Spread the News

විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් විදුලි බිලේ සහනය වත්මන් රජය විසින් වහා ජනතාව වෙත ලබා දිය යුතු බව ය. නමුත් විදුලි බිල අඩු කිරීම සඳහා තවම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැත. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් යථාර්ථය මෙය බව ද, හෙතෙම පෙන්වා දෙයි.

මැතිවරණ වේදිකාවේ දී අපිට ඇහුණා බදු ගහලා තියෙනවා. අසීමාන්තික විදිහට ලාභ උපයනවා. ඒ නිසා තෙල් මිල අඩු කරනවා. බදු අයින් කරනවා. ඒ වගේම විදුලි බිල 40% කින් අඩු කරනවා වගේ කතා. ඉතින් ඇත්තටම මීට සති දෙකකට කලින් පමණ ලංකාවට පෙට්‍රල් (92) ගෙන්නුවේ රු. 195 ට. ඩීසල් (සාමාන්‍ය) ගෙන්නුවේ රු. 200කට විතර. ඒ අනුව පෙනී යනවා දැන් අලුත් මිල ගණන් අනුව ගත්තත් පෙට්‍රල් ලීටරයකට රු.117 ක පමණ බදු මුදලක් ඩීසල් ලීටරයකට රු.83 ක පමණ විශාල බදු මුදලක් අය කරන බව. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් ඕක තමයි යථාර්ථය. ඉතින් විදුලි බිල තාම අඩු කිරීම සඳහා යෝජනාවක් වත් ඉදිරිපත් කරලා නෑ. විදුලිබල මණ්ඩලය, පළවෙනි මාස අටේදී මේ ඇති කරපු අසීමාන්තික, ව්‍යාජ, මහජන පරපීඩාකාමී විදුලි බිල නිසා අතිරේක ලාභ, විදුලිබල මණ්ඩලයේ සියලු දූෂණත් ඇතුළුව, අතිරේක ලාභ ඉපයූවා. බිලියන 145 ක්, පළවෙනි මාස අටේදී. ඒකේ තේරුම රු. 20,000 ක් සෑම විදුලි පාරිභෝගිකයෙක්ම වැඩිපුර අරන් තියෙනවා පළවෙනි මාස අටේදී. ඉතින් ඒක වහාම ලබාදිය යුතුයි. දැන් කතා කරලා වැඩක් නැහැ. ජනතාවට ඒ විදුලි බිලේ සහනය වහාම ලබා දිය යුතුයි.

පඩි වැඩි වීම කළා පසුගිය ජනාධිපතිවරයා. මේ රටේ වැඩකරන ජනතාව තැපැල් ඡන්දයෙන් පෙනී ගියා විශාල පිරිසක් අනුර කුමාර දිසානායක මැතිතුමාට ඡන්දය දීලා තියෙනවා කියලා. ඒ ජනතාවත් බලාපොරොත්තු බලාපොරොත්තු වෙනව පඩි වැඩිවීම සිද්ධ වෙයි කියලා. ඒ පිළිබඳ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරනවයි කියලා ප්‍රකාශ කිරීමට එතුමාට දැන් හැකියි. මොකද නව කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙන නිසා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය ඉදිරියේ දී ශ්‍රී ලංකාවට කොයි විදිහට බලපායි ද?

මේ තෙල් මිල ඇතුළු වීම ඉතා ම නරක විදිහට බලපාන්න ඉඩ තියෙනවා. ඇත්තටම මේ ලෝක බලවතුන් කියන අයගේ වගකීම තමයි මේ යුධ ගැටුම් නතර කිරීමට මැදිහත් වීම ඒ වෙනුවට අවි ආයුධ ලබා දීම නෙමෙයි පාර්ශව වලට. මේ ප්‍රශ්නය ඊළඟට තෙල් මිලට පමණක් නෙවෙයි, නාවුක ගමනාගමනයටත් දරුණු විදිහට දැන් බලපාලා තියෙනවා. ඒ නිසා නාවුක ගණන් හිලව් වැඩි වෙලා තියෙනවා සන්නද්ධ කණ්ඩායම් විසින් රතු මුහුදේ කරන ප්‍රහාර නිසා. ඒ වගේ ම ඉදිරි කාලයේ දී මේක ආගමික අසහනයකටත් ලෝකය පුරා තුඩු දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දේශපාලන සෙල්ලම මේ යුධ සෙල්ලම, මැදපෙරදිග දැන් අවුරුදු හැත්තෑවකට අධික කාලයක් තිස්සේ ඇදි ඇදී යන දෙයක්. මේකෙන් පෙනී ගිහින් තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ප්‍රමුඛ බටහිර ලෝකය පාලනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්පූර්ණයෙන්ම අසාර්ථක අසම්පූර්ණ සංවිධානයක් කියලා. නව එක්සත් ජාතීන්ගේ සංවිධානයක් අවශ්‍යයි, ලෝක බල තුලනයට අදාළ වෙන, ඒ වගේ ම ඔය පැරණි අධිරාජ්‍යවාදී බලවේග නොවන ආරක්ෂක කවුන්සිලයක් අවශ්‍යයි. ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව වැනි රටවල් නියෝජනය වෙන නව ආරක්ෂක කවුන්සිලයක් අවශ්‍යයි. එහෙම තාක් කල් මේ ගැටුම් ඉදිරියට යයි. මේක දරුණු විදිහට මේ ගැටුම් ඇවිලී ගියොත් ඒක ලොකුවට බලපායි අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයේ ම ආර්ථිකයට.

