ආරියතිලක
2024.08.14
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, සුරාසැල් ආරම්භ කිරීමට එරෙහිවීම නිසා පසුගිය කාලයේ රිදීමාලියද්දේ විරෝධතා දැක්වූ හිමි නමකට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ රුපියල් කෝට් 100ක් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර ඇති බවට චෝදනා කරමින් මහියංගණ නගරයේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් මාධ්‍යට අදහස් පළ කර ඇති බව ලංකා සී නිවුස් lanka c news වෙබ් පිටුවේ පළ කර ඇත. එම ප්‍රවෘත්තිය සම්පූරණයෙන් ම පහත උපුටා දක්වමු.
“බාර් එකකට විරුද්ද වුනැයි භික්‍ෂුවකට මද්දුම බණ්ඩාර බිලියනයක් ඉල්ලා නඩු දමයි…
August 13, 2024 at 3:00 pm | lanka C news
මත්පැන් හල් ආරම්භ කිරීමට එරෙහිවීම නිසා පසුගිය කාලයේ පිදීමාලියද්දේ විරෝධතා දැක්වූ හිමි නමකට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ කෝට් 100ක් වන්දි ඉල්ලා සජබ මහලේකම් නඩුවක් ගොනු කර ඇතැයි චෝදනා කරමින් භික්ෂුන් පිරිසක් (12දා) මහියංගණ නගරයේදී මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළහ.
රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු සභාපති හා හිටපු ලේකම් පූජ්‍ය අළුකැටියාවේ සීලවංස හිමියෝ එහිදී මෙසේ පැවසුහ.
“තැබෑරුම් වලට එරෙහිව මහජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පසුගිය කාලේ හඩ නඟපු අපට අද කෝට් 100ක් වන්දි ඉල්ලා සජබ මහලේකම් නඩුවක් දාලා තියෙනවා.. තැබෑරුම් විරෝධයට ඒ අය සහයෝගය දිය යුතු වුවත් රට හදන්න වනවා කියන රාජ්‍ය නායකයාගේ ප්‍රධාන ලේකම් මහා සංඝරත්නය බය කරන්න නඩු දාලා තියෙනවා.,
මේ නඩුවේ ඒකායන අරමුණ ස්වාමීන් වහන්සේලා බය කරලා අනාගතයේ දුරාචාර සම්පන්න කසිප්පු තැබෑරුම් වලින් මේ රට විනාශ කිර්මයි. තමන් ළඟ හැමදාම ඉන්න තමන්ගේ ආරක්ෂක නිලධාර්යගේ බිරිඳුගේ නමින් “බාර් පර්මිට් ” ගන්න කොට විපක්ෂ නායක තුමාගේ මහ ලේකම්තුමාට පේන්නේ නෑ. ඔබ මේ වගේ වැඩ කරනකොට මීටත් අප කීර්තියක් වනවා කියලා එපා කියලා කියන්ඩ ඕනැ. හැබැයි එයාට කියන්නේ නැතිව ස්වාමීන් වහන්සේලාට තැබෑරුමට විරුද්ධ වුණා කියලා වෙනත් වචන ටිකක් පාවිච්චි කරලා අපහාස වුණා කියලා නඩු දාන්න තමයි එතුමාට පුළුවන්.මෙච්චර මුදලක් ඉල්ලන්නෙත් බුද්ධ පූජාවෙනුත් හූරාගෙන කන්න හොරාකන්න බලාගෙන ඉන්න පිරිස. බෞද්ධ නායකත්වයට, ප්‍රගතිශීලී සංවිධානවලට අවධාරණය කරනවා ඔබතුමාලා මේකට පෙනී සිටින්න.
ඔය බාර් එක දාපු නෝනා වෙන කව්රුත් නෙවෙයි පසුගිය වතාවේ ප්‍රාදේශීය සභාවට සජබෙන් බිඛිල අපේක්ෂිකාවක් විදියට සජබ මහලේකම්වරයාගේ අත්සනින් පත් කරපු කෙනෙක්. ඒ වගේ කෙනෙකුට හැබෑරුමක් දාන්න තරම් කෝටි ගණන් සල්ලි කොහෙන්ද.
ලංකාවේ දුප්පත්ම ප්‍රදේශ තවදුරටත් දුප්පත් කරවන මේ තැබෑරුමි වලට මහා සංඝ රත්නය විරුද්ධවීම වරදක්ද? සදාචාර සුරකින්න කථා කරන ස්වාමීන් වහන්සේලා ඉදිරියේ තැබෑරුම් 07ක් දාන්න හදද්දී ස්වාමීන් වහන්සේලා විරුද්ධවීම වරදක්ද කියලා අපි අහනවා.
මේ පිළිබඳව කථා කරන්න අපි සජිත් මහත්තයා හම්බ වෙන්නත් ගියා. අපි මේ පිළිබඳව විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේදී එතුමා සමග සාකච්ඡා කිරීමෙන් අනතුර ප්‍රකාශයක් සිදු කළා. ලංකාවේ දේශපාලකයෝ වැලි බලපත්‍ර, සුරසැල් බලපත්‍ර තමන්ගේ නමින් නොගෙන තමන්ගේ ගජ මිතුරු නමින් ගැනීම සම්ප්‍රදායක්.”
