සම්බුද්ධත්ව ජයන්තියට මේ ටික ඉටු කරමු

Spread the News


සම්බුද්ධත්ව ජයන්තියට මේ ටික ඉටු කරමු

source link:

රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි
බර්ලින් සම්බෝධි විහාරාධිපති හා දොරණෑගොඩ සදානන්ද පිරිවෙන් රාජමහා විහාරාධිපති,
ජර්මනිය

මේ වන විට “සම්බුද්ධත්ව බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු” යන තේමාව යටතේ රට පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් යම් යම් වැඩ සටහන් සිදු කිරීමට මුළු රටම සැරසෙනු ඇතැයි සිතිය හැකියි. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩීමට මේ සමයෙහි කටයුතු කිරීමෙහි වරදක්‌ නැත. එසේ වුවද මේ වන විට ලක්‌දිව බුදු දහම ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව නොරහසකි. මෙයට හේතුවී ඇති කාරණා දෙස රජයේ සහ බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු අගමැතිතුමාගේ විශේෂ අවධානයට ලක්‌කොට අලුතින් යමක්‌ ඇති කරනවාට වඩා තියෙන ටික රැකගෙන යැමේ වැඩපිළිවෙළක්‌ ඇති කරන්නේ නම් එය සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා ඉතා වැදගත් වේ.

සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යැම සඳහා අත්‍යවශ්‍යම පුද්ගලයන් වන්නේ මහා සංඝරත්නයයි. වෙහෙර විහාර කොතෙකුත් තිබුණද උපසම්පදා භික්‌ෂුවක්‌ නැතිවූ දාට මේ සසුනේ අවසානය සිදු වේ. වැඩි ඈතක නොව මීට වසර දෙසීය පනහකට පමණ පෙරද ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය පැවති බව මහනුවර යුගයේ බුදු දහම, සාහිත්‍ය, භාෂාව ආදිය කෙරෙහි බලන කල පැහැදිලියි. මහනුවර යුගය වන විට උපසපන් භික්‌ෂුවක්‌ නොවූයෙන් වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා විනාශයට ගිය සම්බුද්ධ ශාසනයට පුනර්ජීවනයක්‌ ඇති විය. ඒ සංඝරාජයාණන් වහන්සේ නොවන්නට අදටත් අපට හිමි බුදුදහමක්‌, භාෂාවක්‌, සාහිත්‍යයක්‌ පිළිබඳව කතා කිරීමට ඇති ඉඩකඩ අල්ප බව පැවසිය යුතුය. කෙසේ වුවද වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන සියමෙන් උපසම්පදාව ගෙන්වාගෙන ලක්‌දිව නැවතත් උපසම්පදාව පිහිටුවාලීම නිසා ලක්‌දිව සම්බුදු සසුනත් භාෂාව හා සාහිත්‍යයත්, මහනුවර යුගයට අයත් චිත්‍ර හා කැටයම් කලාවත්, බෞද්ධ සංස්‌කෘතියත් රට තුළ නැවත ස්‌ථාපිත කිරීමටත් ඒවායෙහි පුනරුප්පත්තියක්‌ මෙන්ම පුනරුදයක්‌ ද ඇතිවන්නට විය.

නැවතත් වසර දෙසීය පනහක්‌ පමණ ගත වූ තැන ශාසනයේ පිරිහීම උදාවීමට නිතතයෙන් බලපා ඇති කරුණු කිහිපයක්‌ දක්‌නා ලැබේ. භික්‌ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් පහළ බැස තිබේ. මීට බලපා ඇති ප්‍රධානතම හේතුව වී ඇත්තේ පවුල්වල මහණ කිරීමට දීම සඳහා ළමයින් නොමැතිකමය. ඊට හේතුව වී ඇත්තේ පවතින ආර්ථික ගැටලු තත්ත්වයන් නිසා පුංචි පවුල රත්තරන් වැනි පවුල් සැලසුම් ක්‍රම භාවිත කිරීමය. මේ නිසා අද පවුලක ළමයින් දෙතුන් දෙදෙනකුට වැඩිය දක්‌නට නොලැබේ. මීට වසර විස්‌සකට තිහකට පමණ පෙර සෑම පවුලකම පාහේ හත් අට දෙනකුවත් දරුවන් සිටි බව දැකීමට හැකි විය. වැඩි පමණක්‌ දරුවන් ලැබීම මහත් වාසනාවක්‌ ලෙසට රටේ සැලකිල්ලක්‌ තිබුණ අතර එයින් කුල දරුවකු පැවිදි බිමට ඇතුළත් කිරීමට, පන්සලකට පරිත්‍යාග කිරීමට දෙමාපියන් දැක්‌වූයේ මහත් උනන්දුවකි. එසේම එක පවුලකින් දරුවෙක්‌ පැවිදි බිමට ඇතුළත්වීම හතරවරිගයක්‌ම නිවන් දැක්‌මක්‌ ලෙසද ඔවුහු සැලකූහ. කෙසේ හෝ අද වයසක හාමුදුරුවරු ටික අපවත් වෙමින් යති. තරුණ භික්‌ෂුහු සිවුරු හැර යති. මහණ කිරීමට ළමයින් නොවෙති. මේ කාරණා නිසා බෞද්ධ භික්‌ෂුන්ගේ සංඛ්‍යාත්මක වශයෙන් ශීඝ්‍ර හිඟයක්‌ දක්‌නා ලැබේ.