ජනාධිපතිවරයාට රුසියාවෙන් ආරාධනයක් එවලා තියෙනවා BRICS එකට එන්න කියලා. ඔබතුමාලා කොහොමද ඒක දකින්නේ රටේ අනාගතයට?

ඒක මම දකින්නේ නෑ කිසිම ප්‍රශ්නය හැටියට. එහෙම ආරාධනයක් තියෙනවා නම් BRICS රටවල් අද විකල්ප සංවිධානයක් ලෙස, එදා නොබැඳි සමුළුව වගේ නැගී සිටිමින් ඉන්නවා. අපේ කලාපයේ රටවල් වන ඉන්දියාව, චීනය, බ්‍රසීලය, රුසියාව, දකුණු අප්‍රිකා මේ රටවල් වලින් තමයි ආරම්භයේ මේක සැදුම් ලත්. දැන් මං හිතන්නේ රටවල් හැට හතක් විතර ඉල්ලීම් කරලා තියෙනවා ඒකට ඇතුල් වෙන්න. මං හිතන්නේ නෑ වරදක් තියෙනවා කියලා ශ්‍රී ලංකාව කවුන්සිලයට ඇතුල්වීම. දැන් අවශ්‍යයි ලෝකයට අලුත් ලෝක සංවිධානයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් නෙමෙයි. ඒක එක්සත් ජනපදයේ සංවිධානයක් බව පෙනී ගිහින් තියෙන තත්වය තුළ මෙවැනි ලෝකයේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මෙවැනි සංවිධානයක් අවශ්‍යයි.

මහ මැතිවරණයක් කැඳවා තිබෙනවා. ඉදිරියේ දී ඔබතුමන්ලාගේ දේශපාලන ගමන කොයි වගේ ද?

අපි මහා මැතිවරණයට සමගි ජන සන්ධානය වෙතින් තරඟ කරනවා.

මේකෙ දි එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමක් තියෙනවද?

මම දන්නෙ නෑ එකඟතාවක් තියෙනවා ද කියලා. එහෙම එකඟතාවක් නැති බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් විවිධ කණ්ඩායම්වල ඉන්න පුද්ගලයන් ගේ එකමුතුවක් දැනටමත් සමගි ජන සන්ධානයට තියෙනවා. ඒකෙන් තමයි තරඟ කරන්නේ. කොහොමත් බහුතර ඡන්දය ලැබුණේ විපක්ෂයට. අද සිටින ජනාධිපතිවරයාට නෙමෙයි. ඒ අනුව ඒ බහුතරයේ තීරණය ක්‍රියාත්මක වෙන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. විශේෂයෙන් ම විධායක බලයට යට නො වුනු, අපි දන්නවා ඔය. හැමදාම කියන දේ තමයි 2019 දීත්, 2010 දීත් ඇහුනු දේ තමයි මේ ජනාධිපතිට අත දිග ඇරලා වැඩ කරන්න බලය දිය යුතුයි කියලා. නමුත් බලය ඉතාමත් නරක විදිහට පාවිච්චි කිරීමයි, පාර්ලිමේන්තුව රබර් සීල් එකක් වීමයි තමයි සිද්ධ වුනේ. ඒ නිසා මේක එසේ නො වෙන්න නම්, මේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ විධායක බලයට, විධායකයට යට නො වුනු ස්වාධීන ආයතනයක් හැටියට අර සමතුලිතතාව තියෙන, ජනාධිපතිවරයාගේ හොඳ තීරණ වලට එකඟ වෙන, නරක තීරණ වලට විරුද්ධ වෙන්න පුළුවන් සමතුලිතතාවක් සහිත පාර්ලිමේන්තුවක් විය යුතුයි. ඒ වගේ ම දූෂණ චෝදනා එල්ල වුනු පිරිස් නොවන වෘත්තීයවේදී, ගුණගරුක පාර්ලිමේන්තුවක් ඇති කරන්න මේ ඉදිරි ඡන්දෙ දි ජනතාව තීරණය කරනවා ඇතැයි කියලා අපි හිතනවා.

අගමැති අපේක්ෂකයෙක් නම් කරනවා ද? නැත්නම් ඒක විවෘතව තියා ගන්නවා ද?

නෑ, අපේක්ෂකයෙක් නම් කරලා යනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අගමැති අපේක්ෂකයා

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්