(උපුටා ගැනීම අවසන්)
මෙය අධිකරණයක පවතින්නා වූ නඩු කටයුත්තක් බැවින් අපට අදහස ප්‍රකාශ කළ හැක්කේ සීමිත වශයෙනි. එසේ වුව ද අප විසින් අවධානයට ගත යුතු කාරණා කීපයක් ඇත.
1.මේ ලක් දෙරණ සම්බුදු රජුන්ගේ ධර්මයට පටහැනිව යමෙක් දූෂිත භාවයට පත් කිරීමට උත්සාහ කරන්නේ නම් එය වැළැක්වීම පිණිස භික්ෂූන් වහන්සේලට අනුශාසනා කිරීමට සහ එම සම්බුද්ධ ශාසන විරෝධී ක්‍රියාවන්ට එරෙහි වීමට බෞද්ධ කුල ජනතාවට හිමි කමක් ඇත.
- සුරා සැල් ඇති කිරීම සම්බුද්ධ ශාසන විරෝධී ය. තථාගත දේශනාවට පටහැනි ය. සුරාවට යොමු වූ පුද්ගලයා දෙලොව ම පිරිහීමට හේතු ය.
මංගල සූත්‍රයේ එක් මංගල කාරණයක් වන්නේ සුරාවෙන් වැලකීම ය.
“මජ‍්ජපානා ච සඤ‍්ඤමො” යනු මංගල සූත්‍රයේ සම්බුදු වදන ය. මද්‍ය පානයෙන් වැළකීම මංගල කරුණක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. .
මංගල සූත්‍රයට අරුත් කියන අටුවාවෙහි
මජ‍්ජපානා ච සඤ‍්ඤමො යන වදන විස්තර කර ඇත්තේ මෙසේ ය.
“මජ‍්ජපානා ච සංයමො නාම පුබ‍්බෙ වුත‍්තසුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණියාවෙතං අධිවචනං. යස‍්මා පන මජ‍්ජපායී අත්‍ථං න ජානාති, ධම‍්මං න ජානාති, මාතුපි අන‍්තරායං කරොති, පිතු බුද‍්ධපච‍්චෙකබුද‍්ධතථාගතසාවකානම‍්පි අන‍්තරායං කරොති, දිට‍්ඨෙව ධම‍්මෙ ගරහං, සම‍්පරායෙ දුග‍්ගතිං, අපරාපරියායෙ උම‍්මාදඤ‍්ච පාපුණාති. මජ‍්ජපානා පන සංයතො තෙසං දොසානං වූපසමං තබ‍්බිපරීතගුණසම‍්පදඤ‍්ච පාපුණාති. තස‍්මා අයං මජ‍්ජපානා සංයමො “මඞ‍්ගල”න‍්ති වෙදිතබ‍්බො.”
“මජ්ජපානා සංයමො කලින් කියන ලද පරිදි, පමාවට හේතුවන, මත්බව ඇති කරන, පෙරන ලද හෝ පැසවන ලද සුරා පානයෙන් වැළකීම යන්නට සමාන වචනයකි. එසේ මත්වන තැනැත්තා වැටහීමක්, අරුතක් නොදනී. දහම – හොඳ නරක නොදනී. මවට අනතුරක් කරයි. පියාට, බුදු, පසේ බුදු, තථාගත සව්වනටද අනතුරක් කරයි. මේ ජීවිත කාලය තුල ගැරහීමටත්, මරණින් පසු දුගතියටත් ඇතැම්විට උමතුවටද පැමිණේ. මත්වන දෑ ගැනීමෙන් හෝ පානයෙන් තොර වූ තැනැත්තා එබඳු වරදට පත් නොවන හෙයින්, උසස් ගුණ සමුදායකට පත්වෙයි. එහෙයින් මතින් හික්මීම මංගල යැයි දතයුතුය.”
මද්‍ය පාන යන්නට දැනට ලෝකයේ තිබෙන මත් කාරක සංඛ්‍යාවට යන සියලු මත් ද්‍රව්‍ය අයත් වෙයි.
මේ අටුවා පාඨයේ සිංහල තේරුම ය.
පාලි පාඨය පිට88,89 සාරච්ච සමුච්වය චතුභාණවරට්ඨාකථා හේවාවිතාරණ මුද්‍රණය 1929, පරමත්ථජෝතිකා ඛුද්දක පාඨ අට්ඨකථා පිට 93, 94 හේවාවිතාරණ මුද්‍රණය 1922, සහ සුත්ත නිපාත අට්ඨකථා පිට 261 හේවාවිතාරණ මුද්‍රණය) යන අටුවාලින් දත හැක.
සුරා පානය කරන පුද්ගලයාට ආදීනව දහයක් ඇති බව අටුවාවෙහි දක්වා ඇත.
1.මත්වන තැනැත්තා වැටහීමක්, අරුතක් නොදනී.
- දහම – හොඳ නරක නොදනී.
- මවට අනතුරක් කරයි.
- පියාට අනතුරක් කරයි.
- සම්බුදු රදුන්ට අනතුරක් කරයි.