මේ නිසා අද වෙහෙර විහාරස්‌ථාන, පිරිවෙන් පවත්වාගෙන යනුයේ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේය. රජය මගින් පිරිවෙන් ශිෂ්‍යාධාර මුදල් වශයෙන් වාර්ෂිකව ආධාර මුදලක්‌ ලබා දුන්නද එය එක ශිෂ්‍යයකුට දිනකට රුපියල් 5 ක්‌ වත් නැති තරම්ය. සමහර පිරිවෙන්වල පන්තිවල සිසුන් දෙතුන් දෙනකුට වැඩිය නැත. පාංශකූලයකට, දානයකට, පිරිතකට භික්‌ෂුන් වහන්සේලා සොයා ගැනීම දුෂ්කර වී ඇත. සමහර පිරිවෙන් පවත්වාගෙන යනු ලබනුයේ බංග්ලාදේශ, බුරුම වැනි රටවලින් ළමයින් ගෙන්වාගෙන පැවිදි කිරීමෙනි. මේ නිසා කිසියම් පවුලකින් ළමයකු පැවිදි බවට පත්වන්නේ නම් ඒ පවුලේ තව ළමයකුට පාසල් යැම සඳහා ශිෂ්‍යත්වයක්‌ පිරිනැමීම වැනි කටයුත්තක්‌ ඇරැඹිය යුතු වේ. ළමයකු පැවිදි ජීවිතයට ඇතුළත් කිරීමෙන් ඔහු උගෙන ගෙන පසුව උපැවිදි වුවද සමාජයට එයින් බිහිවනුයේ වැඩදායී පුද්ගලයෙකි.

ලක්‌දිව බොහෝ වෙහෙර විහාරස්‌ථාන ඉතා දිළිඳු තත්ත්වයේ පවතී. අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, අම්පාර, දිගාමඩුල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය වැනි දිස්‌ත්‍රික්‌කවල මේ විහාරස්‌ථාන වැඩි වශයෙන් දක්‌නා ලැබේ. මේ විහාරස්‌ථාන සංවර්ධනය සඳහා කිසියම් වැඩ පිළිවෙළක්‌ දියත් කිරීම කාලීන අවශ්‍යතාවකි. මේ සඳහා රජයෙන් ආධාර ලබාදීම සිදුවිය යුතු වේ. එසේත් නැතිනම් දළදා මාළිගාව, කැලණිය, ශ්‍රී පාදය, අටමස්‌ථානය, කතරගම වැනි පූජනීය ස්‌ථානවලින් මහා භාණ්‌ඩාගාරයට යන මුදල්වත් යොදා මේ විහාරස්‌ථානවල අභිවෘද්ධිය සිදු කිරීම වටී. තිබෙන තැනින් නැති තැන්වලට පරිත්‍යාග කිරීමෙන් දිළිඳු බව දුරු කිරීමට එය ඉවහල් වේ.

