සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට.
සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතබා වනාන්තරවලට ආරාම වලට සීමා කර තිබෙනවා.
නෙත් නාලිකාවේ නිවේදිකාවක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොටුවේ පොඩි හාමුදුරුවෝ කිසිම පැකිළීමකින් තොරව තමන්ට බාර් පර්මිට් එකක් තිබෙන බව පිළිගත්තා.
බුද්ධ ශාසනයට හානි කරන්න කාටවත් බැරි උනත්, විනයක් නැති මෙවන් භික්ෂූන් නිසා ලංකාවේ සංඝ ශාසනයට දැඩි ලෙස හානි පැමිණෙන්නට ඉඩතිබෙනවා.
පිරිසක් එක පාදයක් පන්සලේ තබාගෙන අනෙක් පාදය පල්ලියේ තබාගෙන ඉන්නවා. පල්ලියේ පඩි ලැයිස්තුවේත් ඔවුන් නොසිටියහොත්, එයත් පුදුමයට කරුණක්. තව පිරිසක් ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමික අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා.
උදැල්ලට මිටක් නැත්නම් උදලුතලයෙන් වැඩක් ගන්න බෑ. සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදළුතලයයි මිටයි වගේ. අපේ මුතුන් මිත්තන් වැවයි දාගැබයි සංස්කෘතිය හරහා රට ස්වයංපෝෂිත කළේ සහලින් පමණක් නොවෙයි. වැව් අමුණු සොරොව් තනද්දී, කුඹුරේ ලියැද්දේ වී ඇට ඉසිද්දී, ඒ අසලින්ම ආධ්‍යාත්මික ගුණාංගද වගා කළා.
අස්වැන්න නෙලුවේ කුඹුරේ පමණක් නොවෙයි. මනසේ පීදුණු “ගොයමින්ද” ස්වයංපෝෂිත වී සිටියා. කයින් කුඩා වුවත් මනසින් යෝධයින් වී සිටියා. පිරිහුණු දේශපාලනය කොතරම් දුර ගියාද කිවහොත්, ලෝකයේ වැඩිම ණය බරිත රට ශ්‍රී ලංකාව බවට පත් කළා.
අධම දේශපාලකයින් සොරා ගත්තේ රටේ ධනය පමණක් නොවේ. මිනිසුන් තුළ තිබුණු විනය, දැහැමි බව, සත්‍යගරුක බව, ආත්ම අභිමානය මේ හැම දෙයක්ම සොරාගනු ලැබුවා. අද මිනිසුන් අසන ප්රශ්නය, අපට රැක ගන්නට කියා තවත් දෙයක් ඉතුරු වී ඇද්ද යන්න්යි.
බංකොළොත් බව ආර්ථිකයට පමණක් සීමා වුණි නම්, එය නිවැරදි කරගත් විට අපට හිටපු තැනට යන්නට හැකියාව තිබුණා.
අහිමි කළ අභිමානය තුළ අතරමං වෙනවා හැර වෙන යා යුතු මඟක් පේන තෙක් මානයේවත් නැත.
එහෙත් නිවැරදි නායකත්වයක් තුළින් අපට අහිමි වූ දෙයටත් වඩා බොහෝදේවල් නැවත දිනාගන්න පුළුවන් බව නිසැකවම කිව හැකියි.
(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
28.08.2024