- පසේ බුදුරදුන්ට අනතුරක් කරයි,
- තථාගත සව්වනටද අනතුරක් කරයි.
- මේ ජීවිත කාලය තුල ගැරහීමට පැමිණේ.
- මරණින් පසු දුගතිය පැමිණේ.
- ඇතැම්විට උමතුවටද පැමිණේ.
අද අප ඉහත ප්‍රවෘත්තියෙන් අත් දකින්නේ මේ ආදිනවයන් නොවේ ද?
මද්‍ය සාරයන්හි සහ සියලු යහපතෙහි අරුත නොම දනී.
දහමෙහි හොඳ නරක දැක නැත.
පාප ක්‍රියාවන් කිරීමෙන් වැදූ මව්ට අනතුරක් කරයි. ඇතැම් බේබද්දන් මවුට බැණ වැදීම්, පහර දීම, තුවාල කිරීම, මව් සන්තක දේපොළ විනාශ කිරීම්, තම වැදූ දරුවා නොමඟ යෑම නිසා මම් බලවත් චිත්ත පීඩාවට පත් කිරීම, පවුලේ සහෝදරයන් සහෝදරියන් සමඟ අසමගිකම් සහ අඬදබර කර ගැනීමෙන් මව් බලවත් චිත්ත වික්ශෝපයට පත් වීම, තම පවුල අවමානයට පාත්‍ර කිරීම, බේබදු කම නිසා තම දරුවා සමාජ අපචාර,ස්ත්‍රී දූෂණ ක්‍රියා කිරීම, අපරාධ ක්‍රියා කිරීමෙන් නඩු හබ ඇති වීම, පොලිස් හිර කූඩුවේ සිටීමට සිදු වීම, බන්ධනාගාර ගත වීම, හිර දඬුවම් විදීමට සිදු වීම ගේතුවෙන් මව් බලවත් මානසික දුක් පීඩාවලට පත් වීම සහ මව් ඇඬූ කදුලෙන් කාලය ගත කිරීම, බේබදු දරුවාගේ නඩු හබ වලට වියදම් කිරීමට සිදු වීම, ඇතැම් මව්වරු බේබදු දරුවාගේ නඩු පනත් වලට වියදම් කිරීම මුදල් නොමැති විට ණය වීම, පොලියට ණය මුදල් ගැනීම, රන් අභරණ විකිණීම හෝ උගස් කිරීම, ඇතැම් විට ඉඩම් දේපොළ විකිණීමට සිදු වීම, තම දරු පවුලේ සුභ සිද්ධියට තිබෙන ධනය දේපොළ බේබදු දරුවාගේ නඩුහබ වලට වියදම් කිරීමෙන් පවුලේ දියුණුවට බාධා වීම, බේබදු දරුවාගේ විවාහක දරු පවුල අසමඟි වීම, ආර්ථික දරිද්‍රතාවය පත් වීම, තම දරුවාගේ දරුවන්ට (මුණුබුරු මිණිබිරියන්ට), බිරිඳට බේබදු කම නිසා යහපත් ජීවතයකට අවශ්‍ය සියලු පහසුකම් හීන වීම සහ අහිමි වීම නිසා මව් දුකට පත් වීම, මේ සියලු කාරණා නිසා මව් සමාජයේ අවමානයට පාත්‍ර වීම, බේබදු කම නිසා තම මව් ඝාතනය කිරීම, ආදී මහත් වූ කරදර දුක් පීඩා අනතුරු වලට මව් පත් වනවා ඇත. මේ සියලු කරුණුවලට මද්‍යපානය හේතු බැවින් මද්‍යපානය කළ ඕනෑම අයෙක් හට මව් මැරීමාදි ඉහත් ආදීනවයන්ට පත් වීමේ ශක්‍යතාවය කාල වයස් බේදයකින් තොරව වීමට අවකාශ ඇති කරත්.
බේබදු දරුවා නිසා මවට විදීමට සිදු වන සියලු දුක් පීඩා, සිත් තවුල් ජීවිත හානි මව්ට කියන ලද ආකාරයෙන් පියාට ද විදීමට සිදු වෙයි.
මද්‍යසාර පානය කිරීමෙන් සම්බුදු රදුන්ට අනතුරක් කරයි. තථාගතයන් වහසේලා ජීවමානව වැඩවසන කාලවලදී තථාගතයන් වහන්සේලාට අනතුරු කිරීමට උත්සාහ කරයි. තථාගතයන් වහ්නසේගේ සම්බුද්ධ ශාසනයට තථාගතයන් වහන්සේගේ දේශනාවට සුරාපානය කිරීමෙන් මත් වූ මනසින් අන්තරාය කිරීමට පෙළබෙත්. එය ද තථාගතයන් වහන්සේට කරන අනතුරක් වෙනවා ඇත. තථාගතයන් වහන්සේලා ලොව පහල වන්නේ ලෝක සත්වයාට දහම් මඟ පෙන්වීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. ඒ සඳහා සම්බුදුන් වහන්සේලා ත්‍රිවිධ ශාසනය පනවා වදාරත්. එනම් පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය යන තුන් ශාසනයෝ ය. මෙම ත්‍රිවිධ ශාසනයෙහි පර්යාප්ති ශාසනය තථාගතයන් වහන්සේලා විසින් දේශිත ශ්‍රී සද්ධර්මය ය. පර්යාප්ති ශාසන ශ්‍රී සද්ධර්මය තථාගත ශාස්තෘන් වහන්සේ ම බව තථාගතයන් වහන්සේ වදාළහ.
