ලංකාදීප වෙබ් පිටුවෙන් (online)ඉහත ඡායාරූපය සහ ප්‍රවෘත්තිය උපුටා ගන්නා ලදී.
ආරියතිලක
2024.08.29
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව කියමින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අභියස ප්‍රාණඝාත අකුසලය කරන බවට දිවුරුම් ගැනීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් ප්‍රතිඥා දීම යනු සම්බුදු රදුන්ගේ අභිප්‍රායට පටහැනිව යාමක් බව කිව යුතුයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 2020 නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම පිළිබඳව විමසා බැලීම වටී. 2020 අගෝස්තු 12 වෙනි දින ශ්‍රී දළදා මාලළිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු වුණි.
දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලයෙහි ධීවර ආමත්‍ය ධූරය සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධූරය ද විය. එදින එම ආමාත්‍ය ධූරවල ද දිවුරුම් දීම සිදු විය.
අද දවසේ සජිත් පේමදාස විපක්ෂ නායකවරයා ජනාධිපති අපේක්ෂකවරයෙකු වශයෙන් තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී දළදා වහන්සේ හමුවෙහි පූජා කර බව මාධ්‍යයෙහි දකින්නට ලැබිණි. එකී ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ධීවර හා ජලජ සම්පත් තේමාව යටතේ මසුන් මැරීමට අවශ්‍ය උපාය මාර්ගික කටයුතු සහ ඒ සඳහා ආධාර අනුබල දීම දක්වා ඇති බැවින් දළදා වහන්සේ හමුවෙහි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියන්නේ රටේ පාලකයා වී ප්‍රාණඝාතය කරන බව ය. ප්‍රාණඝාතය කරවන බව ය. ප්‍රාණඝාතයට රට වැසියා යොමු කරන බව ය. රට වැසියාට ප්‍රාණඝාතයට පහසු කම් සලසා දෙන බව ය. ප්‍රාණඝාතය කරන කරවන බවට තථාගත බුදුරජුන් හමුවෙහි සපථ කළ බව ය. මේ කරුණ සම්බුදු රජුන්ගේ ශ්‍රී දළදා වහන්සේ අභිමුව මෙසේ කිරීම ශ්‍රී දළදා වහන්සේට කළ සම්බුද්ධ ශාසනයට කළ අපහාසයක් නොවන්නේ ද?
අප විසින් ලියන ලද මාධ්‍යයෙහි පළ වී ඇති ලිපියක කොටසක් පහතින් මෙයට අදාළ බැවින් උපුටා දකවමු. එනම්:-
“තථාගත සම්බුදු රදුන්ගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව, තථාගත බුදු රදුන් උදෙසා ම පූජා වී ඇති ශුද්ධ භූමියකි. දළදා මාළිගාව තථාගත සම්බුදු රදුන් සන්තක ය. සම්බුද්ධ ශාසන සන්තක ය. සම්බුද්ධ ශාසන සන්තක භූමි, සිද්ධස්ථාන, පැවතිය යුත්තේ සම්බුදු රදුන්ගේ අභිප්‍රාය පිණිස ම ය. සම්බුදු රදුන්ගේ අභිප්‍රායෙන් බාහිරව, කිසිදු කටයුත්තක් ශාසන සන්තක භූමි තුල පැවතීමට ඉඩක් නැත. පැවැත්වීමට ඉඩක් නැත.
තථාගත සම්බුදු රදුන්ගේ අභිප්‍රාය පිළිබඳව, ත්‍රිපිටක ගත ධර්ම විනය අනුව පහත පරිදි කැටි කර දැක්වීම තථගතයන් වහන්සේගේ දේශනාවට පටහැනි නො වන බව අපගේ අදහස ය. එනම්-
” දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුඤ්ඤ ක්‍රියා සහ ශීල, සමාධි, පඤ්ඤා යන ත්‍රී ශික්ෂා යන සයාකාර ධර්ම දෙවි, මිනිසුන් වෙත එළවීමත්, එකී ධර්ම දෙවි මිනිසුන්ගේ චිත්ත සන්තානවල වඩවා ඒ තුලින් සත්වයා අපායෙන් මුදවා සුගතියට පැමිණවීම ත්, සසර ගමන නවතා නිවන් අවබෝධය කරවීම ත් පිණිස ය.”
