ඉතිහාසයේ දෙව්දත් දිණුවේත් නැත. ජුදාස් දිණුවේත් නැත.
වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන, ආගමික සමාජ හා ආර්ථික සන්දර්භය තුළ දෙව්දත් හා ජුදාස් ජනගහනය සීග්‍රයෙන් වැඩි වන බව පෙනේ.
ඊට ප්‍රබල හේතුව ප්‍රධාන වශයෙන්ම මිනිසුන් තුළ සාරධර්ම පිරිහීමයි. එදා දෙව්දත් පරිස්සම් වුනා බුදුන් සමඟ ඔහු තුළ තිබූ වෛරය සමාජය සමඟ බෙදා නොගන්න.
රිදී තිහක් වෙනුවෙන් ජේසුස් වහන්සේව පාවාදුන් ජුදාස් ඒ වෛරය සමාජය වෙත ප්‍රක්ෂේපණය නොකර තම ජීවිතය තොර කර ගත්තා.
අද දෙව්දත්ලා ජුදාස්ලා බිහිවෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන ඇකඩමි තුළින්. ඒ සඳහා ඔවුන්ට උපාධි සහතිකත් ලැබේ .සමහරු ආචාර්ය මහාචාර්ය පට්ටම්ද එවැනි පාවාදීම් තුළින් දිනාගෙන ඇත.
දීමනා වරප්‍රසාද හා ත්‍යාගයන් ජයග්‍රහකයන් වෙත නොව සමාජ විරෝධී කුජීතයින් නොහොත් පරාජිතයින්ට ප්‍රදානය කිරීම තුළින් හොඳ නරක උඩුකුරු යටිකුරු කර ඇත.
මීට එක් කදිම නිදසුනක් නම් සම්මාන පිරිනැමීමේ හා සම්මාන ලබා ගැනීමේ මානසික ව්‍යාධියකින් සමස්ත ලාංකික සමාජයම වෙළී තිබීමයි.
මොනවා තිබුනත් කොහේ හෝ හිස් බවකුත් තිබෙන බව ආකාශය අල්ලන්න දඟලන මිනිසුන් නොදන්නවා නොවෙයි.
පොළොව මත හිස තබාගෙන සිටින්නාට ලෝකය පෙනෙන්නේ දෙපයින් සිටගෙන ලෝකය දෙස බලන කෙනෙකුට පෙනෙන ආකාරයට නොවන බවද පැහැදිළියි..
මෙහි ඇති ලොකුම ඛේදවාචකය, ඔළුවෙන් සිටගෙන ලෝකය දකින්නා ඔහු දකින ආකාරයට ලෝකය සකස් කිරීමයි.
ප්‍රතිඵලය:
ලෝකය දකින්න නම් සැමටම ඔලුවෙන් සිටගැනීමට සිදුවීමයි.
හේගල් නම් ජර්මන් දාර්ශනිකයා ද්වීඝඨන (ද්වන්දාත්මක) න්‍යාය ඉදිරිපත් කර ඇත්තේ ඔළුවෙන් සිටගෙන බව මුළු ලෝකයම තම මතවාදයෙන් සෙළවූ ජර්මන් ජාතික දේශපාලන දාර්ශනිකයකු වූ කාර්ල් මාර්ක්ස් ඔහුගේ ආන්දෝලනයට තුඩුදුන් Das Kapital (The Capital) නම් වූ කෘතියේ සඳහන් කළේය.
හේගල් ගේ මතය සොරාගත් කාර්ල් මාක්ස් එය සාධාරණීකරණය කළේ හේගල්ව කකුල් දෙකෙන් සිටුවීම සඳහා එනම් දාර්ශනික ද්වන්දාත්මක බව භෞතික ද්වන්දාත්මක වාදයක් බවට පරිවර්තනය කිරීම සඳහා බවයි.
මාර්ක්ස්වාදය බිඳවැටීම තුළින් සනාථ වූයේ භෞතික සම්පත් මතම ලෝකයක් ගොඩ නැගිය නොහැකි බවයි. ධනවාදයත් මාර්ක්ස්වාදයත් වළි කෑවේ භෞතික සම්පත් බෙදා ගැනීමටය. එහෙත් මිනිස් ගුණ දහම් වර්ධනය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අඩංගුව තිබුණේ නැත.
මේ දෙපාර්ශ්වයම කළ මානව විරෝධී අරගළයේ දී ඇත්තෙන්ම බැට කෑවේ පීඩිත යාමයි.
අපට ධනවාදය අවශ්‍යත් නැත. මාර්ක්ස්වාදය අවශ්‍යත් නැත.
අනාරක්ෂිත භාවය ජය ගැනීම පිළිබඳ අපගේ දේශපාලන දර්ශනය අපේම අනන්‍යතාවක් සහිතව නිර්මාණය වුණ නවතම දේශපාලනය ගමන් මගකි.
අතරමං වූ පුද්ගලයින් ඉලක්කය කරා රැගෙන යා හැක්කේ ඔවුන් මෙතෙක් ගමන් කළ වැරදි මාර්ගයෙන් ඉවත් කර ආරක්ෂා සහිත මාර්ගයකට යොමු කිරීමෙනි. එය ඇත්තෙන්ම ඓතිහාසික කාර්යභාරයකි. දැවැන්ත අභියෝගයකි.
අද අප සිටගෙන සිටින්නේ ඒ අභියෝගය ඉදිරියෙහිය.
(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා ජර්මනිය 10.04.2021)