මහා පරිනිර්වාණ සූත්‍රයේ තථාගතයන් වහන්සේ;
“සියා ඛො පනානන්‍ද, තුම‍්හාකං එවමස‍්ස අතීතසත්‍ථුකං පාවචනං, නත්‍ථි නො සත්‍ථාති. න ඛො පනෙතං ආනන්‍ද, එවං දට‍්ඨබ‍්බං. යො ඛො ආනන්‍ද, මයා ධම‍්මො ච විනයො ච දෙසිතො පඤ‍්ඤත‍්තො සො වො මමච‍්චයෙන සත්‍ථා ති.
යනුවෙන් වදාළ සේක.
“අනඳයෙනි, ප්‍රවචනය (පෙළ දහම) ඉකුත් වූ ශාස්තෘහු ඇති එකෙකැ යි ‘අපගේ ශාස්තෘහු නැතැ’ යි තොපට මෙ බඳු සිතක් ඇති විය හැක්කේ ම ය. අනඳයෙනි, එය එසේ දැක්ක යුතු නො වෙයි. අනඳයෙනි, මා විසින් යම් දහමෙකුත් විනයෙකුත් දෙසිණි ද පැණැවිණි ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි.”
යනු එහි සිංහල තේරුම ය.
තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව තථාගත ශ්‍රී සද්ධර්මය ජීවමාන සම්බුදු රජුන් ය. යමෙක් ශ්‍රී සද්ධර්මයට සුරාවෙන් මත් වී අපහාස උපහාස කිරීම තථාගත බුදු රදුන්ට කරන අනතුරක් වනවා ඇත.
එසේම තථාගතයන් වහන්සේ පංච ශීල ප්‍රතිපදාව පනවා වදාළ සේක. එම පඤ්චශීලය ගිහි සෝතාපන්න ආර්ය උතුමන්ගේ නිත්‍ය ශීලය වේ. ප්‍රතජ්ජන පුගුලාගේ නිත්‍ය ශීලය ද වන්නේ පඤ්ච ශීලය ය. පඤ්ච ශීලය තථාගථයන් වහන්සේලා පහල වීමට පෙර පටන් සාදු සම්මත ලෝකවද්‍ය සික පද පහකි. එකී ශීලය නැතිව සුගති භූමිය කිසි සේත් ම පූර්ණය නො කළ හැකි ය. ඒ බව සර්වඥතා ඥානයෙන් දැනවදාළ තථාගතයන් වහන්සේලා පඤ්ච ශීලය පනවා වදාරත්. ඇතැම් අය තථාගතයන් වහන්සේලා පඤ්ච ශීලය වදාළ තැනක් ත්‍රිපිටකයේ නැති බව කියත්. ඒ කියුම් කියන සැම දෙනා ම ථේරවාද ත්‍රිපිටකය මැනවින් නො හදාළ කමේ ඌන බව මිස වෙන යමක් නොවේ.
තථාගතයන් වහන්සේ අඞගුත්තර නිකායේ පඤ්චක නිපාතයෙහි
උපාසක වර්ගයෙහි ගිහි සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ පඤ්ච ශීලය පනවා වදාරන්නේ මෙසේ ය.
“යං කිඤ‍්චි සාරිපුත‍්ත, ජානෙය්‍යාථ ගිහිං ඔදාතවසනං පඤ‍්චසු සික‍්ඛාපදෙසු සංවුතකම‍්මන‍්තං, චතුන‍්නඤ‍්ච ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්ම සුඛවිහාරානං නිකාමලාභිං අකිච‍්ඡලාභිං අකසිරලාභිං, සො ආකඞ‍්ඛමානො අත‍්තනාව අත‍්තානං ව්‍යාකරෙය්‍ය: “ඛීණනිරයොම‍්හි ඛීණතිරච‍්ඡානයොනියො ඛීණපෙත‍්තිවිසයො ඛීණාපායදුග‍්ගතිවිනිපාතො සොතාපන‍්නොහමස‍්මි අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායනො”ති.
කතමෙසු පඤ‍්චසු සික‍්ඛාපදෙසු සංවුතකම‍්මන‍්තො හොති?
ඉධ සාරිපුත‍්ත, අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති. අදින‍්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති. සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති.
ඉමෙසු පඤ‍්චසු සික‍්ඛාපදෙසු සංවුතකම‍්මන‍්තො හොති.”
