මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People’s National Constitution) කෙටුම්පත් කිරීම මේ දක්වා “Gotagogama” තරුණ පරපුර ආරම්භ කර නොතිබීම නීතිය නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රටේ ජනතාවගේ නෛතික නිදහස පිළිබඳ මූලික ප්‍රශ්නයකි, “ගෘන්නෝම”/ Grundnorm නීති මූලධර්මය ගැන අවබෝධයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයකි. “ගෝඨාභය ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරවීමට පෙර හෝ පසූව මහජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ජනතාව හමුවේ තැබීම “ගෘන්නෝම” මූලධර්මය අනුව සිදුවූයේ නැත.
වැද්දා වටුකූරුල්ලන්ට දැල දැමූ පසු වටුකුරුල්ලන් ඉන් මිදුන ආකාරය ලස්සන සිත් ඇදගන්නා බෞද්ධ කතාවක් පමණක් නොවේ. ඉන් ඉගෙනිය හැකි පාඩම් බොහෝය. පළමු වැන්න වන්නේ අනතුරේ හෙළන්නාගෙන් කිසිවිට සහායක් නොඉල්ලිය යුතු බවයි. ඒ මූලික පාඩම “Gotagogama” අරගලයේ යෙදුනු තරුණ ප්‍රජාව මේ දක්වා අවබෝධකර නැති බව පෙනී යන්නේ ගෘන්නෝම (Grundnorm) නීති මූලධර්මය ගැන ඔවුන් මේ දක්වා කතිකාවක් ආරම්භ කර නැති හෙයිනි.
එනම් පවතින නීතිය උල්ලංඝනය කරමින් නව මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People’s National Constitution) කෙටුම්පත් කිරීමට අවශ්‍ය මූලික සංවාදයවත් ඔවුන් මේ දක්වා ආරම්භ කර නැත.
ඒ පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනිය හැකි ජර්මන් ජාතික දාර්ශනිකයෙකු වූ කෙල්සන් (Kelsen) ඉදිරිපත් කළ ගෘන්නෝම නීති මූල ධර්මය පිළිබඳ දැනගත යුතුය.
වැද්දා දැල දැමූ විට වටු කුරුල්ලෝ වැද්දාගෙන් දැල අයින් කර දෙන ලෙස ඉල්ලා නොසිටි අතර, වටු කුරුල්ලන්ම එකතු වී දැල අයින් කර ගත්තේය. ඒ සමාජ සිද්ධාන්තය මෙහිදීද අදාල වේ.
වර්තමනයේ සමාජ ආර්ථික ජීවන ප්‍රශ්නය ඇති කිරීමට මුල් වූයේ පාර්ලිමේන්තුවේ 225 සහ විධායක ජනාධිපතිවරයා පමණක් නොවේ. අධිකරණය සහ පරිපාලන යාන්ත්‍රණයත් එයට වග කිව යුතුය.
ජනතාව ගෑස්, තෙල් පෝලිමේ දුක් විඳීමට සැළැස්වීමට සහ විදුලිය කප්පාදුවට සහ මෙසමයේ පවතින ආර්ථික අර්බුදයට විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය එකිනෙකා නොදෙවෙනි ලෙස දායක වී ඇත යන්න පිළිනොගන්නේ නම් එය සත්‍යට දුරස්ථය. ඒ සත්‍ය එළිදරව් කරන්නෝ බන්ධනාගාර ගත කිරීමෙන් ප්‍රශ්නය යම්තාක් දුරකට පාලනය විය හැකි වුවත් විසඳුමක් ලැබෙන්නේ නැත.
ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරන අයදුම්පත්‍රවල ලිපින අනුව පාසල් බස් රථ හෝ පාසල් වෑන් රථ මෙතරම් ප්‍රමාණයක් කොළඹ ඇතුලු නගර වෙත පැමිණීමට අවශ්‍යතාවයක් නැති වීම සරළ උදාහරණයකි.
විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන ත්‍රිත්වයේ අකාර්යක්ෂමතාවය,නාස්තිය, දූෂණය පිළිබඳ සමාජයේ සාධාරණ කතිකාවක් ආරම්භ වී නොතිබීම “Gotagogama” තරුණ ප්‍රජාවේද අසාර්ථකත්වයකි.