බුද්ධ සන්තක බුදධ භූමියක් තුල බුදු රදුන්ගේ අභිප්‍රායට පිටින්, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජවෙහි කිසිවෙකුටත් ම ක්‍රියා කිරීමට, පැවතීමට ඉඩක් නැත;
යමෙක් තථගත දේශනාවට අනනුකූලව, තථාගතයන් වහන්සේගේ අභිප්‍රායට බාහිරව, කායික, වාචසික, මානසික, ක්‍රියා පවත්වන්නේ ද ආර්ය උපවාද කර්මය ද කර ගනී.
ආර්ය උපවාද කර්මය ආනන්තරිය පාප කර්මය හා සමාන අකුසල කර්මයකි.
සම්බුදු රදහු මිච‍්ඡා දිට‍්ඨිකම‍්ම සමාදාන සුත්‍රයෙහි
“දිට‍්ඨා මයා භික‍්ඛවෙ සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා, අරියානං උපවාදකා, මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා.”
(ඛුද‍්දක නිකාය ඉතිවුත‍්තක පාළි, තික නිපාතො, තතිය වර්ගය- )
යනුවෙන් වදාළහ.
“මහණෙනි, කායදුශ්චරිතයෙන් යුක්ත වූ වාග්දුශ්චරිතයෙන් යුක්ත වූ මනෝදුශ්චරිතයෙන් යුක්ත වූ ආර්යයන්ට (බොරුවෙන්) චෝදනා කරන්නා වූ මිත්‍යාදෘෂ්ටික වූ මිත්‍යාදෘෂ්ටි හේතුවෙන් දැඩි කොට ගත් කර්ම ඇති සත්වයෝ මා විසින් දක්නා ලදහ. ඔවුහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව වැටීම් ඇති නිරයෙහි උපදින්නාහු ය.”
යනු එහි තේරුම ය.
බුදු රදුන් විසින් , කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිත, පිළිබඳව වදාරා නැවත් ආර්ය උපවාදය පිළිබඳව වදාරන ලද්දේ එතරම් ම එය බරපතල බැවිනි.
බුදු රදුන් අන්‍ය ඇතැම් සූත්‍රවල ද මේ සම්බන්ධව වදාරා ඇත.
ආර්ය උපවාදය යනු බුද්ධාදී ආර්ය උතුමන්ට විරුද්ධව දෙවන මතයක් දැරීම ය. (උප+වාද හෙවත් උපවාද ) උප යන උපසර්ග පදය නාමයකට හෝ ධාතුවකට යෙදීමෙන්, සාමන්‍ය තේරුම ගත කළ මුල් ස්වරූපයට වෙනස් වූ දෙවෙනි වූ , එසේත් නැතින්ම් මුල් ස්වරූපයෙන් බාහිර ආසන්න වූ යන අරුත් ගෙන දේ. වාදය යනු වචනය, මතය යන තේරුම ය.
මෙහි ආර්ය උපවාද යනු බුදු රදුන් ඇතුළු ආර්ය උතුමන්ගේ මතයට දෙවෙනි මතයක් ගැනීම, ඒ මතය මත පිහිටා වචන කීම, ආර්ය උපවාද කර්මය සිද්ධ වේ.
මේ සූත්‍රයට අරුත කියන පරමත්ථ දීපනී අටුවාවෙහි ආර්ය උපවාද කර්ම විස්තර කර ඇත්තේ මෙසේය.
“අරියානං උපවාදකාති බුද‍්ධාදීනං අරියානං අන‍්තමසො ගිහිසොතාපන‍්නානම‍්පි ගුණපරිධංසනෙන අභූතබ‍්භක‍්ඛානෙන උපවාදකා අක‍්කොසකා ගරහකා.”