එම සූත්‍ර පාඨයේ සිංහල තේරුම නම්:-
ශාරිපුත්‍රයෙනි, සුදුවත් හඳනා (පඤ්චශික්‍ෂාපදයෙහි) සංවෘතක්‍රියා ඇති යම් කිසි ගිහියකු මේ අත් බවෙහි=ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති විශුද්ධචිත්තය ඇසුරු කළ සතර ධර්මයන් කැමතිසේ ලබනුවහු නිදුකින් ලබනුවහු විපුල කොට ලබනුවහු දනිවූ ද? හෙතෙම කැමති වනුයේ “ක්‍ෂයකළ නිරය (නිරයගාමිකර්මය) ඇතියෙම් වෙමි. ක්ෂය කළ තිරිසන් යොන් ඇතියෙම් වෙමි. ක්ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි. ක්‍ෂීණ වූ අපාය දුර්ගති විනිපාත ඇතියෙම් වෙමි. අපායට නොවැටෙන සැහැවි ඇතියෙම් මාර්ගනියාමයෙන් නියතයෙම්, සම්බෝධිය (අර්හත්වය) පරායණ කොට ඇතියෙම්, සෝවන් වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ ය.
කවර (පඤ්චශික්‍ෂාපදයෙක් හි) සංවෘත ක්‍රියා ඇතියේ වේ ය යත්:
ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි ආර්යශ්‍රාවක පර පණ නැසීමෙන් වැළකියේ වෙයි. සොරකමින් වැළකියේ වෙයි. කාමයෙහි වදවා හැසිරීමෙන් වැළකියේ වෙයි. බොරු කීමෙන් වැළකියේ වෙයි. මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
මෙ පඤ්චශික්‍ෂාපදයෙහි සංවෘතකර්ම ඇතියේ වෙයි.”
තවද
සංයුත‍්තනිකායෙහි, සළායතනවර්ගයෙහි, මාතුගාමසංයුත‍්තයෙහි අනුරුද‍්ධවග‍්ගයෙහි පඤ්චසීල සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පඤ‍්චහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි: පාණාතිපාතා පටිවිරතො ච හොති, අදින‍්නාදානා පටිවිරතො ච හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො ච හොති, මුසාවාදා පටිවිරතො ච හොති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, පඤ‍්චහි ධම‍්මෙහි සමන‍්නාගතො මාතුගාමො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජතීති”
මෙම සූත්‍රයේ සිංහල තේරුම නම්:-
“මහණෙනි, මේ දහම් පසෙකින් යුතු ස්ත්‍රිය=මාගමකය් බිදීමෙන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: ප්‍රාණ ඝාතයෙන් වැළකුණේ වෙයි. සොර කමෙන් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මදයට පමාදට හේතු වූ රහමෙර පානයෙන් වැලැකුණේ වෙයි මහණෙනි, මේ පස්දහමින් යුත් ස්ත්‍රිය=මාගම කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.”
යනුවෙනි.
මහානාම ශාක්‍යයෝ කෙතෙකින් උපාසක තෙමේ සිල්වත් වේද යනුවෙන් බුදු රදුන් හමුවෙහි විමසූ පැණයකට තථාගතයන් වහන්සේ පිළිතුරු වශයෙන් වදාළේ;
“කිත‍්තාවතා පන භන‍්තෙ, උපාසකො සීලවා හොතීති:
යතො ඛො මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති. එත‍්තාවතා ඛො මහානාම, උපාසකො සීලවා හොතීති.”
(අඞ‍්ගුත‍්තරනිකාය, ගහපතිවර්ගය
අට‍්ඨකනිපාත ප්‍රථම පණ‍්ණාසකය)
යනුවෙනි. සූත්‍ර පාඨයේ සිංහල අර්ථය නම්:-
“වහන්ස, කො පමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ ද:
මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පර පණ නැසීමෙන් වැළකුණේ වේ ද, අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ වේ ද, මුසවාදයෙන් වැළැකුණේ වේ ද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේ ද, මහානාමය, මෙපමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ.”
මේ ආකාරයෙන් ම ආර්ය ජීවක වෛද්‍ය තුමා විසින් විමසූ පැණයට ද භාග්‍යවතින් වහන්සේ වදාළ පිළිතුරු දේශනාව ජීවක සූත්‍රයේ තිබේ.
තවද අඞගුත්තර නිකායෙහි
රාජ සූත්‍රය, සාරජ්‌ජ සූත්‍රය, විසාරද සූත්‍රය
නිරය සූත්‍රය යන සූත්‍රවල පන්සිල් රැකීමේ ආනිසංස සහ නො රැකීමේ ආදීනව දක්වා තථාගතයන් වහන්සේ විසින් වදාරන් ලද සූත්‍ර කීපයකි.
ඛුද්දක නිකායෙහි, අපදාන පාලියෙහි
පඤ‍්චසීලසමාදානියත්ථේරාපදානයෙහි පඤ්ච ශීලය රැකීමෙන් ලත් ආනිසංස දක්වා අති සූත්‍රයකි.