දැනට වසර දහ අටකට පෙර ජර්මනියේ තායි විහාරස්‌ථානයක්‌ නොතිබිණි. පසුව තායි එක භික්‌ෂුන් වහන්සේ නමක්‌ විසින් බර්ලින් නුවර කුඩාවට ආරම්භ කරන ලද විහාරස්‌ථානය මුල් කොටගෙන තවිහාරස්‌ථාන ඉදි වන්නට විය. ඔවුහු සිදු කරනුයේ එක විහාරස්‌ථානයක්‌ ඉදි කිරීමෙන් පසු තවත් විහාරස්‌ථානයක්‌ ඇරැඹීම සඳහා භික්‌ෂුන් ඇතුළු දායකයන් අන්‍යයන්ට උපකාර කිරීමය. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අද වන විට ජර්මනිය පුරා තායි බෞද්ධ විහාරස්‌ථාන 25 ක්‌ ඉදිවී අවසන්ය. මේ සඳහා ලොව පුරා විසිරී සිටින තායි බෞද්ධයෝ ආධාර කරති. වියට්‌නාම් බෞද්ධයෝ ද මේ ක්‍රමයම අනුගමනය කරන අතර මුස්‌ලිම් ජාතිකයෝද මේ ක්‍රමය අනුගමනය කරමින් ඔවුනගේ ආගමික ස්‌ථාන ඉදි කරන බව පෙනේ.

වෙහෙර විහාර තිබූ පමණින්වත්, භික්‌ෂු පිරිසක්‌ සිටි පමණින්වත් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම රැඳේ යෑයි සිතිය නොහැකිය. පැවිදි බිමට ඇතුළත් වන්නවුන් රැකෙන වැඩ පිළිවෙළක්‌ දියත් කළ යුතු වේ. පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්‌ෂුන් වහන්සේලාට බුද්ධ ධර්මය විෂය උසස්‌ පෙළ දක්‌වා ඉගෙනීම අනිවාර්ය කළ යුතු වේ. එසේම උසස්‌ පෙළ සඳහා පාසල්වල බුද්ධ ධර්මය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද ශිෂ්‍යත්ව ක්‍රමයක්‌ ඇති කළ යුතු වේ. මේ සඳහා විදේශීය ශ්‍රී ලාංකික බෞද්ධ වෙහෙර විහාරස්‌ථාන හා විදේශගත ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙත ශිෂ්‍යත්ව භාරදීම සුදුසු වේ. මෙවැනි වැඩ පිළිවෙළක්‌ දියත් කළහොත් ශ්‍රී ලංකාවේ ධනවතුන්ගේ සහයෝගය ද ලබාදීමට ඔවුන් ඉදිරිපත් වනු ඇත. එසේම අඩුම වශයෙන් ගුරු අභ්‍යාස විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී උසස්‌ පෙළ සඳහා බුද්ධ ධර්මය හදාරා ඇති අය කෙරෙහි විශේෂ සැලකිල්ලක්‌ දක්‌වා එම සිසුන්ට ඒ සඳහා ප්‍රමුඛතාවක්‌ දිය යුතු වේ. දහම් පාසල් අධ්‍යාපන ක්‌ෂේත්‍රයට සුවිශාල සේවාවක්‌ සිදු කරනු ලබන විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන ශාසනාරක්‌ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සැකසිය යුතු වේ. දැනට එහි කටයුතු උන්වහන්සේලා ස්‌වෙච්ඡාවෙන් සිදු කරන අතර ඒ සඳහා වැටුපක්‌ නොලබති. උන්වහන්සේලා අතින් සිදු කෙරෙන මෙකී සේවාව සම්බුද්ධ ශාසනයට සිදුකරන සුවිශාල මෙහෙයකි.

එසේම දැනට සාකච්ඡාවට බඳුන් වී ඇති ධර්මාචාර්ය සමතුන්ට රජයේ පාසල්වල බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමට ගුරු පත්වීම් ලබාදීම ද ඉතාමත්ම සුදුසු ය. සෑම සිසුවකුම සඳහා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීම සඳහා දහම් පාසල් පැවැත්වෙන ඉරිදා උදෑසන සියලු පුද්ගලික පන්ති තහනම් කළ යුතුය. එසේම සිංහල බෞද්ධ පුරවැසියන්ට රැකියා අවස්‌ථාවන් ලබාදීමේදී දහම් පාසල් අධ්‍යාපනය, දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සමත්වීම, ධර්මාචාර්ය විභාගය සමතුන්ට හා උසස්‌ පෙළ සඳහා බුද්ධ ධර්මය විෂය සමත් වූවන්ට විශේෂ සැලකිල්ලක්‌ දක්‌වා එහිදී ඒ සඳහා ප්‍රමුඛතාවක්‌ ලබාදිය යුතුය.