“අරියානං උපවාදකා යනු බුද්ධාදී ආර්යයන්ට යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහි අයට ද ගුණ නැසීමෙන් බොරු චෝදනා කිරීමෙන්, දොස් කියන්නා වූ ආක්‍රෝශ කරන්නා වූ ගරහන්නා වූ සත්ත්වයෝ.” යි
යනු එහි තේරුම ය.
වචනයෙන් ද සිතින් ද දුෂ්චරිත වීම සහ මිච්ඡාදිට්ඨික බවින් යුතු වීම ම බුදු රදුන් ඇතුළු ආර්යයන්ට විරුද්ධ වීම බැවින් ආර්ය උපවාද කර්මය සිද්ධ වේ. එය ඉතා බරපතල ආනන්තරිය පාප කරමයක් හා සමාන අකුසලයක් බව තත් අටුවාව විස්තර කරන්නේ මෙසේය.
“එත්ථ ච වචීමනොදුච‍්චරිතග‍්ගහණෙනෙව අරියූපවාදමිච‍්ඡාදිට‍්ඨීසු ගහිතාසු පුනවචනං මහාසාවජ‍්ජභාවදස‍්සනත්‍ථං නෙසං. මහාසාවජ‍්ජො හි අරියූපවාදො ආනන‍්තරියසදිසො
“මෙහි වචී-මනෝ දුශ්චරිත ගැනීමෙන් ම අරියූපවාදය, මිථ්‍යා දෘෂ්ටිය ද ගත්කල්හි ද එම (අරියූපවාද ආදිය සිදු වේ.) නැවත කීම (ඒවා) මහාසාවද්‍ය බව දැක්වීම පිණිසය. ඒවා අතරින් ආර්ය උපවාදය මහාසාවද්‍යය ආනන්තරිය සමානය. “
යනු එහි තේරුමය.
ශ්‍රී දළදා මාළිගාවෙහි, සම්බුදු රදුන් සන්තක බුද්ධ භූමියෙහි ප්‍රාණඝාතය කිරීමට ප්‍රතිඥා දීම පුදුම සහගතය. තථාගත බුදු රදුන්ගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අමතක වූ සෙයකි.
තථාගත ශාරීරික ධාතුන් වහන්සේ ජීවමාන සම්බුදු රදුන් ම බව, සමනතපාසාදිකා විනය අටුවාවෙහි දක්වා ඇත. මහ මහිඳු මහරතුන් වහන්සේ සහ දේවානම්පිය තිස්ස මහ රජුන් අතර ඇති වූ සංවාදය අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය-
“අථායස‍්මා මහාමහින්‍දො වුත්‍ථවස‍්සො පවාරෙත්‍වා කත‍්තිකපුණ‍්ණමායං උපොසථදිවසෙ රාජානං එතදවොච – “මහාරාජ, අම‍්හෙහි චිරදිට‍්ඨො සම‍්මාසම‍්බුද‍්ධො, අනාථවාසං වසිම‍්හ, ඉච‍්ඡාම මයං ජම‍්බුදීපං ගන‍්තු”න‍්ති. රාජා ආහ – “අහං, භන‍්තෙ, තුම‍්හෙ චතූහි පච‍්චයෙහි උපට‍්ඨහාමි, අයඤ‍්ච මහාජනො තුම‍්හෙ නිස‍්සාය තීසු සරණෙසු පතිට‍්ඨිතො, කස‍්මා තුම‍්හෙ උක‍්කණ‍්ඨිතත්‍ථා”ති? “චිරදිට‍්ඨො නො, මහාරාජ, සම‍්මාසම‍්බුද‍්ධො, අභිවාදනපච‍්චුට‍්ඨානඅඤ‍්ජලිකම‍්මසාමීචිකම‍්මකරණට‍්ඨානං නත්‍ථි, තෙනම‍්හ උක‍්කණ‍්ඨිතා”ති. “නනු, භන‍්තෙ, තුම‍්හෙ අවොචුත්‍ථ – ‘පරිනිබ‍්බුතො සම‍්මාසම‍්බුද‍්ධො’”ති. “කිඤ‍්චාපි, මහාරාජ, පරිනිබ‍්බුතො;”
(හේවාවිතාරණ මුද්‍රණය පිට 48,49)