තවද
දීඝ නිකායෙහි (පාටික වර්ගයෙහි) ආටානාටිය සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ විසින්, පඤ්ච සික්ෂාපදයන්වලින් දෙවි මිනිසුන්ට හික්මීම පිණිස දහම් දෙසන ලද බව ස්ථීර ලෙසම තහවුරු කර ඇත. ධතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවන යන සතර මහා දෙව් රජවරු සහිත තත් දෙව් රජවරුන්ගේ සේනා පර්ෂද් තථාගතයන් වහ්න්සේ හමුවට පැමිණ, තථාගතයන් වහන්සේව නුරුස්සන අප්‍රස්න්න, මහත් වූ ද මධ්‍යම වූද පහත් වූ ද අමනුෂ්‍යයන් ඇති බවත් එයට හේතුව නම් පන්සිල් සුරැකීමට තථාගතයන් වහන්සේ විසින් දහම් දෙසන ලද බවත් ය. තථාගතයන් වහන්සේ අබිමුවෙහි වෛශ්‍රවන සුරිඳුන් විසින් සුභාෂිත කරන ලද ඒ කීම තථාගතයන් වහන්සේ විසින් ද සත්‍ය බවට තුණ්හීභාවයෙන් පිළිගන්නා ලද පමණක් නොව භික්ෂූන වහන්සේලා හමුවෙහි ඒ බව ආටානාටිය සුතුර දෙවන බණවර ලෙස ව්දාරා ස්ථීර කල සේක්.
ආටානාටිය සුතුරෙහි ඒ බව වදාරා ඇත්තේ මෙසේ ය.
“යෙභුය්‍යෙන ඛො පන භන‍්තෙ, යක‍්ඛා අප‍්පසන‍්නා යෙව භගවතො. තං කිස‍්ස හෙතු: භගවා හි භන‍්තෙ, පාණාතිපාතා වෙරමණියා ධම‍්මං දෙසෙති, අදින‍්නාදානා වෙරමණියා ධම‍්මං දෙසෙති, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණියා ධම‍්මං දෙසෙති, මුසාවාදා වෙරමණියා ධම‍්මං දෙසෙති, සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨානා වෙරමණියා ධම‍්මං දෙසෙති.”
“වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නො පෑදුණෝ ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පර පණ නැසීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, සොරකමින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, මුසවාදයෙන් වළක්නා පිණිස දහම් දෙසන සේක, මත්බවට හා පමාවට කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක.”
දීඝ නිකායට අරුත් කියන සුමඞගල විලාසිනී අටුවාවෙහි පඤ්ච සික්ෂාපදයන්ට මෙසේ අරුත් කියයි.
“පාණාතිපාතා වෙරමණියාති පාණාතිපාතෙ දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකං ආදීනවං දස‍්සෙත්‍වා තතො වෙරමණියා ධම‍්මං දෙසෙති. සෙසෙසුපි එසෙව නයො.”
සිංහල තේරුම නම්:-
“පාණාතිපාතා වෙරමණියා – ප්‍රාණඝාතයෙහි මෙලොව පරලොව ආදීනව දක්වා එයින් වෙන්වීමට දහම් දෙසයි. සෙස්සෙහි ද මෙම නයයි”
තවත් පන්සිල් පිළිබඳව වදාළ සූත්‍ර තිපිටකයෙහි ඇත.
ඉහතින් දැක්වූ සියලු සූත්‍රවල සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති. යනුවෙන් මද්‍යපානයෙන් වැළකීම තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද බැවින් තථාගත බුදු වදනට එරෙහි ම යාම තථාගත බුදු රජුන්ට අනතුරු කිරීමක් ද වනවා ඇත. මද්‍ය සාර ප්‍රවර්ධනය කිරීම, විකිණීම ද තථාගතයන් වහන්සේගේ දේශනාවට පටහැනිය. පඤ්ච වනිජ්ජා සූත්‍රයේ නො කට යුතු වෙළදාම් පස අතුරින් මද්‍ය වෙළඳාම ද අයත් ය. යමෙක් මද්‍ය වෙළඳාම කරන්නේ ද ඒ තථාගත දේශනාව බැහැර කොට අනාදර කිරීමෙනි. බුදුරදුන්ගේ දේශනාව බැහැර කර කියන කරන යමක් වේද එමගින් ආර්ය උපවාද කර්මය ද සිද්ධ වේ.
මද්‍යපාන කරන පුද්ගලයන් මද්‍ය පානය කරන පුද්ගලයන් සමඟ සමාන සංවාස හෙවත් ඇසුර, පයිරුපාසනය, කරන බව සහ මද්‍යපානය නොකරන අය මද්‍යපානය නොකරන පුද්ගලයන් සමඟ සැසැඳෙන බවත් එකතු වන බව්ත් පඤ‍්චසික‍්ඛාපද සුත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළහ.
“සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨායිනො සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨායීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.”
“සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්තීති.”
සිංහල තේරුම:-
“පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.”
“පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවන් සමග සැසැඳෙති, එකතු වෙතී යි.”
