර්ණාඨක, සහ සිංහල වශයෙන් පාලන බලය බෙදී ගොස් තිබුණි. කීර්ති විජයබාහු කුමාරයා ප්‍රථමයෙන් ම කතරගම සොළී සාමන්‍තයා හා සොළී සෙන්පතියන් පරාජයකර ක්‍රම ක්‍රමයෙන් සිංහල සේනා සංවිධානයකර අප්‍රතිහත ධෛරයෙන් තම සූර වීර බාහු බලයත් ඥාන බලයත් තේජෝ ගුණ පුණ්‍ය ශක්තියත්, සම්බුදු රජුන්ගේ ශාසනය කෙරෙහි වූ අසීමිත ප්‍රේමයත් නොවන්නට සොළී පාලනය වෙනස් කිරීමට නොහැකි වනවා ඇත. එදා කීර්ති විජයබාහු කුමරා මහ විජය බාහු ලෙස මේ රට එක්සේසත් නො කළේ නම් සිංහල ජතියේ ඉතිහාසය අතිශයින් ඛේදනීය වන බව නම් පැහැදිලි ය. මහා වංශය එය මැනවින් කියා පායි.
මහා විජයබාහු රජතුමාගෙ පියාණෝ මොග්ගල්ලාන නම් ක්ෂක්ත්‍රීය කුමරු වූහ. මව දාඨෝපතිස්ස රජ පරපුරේ ක්ෂ්ත්‍රීය කුමරියක වූවාය.
මහා විජයබාහු නරේන්ද්‍රයෝ රට එක්සේසත් කිරීමෙන් පසු රටේ ආර්ක්ෂාවත් ජනතාවගේ සුභ සිද්ධියත් උදෙසා දිවා රෑ දෙක නො බලා රාජ්‍ය විචාළෝ ය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙරට උපසම්පදා විනය කර්මය පොහොනා භික්ෂූන් වහන්සේල නොමැති බව දැන රාමඤ්ඤ දේශයේ මිතුරු රජු වෙත දූතයන් යවා ත්‍රිපිටකධාරී ව්‍යක්ත බහුශැත මහ තෙරපාණන් වහන්සේලා වඩමවා මෙරට උපසම්පදාව පිහිටුවා සම්බුදු සසුන නගා සිටවූහ. ත්‍රිපිටක ධර්මය ලියා තැබවූහ. සැම ආකාරයෙන් ම රට ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය සුරක්සිත කළෝය. වැසියාට මෙලොව පරලොව සුභ සිද්ධිය පිණිස ක්‍රියා කළෝය.
මහා විජයබාහු රජුන් රජ බවට පත් වනුයේ අතිශයින්ම සිංහල රාජ්‍ය බලය පිරිහී ගිය යුගයක ය. එතුමා රජ වීමෙන් පසු ඇති වූ කැරළි සමථ කොට සම්බුදු සසුන නගා සිටිවීමට වැසියාගේ ජීවන තත්වය උසස් කිරීමට සෑම දෙයක් ම සිදු කළේ ය.
තම පියාණ්න් සහ සහ මෑණියන් ගේ සොහොන් පිහිටි බිම මහා ආවාස පසක් කරවූ බව මහා වංශයේ හැටවෙනි (60) පරිච්ඡේදයේ 57, 58 වෙනි ගාථාවන්හි දක්වත්.
මහා විජයබාහු නරේන්ද්‍රයණෝ තම පියාණන්ගේ සහ මෑණියන් වෙනුවෙන් සොහොන් කොත් නො බැදවූහ. සොහොන් ස්මාරක නො පිහිටවූහ. අනාගත සිංහල වංශානුගත පරම්පරාවට කියා දුන්නේ, තම මෑනියන්ගේ සහ පියාණන්ගේ සොහොන් බිම සම්බුද්ධ ශාසනය උදෙසා සංඝ රත්නය උදෙසා, මහා ආවාස පහක් කර සම්බුද්ධ ශාසනයට පූජා කිරීමෙන් බෞද්ධ උරුම කම් ලත් සිංහල රජෙකුගේ පාලකයෙකුගේ යුතුකම සහ වගකීම ය.
රටේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සහ රටේ ජනතාවගේ සුභ සිද්ධියට කටයුතු කරනවා මිස පරම්පරාවට සොහොන් සෑදීමත් ආරාක්ෂා කිරීමත් නො වන බව මහා විජයබාහු රජතුමා දෙන ලද පූර්වාදර්ශය අමතක කිරීම සංවේගයට කරුණකි. ලංකා භූමියේ රජෙකුගේ කාර්ය, රටේ පාලකයෙකූගේ කාර්ය භාරය මැනවින් තේරුම් ගැනීමට සිංහල රාජාවලියේ වංශකතා සාහිත්‍ය දැන ගත යුතු ම ය.
සම්බුද්ධ ශාසන වංශය සහ සිංහල රාජාවලියේ වංශානුගත පරම්පරා කාර්ය භාරය නො ඳැන මේ රට පාලනයට බැසීම සැබැවින් ම මහත් විපත්තියක් ම ය.
ආරියතිලක
2024.03.16