Wed. Dec 4th, 2024
Spread the News

ඉංග්‍රීසි භාෂාවෙන් racism කියා හඳුන්වන්නෙත් වසර හතළිස් ගණනාවක් තිස්සේ මා විසින් ලක්වැසි ජනතාවට තෝරා බේරා දීමට උත්සාහ කරන වචනයක් වන “වර්ගවාදය” යන වචනයේ ඉංග්‍රීසි පරිවර්තනය.

හරිනි අමරසූරිය අනුර කුමාරට ඉංග්‍රීසි බැරි යයි කියා සිනාසුනත් (භාෂාවක් බැහැ කියා සිනාසෙන්න කාටවත් අයිතියක් නැත) අනුර කුමාරට සිංහලත් බැහැ කියා ඈ කීවා නම්, මම අත් දෙකම ඔසවා එය අනුමත කරමි.

සිංහල භාෂාවේ “වර්ගවාදය” යනු කුමක්ද කියා පැහැදිලිවම නිර්වචනය වී තිබියදී අනුර කුමාරය එයට ජාතිවාදය කියන්නේ
එක්කෝ ඔහුට සිංහල බැහැ. එසේත් නොමැති නම් මෝඩකම නිසා විය යුතුයි.

“No room for racism” කියන උධෘතය ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරියට දමාගෙන මේ කරන්නේ “තැළෙන යකඩය දුටු විට කම්මලේ ආචාරියා උඩ පැන පැන තළන්නා සේ” කියා කීවා සේ සිංහලයාටම තළන්න යොදාගත් අළුත්ම උපක්‍රමයක් ලෙසයි අපට හැඟෙන්නේ.

අතීතයේදී දකුණු ඉන්දියානු ආක්‍රමණිකයින් ලංකාවට කඩා වැදී යම් පළාත් පාලනය කළ බවත් ඒ අයට පවා ජාතික අනන්‍යතාවයක් ආක්‍රමණය කරන අවස්ථාවේදීවත් තිබුණේ නැහැ.

චෝලයන් හා පාණ්ඩයන් ලංකාව ආක්‍රමණය කළේ ඉන්දියානුවන් ලෙස මිස වෙනත් ජාතීන් ලෙස නොවේ.

නමුත් ප්‍රථම යුරෝපියා වූ පෘතුගීසීන් 1505දී ලංකාවට ගොඩ බැස්සේ පෘතුගීසී ජාතිය ලෙසයි.
ලන්දේසින් හා බ්‍රිතාන්‍යයින්ද ලංකාවට පැමිණියේ විදේශීය ජාතීන් ලෙසයි. නමුත් ඒ යුගයේදීවත් ජාතිවාදයක් ගැන කතා නොකෙරුනේ ස්වදේශික සිංහල ජනතාව විසින් දියත් කරන ලද්දේ ආක්‍රමණිකයා පළවා හරින යුද්ධ මිස, වෙන ජාතියකට කරන වෙනස් කමක් ලෙස නොවෙයි.

ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා කරන “racism” කියන යෙදුම භාවිතයට එන්නේ “race” කියන මුල් වචනය පදනම් කරගෙනයි.

ලෝකය පුරාම විසිරී සිටින ජනතාව ජීව විද්‍යාත්මක වශයෙන් (race) වර්ගීකරණය කරනු ලබන්නේ:

1.Australoid

  1. Negroid
  2. Caucasoid හා
  3. Mongoloid
    වශයෙන්. තව දුරටත් පැහැදිලි කරන්නේනම් මුළු ලෝකයටම සිටින්නේ පළල් වර්ගීකරණයක් යටතේ එන ජන වර්ග (races) හතරක් පමණයි.
    ඒ ඒ තනි තනි තවදුරටත් අනුවර්ග වලට බෙදී එම අනු කොටස් නැවත රාජ්‍යයන් යටතේ හඳුන්වනු ලබන විවිධ ජාතීන් ලෙසින්
    එක්සත් ජාතීන්ගේ සංවිධානය ලියාපදිංචි වී ඇත.