මද්‍යපානය කරන්නා පසේ බුදුවරුන්ට අනතුරු කරයි. පෙර අප මහ බෝසතාණෝ මනුලොව ශුද්‍ර කුලයක ඉපිද අප්‍රකටව අප්‍රසිද්ධව මුනාලි නම් ධූර්තව (මද්‍යපානය කරන්නෙකුව) සිට මහානුභාවසම්පන්න මහත් සෘද්ධිමත් සුරභි නම් පසේ බුදු රදුන්ට මේ ශ්‍රමණයා දුශ්ශීලයැක, පාපාධර්මයක යැයි දෝෂාරෝපණය කළේ ය. මේ පාප කර්මයාගේ බලයෙන් නිරයෙහි වර්ෂ සිය දහස් ගණන් දුක් විඳ නොයෙක් දුක්ඛිත බව සිය දහස් ගණන් දුක් අනුභව කොට පෙරූ දස පාරමිතා බලයෙන් සම්මා සම්බෝධියට පත්ව තථාගතයන් වහන්සේට පෙර කියන ලද පාප කර්මයාගේ අවශේෂ කර්ම විපාක බලයෙන්, චිඤ්චි මානවිකාවගෙන් සහ
සුන්දරී නම් එක් පරිව්‍රාජිකාවක අරභයා අවස්ථා දෙකකදී අපහාසයනට නින්දාවන්ට පත් වීමට සිදු වූහ. නියත විවරණ ලත් මහ බෝසතණෝ පවා මද්‍ය පානය කිරීමෙන් වූ මුලා බවින් පසේ බුදු රජුන්ට අනතුරු කළහ. සාමාන්‍ය පෘතජ්ජන වූවන් ගැන කියනුම කවරේ ද?
මේ ලංකා රාජ්‍ය සම්බුදු රදුන්ට පූජා වී ඇත. සම්බුද්ධ ශාසනය රැකීමට නීතියෙන් ද බැඳී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවට වූ පැනවීමකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් දිවුරුම් දෙන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවට වූ දිවුරුම දීම මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්බුද්ධ ශාසනය සුරකීමට නිරායාශයෙන් බැදීමකට ලක් වේ. සුරා සැල් ඇති කිරීම සම්බුද්ධ ශාසනයට පැටහැනි ය. සුරාව ජනගත කිරීම ද සම්බුදු රදුන්ට කරන ද්‍රෝහී කමකි. සම්බුදු රජුන්ගේ ත්‍රිවිධ ශාසනයට කරන අන්තරායයකි. බෞද්ධ කුලයේ විනාශයට කරන උත්සාහයකි. බේබදු ජනතාවක් ඇති කොට කුසල බලයෙන් පිරිහුණු මුලාවෙන් මත් වූ ජන සමාජයක් ඇති කිරීමට ගන්නා සියලු වෑයම් ව්‍යර්ථ කිරීමට, සම්බුදු රදුන්ගේ ශාවක වූ පැවිදි භික්ෂූන් වහන්සේලා සහ ගිහි උවසු උවසි සියලු දෙනා විසින් ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගැනීමට කිසිවකුත් පසුබට නො විය යුතු කාලය එළඹි ඇති බව පැහැදිලි ය. ප්‍රමාදය සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්මට බාධා ගෙන එන වබ ඒකාන්ත ය.
ලංකා භූමිය සම්බුදු රදුන් සන්තක බවට සාක්ෂි බවට අපි විසින් පෙර ලියූ ලිපිය ද මෙහි දක්වමු.
ලංකා භූමිය ජීවමාන සම්බුදු රදුන්ට පූජා කර ඇත. එසෙම පූජාව සම්බුදු රජුන් විසින් එකී පූජාව පිළිගැනීම් වශයෙන් ඉවසා වදාරා ඇත. මහා වංශයේ පළමුවෙනි පරිච්ඡේදය 26, 27, 28 ගාථා මෙකී පූජාවට සාක්ෂි වෙනවා ඇත.
දෙවනුව දේවානම් පියතිස්ස මහීපාලයන් විසින් බුද්ධගයා මහ බොධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලංකාද්වීපයට වැඩමවා වදාළ දින, ලංකා රාජ්‍යයෙන් දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ පුදන ලදී. එකී පූජව මහා වංශයේ 19 වෙනි පරිචේදයේ 30,31,ගාථා මෙකී පූජාවට සාක්ෂි වනවා ඇත.
තෙවනුව දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත.
මහා වංශ 19 පරිච්ඡේද්‍ය 58වෙනි ගාථාව මෙකී පූජාවට සාක්ෂි වනවා ඇත. සමන්ත්තපාසාදිකා විනය අටුවාවෙහි ද මෙකී පූජාව පිළිබදව සඳහන් වේ.
මේ සම්බන්ධව අප විසින් ලියන ලද ලිපියක කොටසක් පහතින් උපුටා දක්වමු.
“ලංකා භූමියේ, ලංකා රාජ්‍යයයේ හිමිකම බුදු රදුන් සන්තක යි. එම හිමි කම දෙයාකාරයකින් සිදු වී ඇත. තථාගත බුදු රදුන්ගේ පළමුවන ලංකාගමනය යක්ෂයන් දමනය කිරීමට,
මහියංගනයට වැඩි අවස්‍ථාවේ බුදු රදුන් විසින් “යක්ෂයෙනි ඔබගේ භය සහ දුක් මම පහ කරන්නෙමි. තොපි සමඟිවව. මෙතැන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නො දෙන්නහු ද?” යි යක්ෂයන්ගෙන් විමසා වදාරන ලදී.”