යුරෝපයේ බොහෝ රටවල “බුද්ධ බාර්” ඇත. ආපන ශාලා තුළ විශාල බුදු පිළිම තබා ඇත. සමහර ඒවා බුදුරජාණන් වහන්සේට නිගරු වන සේ තබා තිබේ. බර්ලින් නුවර එක වෙළෙඳ සලක විකිණීම සඳහා තබා තිබෙනුයේ බුද්ධ ශරීරය විදහාපාන බද්ධ පර්යංකයෙන් වැඩ සිටින සේ පිත්තලවලින් තැනූ පිළිරුවකි. එහි මුහුණ හරකෙකුගේ වන අතර හිස අං තට්‌ටුවකින්ද යුක්‌තය. එය නමින් ,ඊමාdය් ඤඅ, වන අතර මිල යුරෝ 39 ක්‌ හෙවත් රුපියල් 5850 පමණ මුදලකි. මේ වන විට වාඩිවෙන පුටුවල මෙට්‌ටවල කවරය සඳහා ද බුදුරජාණන් වහන්සේගේ උඩුකය රැගත් පින්තූර යොදා ඒවා වෙළෙඳසල්වල විකිණීමට තබා තිබේ. එබඳු මෙට්‌ටයක වාඩිවෙන කෙනකු වාතය පිට කරන්නේ නම් ඒ බුදුරුවටය. එසේම කෑම මේසයට තබන අත පිහින කඩදාසි හෙවත් සේවියට්‌ කඩදාසිවලටද බුදුරුව යොදා ඇත. මෙසේ නින්දිත ලෙස බුදුරුව යොදා ගැනීමට විරුද්ධව කටයුතු නොකළොත් ඉදිරියේ දී මීටත් වඩා පහත් ක්‍රියාවලට බුදුරුව යොදා ගත්තද වගකිවයුත්තන්ට නිහඬව සිටීමට සිදුවනු ඇත. තව ටික දවසක්‌ යන විට වැසිකිළි පාවිච්චිය සඳහා දැනට රෝස මල් සිතුවම් කොට නිෂ්පාදනය කොට යුරෝපයේ වෙළෙඳපොළට නිකුත් කොට ඇති ටොයිලට්‌ පේපර්ස්‌වලටද බුදුරුව යෙදූ කඩදාසි වෙළෙඳපොළට නිකුත් වීමෙන් එම කඩදාසි පස්‌ස පැත්ත පිස දැමීම සඳහා වැසිකිළිවල එල්ලා තිබෙන දවස වැඩිකල් නොගොසින්ම මහජනතාවට දැක ගැනීමට හැකිවනු ඇත.

අද හොඳම සාහිත්‍ය නිර්මාණවලට, හොඳම චිත්‍රපටයට හා නළු නිළියන්ට, අධ්‍යක්‍ෂවරුන්ටද මෙන්ම හොඳම රූපවාහිනි නාට්‍යයට, හොඳම රූපවාහිනී නළු නිළියන්ට ආදී වශයෙන් නොයෙකුත් රාජ්‍ය මට්‌ටමේ සම්මාන පිදේ. මේ දේ බුදුදහම වෙනුවෙන් ද ඇති කිරීම බෞද්ධ පුනරුදයක්‌ ඇති කිරීමට ඉමහත් සේ ඉවහල් වේ. ඒ සඳහා වාර්ෂිකව හොඳම බෞද්ධ නවකතාව, හොඳම බෞද්ධ කෙටිකතාව, හොඳම බෞද්ධ නාට්‍ය, හොඳම බෞද්ධ චිත්‍රපටය, හොඳම බෞද්ධ කාව්‍ය නිර්මාණය, හොඳම බෞද්ධ වෙබ් පිටුව, හොඳම බෞද්ධ සී.ඩී. තැටිය, හොඳම බෞද්ධ ගීත රචනය, හොඳම බෞද්ධ රූපවාහිනි නාට්‍ය ආදී වශයෙන් රාජ්‍ය සම්මානයන් පිරිනැමීමේ ජාතික උත්සවයන් රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව වාර්ෂිකව පැවැත්විය යුතුය.