ඉක්බිති ආයුෂ්මත් මහා මහින්ද මහා ස්ථවිරයන් වහන්සේ වුසූ වස් ඇති සේක් වස් පවරා ඉල්මස මැදි පොහොය දිනයෙහි රජු අමතා ‘මහරජ! අප විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්නා ලද බොහෝකල් ඇත්තාහ. අපි අනාථ වාසයෙන් විසුම්හ, එහෙයින් දඹදිව යන්නට කැමැත්තම්හ’යි කීහ. එකල්හි රජතෙමේ ‘ස්වාමීනි! ඔබවහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරමි, මේ මහජනයාද ඔබ වහන්සේලා නිසා තිසරණයෙහි පිහිටියේය, කුමක් හෙයින් ඔබවහන්සේලා උකටලී වූවහුදැ’යි විචාළේය. ‘මහරජ! අප විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ඈත කල්හි දක්නා ලදහ. අපට උන්වහන්සේට වැඳීමට දැක නැගීසිටීමට ඇඳිලි බැඳීමට සැලකිලි දැක්වීමට තැනක් නැත්තේය, එහෙයින් අපි උකටලී වූම්හ’යි වදාළ සේක. ‘ස්වාමීනි! ඔබවහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවියාහු’යි වදාළාහු නොවහුදැ’යි රජතෙමේ ඇසීය. ‘මහරජ! අප විසින් කියන ලද්ද සත්‍යය, එහෙත් උන්වහන්සේගේ ශාරීරික ධාතුහු ඇත්තාහ’යි වදාළ සේක.
යනු එහි සිංහල තේරුම ය.
මේ විස්තර විවරණය අනුව ජීවමාන බුදුරදුන් වැඩ හිදිනා භූමියෙහි හිදිමින් ප්‍රාණවද කිරීමට දිවුරුම් දීම ආර්ය උපවාදය ඇති කර ගැනීමකි.
ධීවර යන වදනට සම්බන්ධ කිසිවක් මාළුන්ගේ සැප දුක විමසීම පිණිස නො පවතී.
පඤ්ච ශීලයෙහි සහ දස කුසල්වල පළවන සික පදය සිඳීමට බුදු රදුන් සන්තක ශුද්ධ භූමිය යොදා ගැනීම, ලංකා ඉතිහාසයට එක් වූ අවසනාවන්ත සිදු වීමක් බව කිව යුතු ය.”
(උපුටා දැක්වීම නිමයි.)
අනුබුදු මහා මහේන්ද්‍ර මහරහතුන් වහන්සේගේ පියාණන් වූ දීප චක්‍රවර්ති ධර්මාශෝක මහාධිරාජයන් විසින් කරවන ලද, සියලු ප්‍රාණීන්ට වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම අභය දුන් බවට වූ සෙල ලිපි කීපයක සඳහන් කර ඇත; ඒ සෙල්ලිපි අතර ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් අසල කඳුකර ප්‍රදේශයක් වන චෙහෙල් සීනා සෙල් ලිපිය ද, මිරූට් ශිලාස්ථම්භ ලිපිය ද දිල්ලි තෝපාර් ස්තම්භයේ දකුණු පැත්තේ ලිපිය ද සතුන් මැරීම, මස්‍යයන් මැරීම වළකා සත්වයන්ට අභය දුන් බව සඳහන් සෙල් ලිපි වේ. සජල තලජ සත්වයන් නොමැරිය යුතු බවට අණ කළ සෙල් ලිපි ඇත.විශේෂයෙන් ම I වන ගිරි ලිපියෙන් රාජ්‍යයේ සියලු ප්‍රාණීන් (මස්‍යයන් ඇතුලුව) නොමැරිය යුතු බව අඥා කර ඇත.