නැපෝලියන් බොන පාට් එංගලන්තේ නෙල්සන් සාමිවරයාට යුද්ධයකදී පැරදීම නිසා ප්‍රංශ ජාතිකයින් අදටත් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙස බලන්නේ වපරැසින්. එපමණක් නොවෙයි ප්‍රංශ ජාතිකයින් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඇති අකමැත්තත් යුද්ධෙන් පරාජය වීම නිසා ඇතිවුණු පරාජිත මානසික තත්ත්වය පිළිබඳ ඓතිහාසික සාධකයන් සමග සම්බන්ධ වී තිබෙනවා.

ඇමරිකාවට වහලුන් ලෙස ගෙනා අප්‍රිකානු සම්භවයක් ඇති කළු මිනිසුන්ට සුදු ඇමරිකානුවන් වෙනස්කම් කළේ හම කළු වීම නිසාම පමණක් නොවේ. එයට මිනිස් චර්යාව, ඇවතුම් පැවතුම් ද බලපානවා.
Caucasian සම්භවයක් ඇති ඇමෙරිකානුවන් අප්‍රිකානු Negroid සම්භවයක් ඇති මිනිසුන්ට පහත් කොට සැලකීම, ඒ වගේම දකුණු අප්‍රිකාව පාලනය කළ බ්‍රිතාන්‍ය සුදු ජාතිකයින් ස්වදේශික කළු අප්‍රිකානුවන්ට ම්ලේච්ඡ අන්දමින් සැළකීම මුළු ලොවම හෙළා දැකි යුගයක්ද තිබුණා.

වර්ගවාදය කියන පළල් අර්ථයෙන් හා ඊට වඩා පටු අර්ථයෙන් යුත් ජාතිය මුල්කරගෙන පහත් අන්දමින් හෝ අමානුෂිකව සැළකීම නිළ නොළත් අන්දමකින් ඇතැම් ප්‍රදේශවල අදටත් ලෝකයේ පවතිනවා.

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය ශ්‍රී ලංකාව වැනි පෙරදිග සමාජයකට හඳුන්වා දෙන විට මිනිසාට පමණක් නොව සත්වයාටද ජීවියෙක් ලෙස සළකන බෞද්ධ ශිෂ්ටාචාරය ද පහත් කොට සැලකීම එදාටත් වඩා අද තීව්‍ර වී පවතිනවා.

එදා තුවක්කුවෙන් හා බයිනෙත්තුවෙන් කර ගැනීමට නොහැකිවනු දෙය අද දවසේ බයිබලය යොදාගෙන කිරීමට ගන්නා දුබල උත්සාහයක් ලෙස ලංකාවෙන් වර්ගවාදය තුරන් කරමු කියන පෙළ ගැස්මක් කෘතිම අන්දමින් සමාජයට හඳුන්වාදීම රාජතාන්ත්‍රිකව සිදුකිරීමට අලුතෙන් පත්වූ ආණ්ඩුව උත්සාහ කරන බව පැහැදිළියි.

බුදු දහමින් පෝෂණයවුණු යේසු දහම මානව වර්ගයාට මෙන්ම සත්ව වර්ගයාටත් ගයාව කරුණාව හා අනුකම්පාව පෙන්වද්දීත්, දමිළ හා මුස්ලිම් ප්‍රජාව සිංහලයින්ගෙන් බේරා ගැනීමට අළුතින් පත් වූ ආණ්ඩුව කරන උත්සාහය උඩුකය වැසූ බැනියමෙන්
විළි වසා ගැනීමට අමුඩයක් සකස් කරගත්තා වැනිය.

බෞද්ධ භික්ෂුවක් වූ ධර්මසේන හිමියන් වසර 650කට පමණ ඉහතදී සද්ධර්මරත්නාවලිය නමැති ග්‍රන්ථයේ එක සරළ උපමාවකින් පොදු මිනිස් දුර්වලතාවයක් පැහැදිළි කර දී ඇත.

උන්වහන්සේට අනුව අද දිනයේත් උගතුන් බුද්ධිමතුන් බලවතුන් හා රාජ්‍ය පාලකයින් පවා සිදු කරන්නේ “පයේ බරවාවට පිටිකර බෙහෙත් බැඳීමයි”

-තෙවැනි ඇස-
02.12.2024

Protected by Security by CleanTalk