එසේම විචිත්‍ර ධර්ම දේශකයාණන් යෑයි ලේබල් අලවාගත් බුදු බණ වෙනුවට උපහාසාත්මක විsදියට සමාජ විමර්ශනයන් සිදු කරන මුඛරි දේශකයන් සඳහා ජනමාධ්‍ය තුළින් පිරිනමනු ලබන අනුග්‍රහයන් නතරකොට පිරිසිදු බුදු දහම පමණක්‌ මුල් කරගෙන දහම් දෙසන දේශකයාණන් වහන්සේ කෙරෙහි ජනමාධ්‍ය අනුග්‍රහය දක්‌වා එබඳු ධර්ම දේශනාවන් පමණක්‌ මාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීමට කටයුතු සිදු කළ යුතුය. මෙය ලිත, වාචික හා දෘෂ්‍ය සියලුම මාධ්‍ය අනුගමනය කළ යුතු බවට නීතිරීති පනවා ක්‍රියාත්මක කළ යුතු වේ. අද සමාජයේ මිනිස්‌සු මුඛරි දේශකයන්ට පවසනුයේ බයිලාකාරයෝ ලෙසිනි. මෙබඳු චීවරධාරීන් දෙසනු ලබන ලාමක දෙසුම් නිසා බුදුදහම සමච්චලයට ලක්‌වී තිබේ. ශ්‍රී ලංකාව වැනි නිර්මල පිරිසිදු බුදුදහම තිබෙන බෞද්ධ රටක බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය, සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය ආදී අමාත්‍යාංශයන් තිබියදී සම්බුද්ධ ශාසනයේ පිරිහීමට හේතුවන මෙබඳු දේවල් ටිකවත් ඉවත් කරගෙන පිරිසිදු බුදුදහම රැක ගැනීමට කටයුතු කර ගැනීමට නොහැකි නම් ඒවායේ ඇති ඵලය කුමක්‌ද? යන්න ජනතාව තමන් විසින්ම විමසා ගනු ඇත.

මීට අමතරව ගම් මට්‌ටමින් විහාරස්‌ථාන මුල්කොට ගෙන තරුණ බෞද්ධ සමිති ආරම්භ කොට මසකට වතාවක්‌වත් “දම්සබා මණ්‌ඩපය” නමින් ධර්ම කථිකාවතක්‌ ඇරැඹිය යුතු වේ. මේ සඳහා අවට විහාරස්‌ථානවල භික්‌ෂුන් වහන්සේ කීපනමකුත් වඩමවාගෙන සති අන්තයක සන්ධ්‍යා භාගයේ ධර්ම සාකච්ඡාවක්‌ පැවැත්වීම සුදුසුය. මෙතුළින් ධර්ම සංවාදයක්‌ ගොඩනැඟෙන අතර බෞද්ධ ප්‍රබෝධය ද ඇති වේ. ඉහත සඳහන් කරුණු සිදු කළ නොහැකි අසීරු ඒවා නොවෙති. “ඕවා මෙහෙ කරන්න බැහැ” යන සංකල්පය ඇති කරගෙන කටයුතු කිරීමට වුවහොත් සම්බුද්ධත්ව බුද්ධ ජයන්තිය වෙනුවෙන් රට තුළ සිදු වනුයේ කොඩි ටිකක්‌ දා, මුද්දරයක්‌ ගහල, බෞද්ධ සමුළුවක්‌ පැවැත්වීම පමණකි. 2600 සම්බුද්ධත්ව බුද්ධ ජයන්තිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා සිදු කෙරෙන යම් යහපත් කටයුත්තක්‌ වේ නම් එය සම්බුද්ධත්ව බුද්ධ ජයන්තිය සැමරීමේ අග්‍ර ඵලය වනු ඇත.

තවද සංඝ කථිකාවතක්‌ ඇතිකොට විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයට එරෙහිව ගෙන යන අන්‍යාගම්කරණය සිදු කිරීම වළකාලීමට කටයුතු සැලසීමද ඉතා වැදගත් වේ. සම්බුද්ධත්ව බුද්ධ ජයන්ති වසරෙන් පසුවද සම්බුද්ධත්ව බුද්ධ ජයන්තිය වෙනුවෙන් රටට දැනෙන, මහජනතාවට දැනෙන යමක්‌ සිදුවීමට කටයුතු සිදු කිරීම වගකිව යුතු අයගේ කාර්යභාරය වේ. එවිට සම්බුද්ධත්ව බුද්ධ ජයන්තිය නියමාකාරයෙන් සැමරුණ බව තව වසර 50 ක්‌ වත් යන තුරු ජන හදවත් තුළ අනුස්‌මරණීයව පවතිනු ඇත.