“මෙහි (මගේ රාජ්‍යය ඇතුලත) කිසිදු ජීවියෙකු ඝාතනය කිරීම හෝ පූජා කිරීම නොකළ යුතුය…”
යනුවෙන් I වන ගිරි ලිපියෙන් ධර්මාශෝක අධිරාජයන් විසින් ආඥා කරන ලදී. මෙහි දක්වා ඇත්තේ එම ගිරි ලිපියෙහි එක් වැකියක් පමණි.
ධෞලි ගිරි ලිපියේ කලිඟු රට තොසලි නම් මහාමාත්‍ය වරයාට සහ නගරගුත්තික ඇමති හට කරන නිවේදනයෙහි මෙසේ ද සඳහන් කර ඇත.
“යුෂ්මත්හු බොහෝ සියදහස් ගණන් ප්‍රාණීන් රක්ෂාවරණය කිරීමෙහි නියුක්ත මුඛ්‍ය මහත්මා කොටසක් ය.”
ලංකා ධරණී තලයෙහි යම්තාක් කල් සම්බුදු සසුන පවතින්නේ ද ලංකා භූමිය පාදක කර ගෙන සම්බුදු දහම මේ වන විට ලෝක ව්‍යාප්තව පවතින්නේ ද ඒ සඳහම් මඟ උපකාරභාවයෙන් පිහිටා ක්‍රියා කරන්නේ ද ඒ තාක් කල් ද, ඒ සඳහම් මඟ ඉවහල් කර ගෙන මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආදී ආර්ය වූ ද ආර්ය මඟට පිළිපන් වීම පිණිස යමෙක් වීර්ය කරන කල්‍යාණ පෘතජ්ජන සත්පුරුෂ වූ ද සැම දෙනාට ම ධර්මාශෝක මහ රජාණන් කිසි ලෙසකින් අමතක නො කළ හැකි ය. එසේ ම දේවානම් පියතිස්ස මහ රජුන් ද කිසි ලෙසකින් අමතක නො කළ හැකි ය.
මේ රටේ රාජ්‍ය පාලනය කරන කරවන කවරෙකුට වුව ද අනාගතයේ රාජ්‍ය පාලනය අපේක්ෂාවෙන් කටයුතු කරන කවරෙකුට වුව ද එ දෙරජුන්ගේ පූර්වාදර්ශය නො තකා තථාගතයන් වහන්සේගේ ශාසන ධර්මයට පටහැනි ලෙස ක්‍රියා කිරීම සම්බුද්ධ ශාසනය සුරැකීමට දායක වන්නේ කෙසේ ද යන්න සිහියෙන් යුතුව විමසිය යුතුයි. මේ රට පාලනය කිරීම පිණිස බලය ලබා ගැනීමට පමණක් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සහ සම්බුදු රජුන්ගේ ශාසන උරුමය අමතක කර ක්‍රියා කරන කිසිවෙක් හට තම අභිමතාර්ථ ඉටු කර ගැනීමට නො ලැබෙන බව ලංකා භූමියේ අතීත පාලනය අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වනවා ඇත. ලංකා භූමියේ පාලනය, සම්බුද්ධ ශාසනයට පටහැනිව ක්‍රියා කොට ඉරු නො බසින අධිරාජ්‍යය ඉරු බසින තැනට ඇද වටුනේ ය. අද ඒ රජ පවුල ලෝක භූමිකාවේ අල්ලක් පමණට ශේෂ වී ඇත. ඒ ලංකා භූමිය, භූමියෙන් කුඩා වුවත් අධ්‍යාත්මයෙන් මහත් විශාල වූ බැවිනි.
(මේ අශෝක ලිපි පිළිබ්ඳව දැක්වීමේදී බ්‍රහ්මචාරී ඩී.ඊ.වික්‍රමසූරිය මහතා විසින් රචිත ශිලාලෙඛන සංග්‍රය අශොක ලිපි නම් 1929 පළ කරන ලද ගන්ථය ද පාදක වූ බව ද කෘතඥතා පෙරදැරිව සඳහන් කරමු.)