“එවිට එම යක්ෂයෝ ” නිදුකානෙනි නුඹ වහන්සේට මෙම සියලු ම ලක් දිව දෙම්හ.අපට අභය දුන මැනවැ” යි ඒ යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ. බුදුරදානෝ එකී පිදීම පිළිගෙන මහියංගන චේතිය බිමෙහි වැඩ වදාළ සේක. ඒ ප්‍රථමයෙන් ම ලංකා භූමිය සම්බුදු රදුන්ට පූජා වූ අවස්ථාව සහ
ආකාරය ය. (මහා වංශය පළමුවෙනි පරිච්ඡේදය 26, 27, 28 ගාථා)”
“තථාගත බුදු රදුන් පිරිනිවන් පෑමෙන් වසර දෙසිය සතිසක් ඉකුත් වූ තැනේදී අනුබුදු මහ මිහිඳු මහ අරහතුන් වහන්සේ ප්‍රධාන කොට මහ අරහත් සඟ පිරිස විසින් ලංකාද්වීපයේ බුදු සසුන පිහිටවා වදාළහ. අනතුරුව මහ මිහිඳු මහ අරහතුන් වහන්සේගේ ඇරයුම පරිදි සඟමිත් මහරහත් මෙහෙණින් වහන්සේ විසින්, තථාගත බුදුරදුන් පිට දී වදාරන ලද, ජය ශ්‍රී මහ බොධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කොට වදාරන ලදහ. ඒ අවස්‍ථාවෙහි දේවානම් පියතිස්ස නරේන්ද්‍රයානන් විසින් ලංකා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ පුදන ලදී. ඒ බැව් මහාවංශයේ 19 වෙනි පරිචේදයේ 30,31,ගාථාවන්හි දක්වත්.
” සමුද්දතීරේ මහාබෝධිං ඨපෙත්වා තීනි දිවසානි සකලතම්බපණ්ණිදීපෙ රජ්ජේන පූජේසි” යනුවෙන් ද සමන්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි ද කීහු.
එය ලංකා රාජ්‍ය දෙවන වරට බුදු රදුනට පිදුනු අවස්ථව ය.”
එකී පූජාව බල සහිත ය. දේව, යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, දිව්‍ය නාග, සුපර්ණ, රාක්ෂ, අසුර,මාර ,භූතාදී කිසිම අයෙක් මෙම පූජාවට, ලංකා රාජ්‍යයේ අයිතිවාසිකම් කියා විරෝධීව පෙනී
නො සිටියහ.
මෙයට අමතරව ද යමක් කිව යුතු ය. ලංකා භූමියේ දෙවියන්ගෙ අඩවි තිබනවාලු; අසවල් අසවල් දෙවියන් උදෙසා මේ මේ සීමාවෙන් සීමාවට ඒ ඒ දෙවියන්ට අයිතිලු, අනේ අපොයි ! බුදු රදුන් සන්තකව පූජා වී ඇති ලංකා භූමියේ කෙසේ නම් දෙවියන් උදෙසා තෝම්බු අයිතිවාසිකම් තියෙනවා කියන්නේ! මේ ලංකා භූමියේ කිසිදු දෙවියෙකුට දේවාලයකට, කෝවිලකට අඩවි අයිතිවාසිකම් නැත; හිමි කම් නැත.
අනුරාධපුර මහමෙවුනාවෙහි වැඩ වසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, බුදු රදුන් උදෙසා වූ ලංකා රාජ්‍ය පිදූ පූජාවට කාය ශාක්ෂි වශයෙන් ශාක්ෂි දරන්නාහ.
මේ ලංකා රාජ්‍යයේ සියලු අයිතිවාසිකම් බුදු රදුන් සන්තකව සම්බුද්ධ ශාසන සන්තකව දරන්නා හ.
දේවානම් පියතිස්ස නිරිඳුන් විසින් අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේලා විෂයෙහි ද රාජ්‍ය සේසතෙන් පුදා ඇත.
මහා වංශ 19 පරිච්ඡේද්‍ය 58වෙනි ගාථාව සහ සමන්ත්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි ” රාජා තං අච්ඡරියං දිස්වා අට්ඨ තරුණබෝධිරුක්ඛෙ සේතච්ඡත්තේන පූජෙත්වා අභිසේකං අදාසි” ” දේවානම් පියයතිස්ස නිරිඳු තරුණ බෝරුක් අටෙහි ඓශ්චර්‍ය්‍ය් දැක සේසතින් අභිසේඛ කොට පූජා කෙළේ ය.”යනුවෙන් දක්වත්.
ලංකාද්වීපය නිරවුල් ලෙස සම්බුද්ධ ශාසනය පූජා වී ඇති බැවින් රට වැසියන්ගේ කුශලාර්ථය සුරැකෙන ලෙස රටේ පාලනය පැවතිය යුතුය. මෙකී අයිතිය උල්ලංඝනය කිරීමට කිසිවෙකුටත් ම හිමි කමක් නැත; පාලනය කරන පුද්ගලයාට හෝ පිරිසට මේ රටේ අත්තනෝමතියක් කළ නො හැක. හිමිකම බුදු රදුන් සන්තක බැවිනි.”