ඔවුන් ගෝඨාභය ජනාධිපතිවරයා ඉලක්කකරගත් පෞද්ගලික අවලාද කිරීමක ස්වරූපයෙන් උද්ඝෝෂණ මෙහෙයවනු ලැබූ ආකාරයක් දක්නට ලැබුණි.
ඝාතන කිහිපයක් පමණක් ඉස්මතුකරමින් සහ තෙල්, ගෑස්, විදුලිය අර්බුදයට පමණක් සමාජ ආතතිය සහ සමාජ පීඩනය ලඝු කරමින් වසර ගණනාවක් සමාජය මුහුණ දෙන අර්ධ වහල් සමාජ පාලන ක්‍රමය පිළිබඳ සාකච්ඡා නොකිරීමට “Gotagogama” තරුණ පරපුර පරිස්සම් වන ආකාරයක්ද දක්නට ලැබුණි.
සමාජයේ පවතින සෑම ආයතනයකම, ව්‍යුහයකම පවතින බලවන්තයින් විසින් දුබලයන් සහ සම්බන්ධතා නොමැති අය පෙළන පාලන ක්‍රමයේ ගැටළු “Gotagogama” සාකච්ඡා කරනවා පෙන්නුම් කළේ නැත.
ගෘන්නෝමය (Grundnorm) ගැන නීතීඥවරු පමණක් දැන සිටීම ප්‍රමාණවත් නොවේ. “Gotagogama” තරුණ ප්‍රජාවද ඒ පිළිබඳ සකච්ඡා ආරම්භ කළ යුතුය.
“Gotagogama” තරුණ ප්‍රජාගේ අරගලය සැබෑ ජන අරගලයක් වන්නේ ඔවුන් එය තේරුම් ගැනීමට කල්ගත නොකිරීම සහ දක්වන උනන්දුව මතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොතකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තනා ගැනීම නෛතික විප්ලවයක් වන අතර එය කළ හැක්කේ පාර්ලිමේන්තුවට, අධිකරණයට හෝ විධායකයට නොව ජනතාවටය.
ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කළ හැකියි. ගෘන්නෝම මූලධර්මය මගින් කියන්නේත් එයයි.
1970 සමඟි පෙරමුණු ආණ්ඩුව එවකට පැවති 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන ලදී.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ගත්තේ එතෙක් පැවති 1947 සෝල්බරි ව්‍යවස්ථාව අනුව හෝ රාජාධිකරණයේ හෝ බ්‍රිතාන්‍යය කිරීටයේ අවසරයෙන් නොවේ. ඒ සම්බන්ධයෙන් සුන්දරලිංගම් ශ්‍රේෂ්ඨාධිකරණයේ එවකට නඩු පැවරුවද සාර්ථක නොවීය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන ලද්දේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෛතික විප්ලවයක ඵලයක් නොවේ.
Grundnorm යනු හාන්ස් කෙල්සන් (1881 -1973) විසින් ඔහුගේ ශුද්ධ සිද්ධාන්ත
නීතිය පිළිබඳ න්‍යාය තුළ අර්ථ දක්වා ඇති නීති විද්‍යාත්මක යෙදුමකි. ඔහු Grundnorm යනු ඕනෑම නීති පද්ධතියකට පදනම වන මූලික සම්මතය, අනුපිළිවෙල හෝ රීතිය ලෙස අර්ථ දැක්වීය. එම නීති පද්ධතියේ ධනාත්මක නීතියේ වලංගුභාවයේ මූලාශ්‍රය ලෙස මෙය සැලකිය හැකිය.
කෙල්සන් විස්තර කරන්නේ විප්ලවය යනු නීති පද්ධතියක Grundnorm වෙනස් කළ හැකි එකම ක්‍රමය බවයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූරකාල සම්බන්ධයෙන් විධිවිධාන දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් පවතින බව නීතිපතිවරයාද මේ වන විට පිළිගෙන ඇත. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ 2024.07.18 දින පළ කර ඇත. එනම් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේද දෝෂ සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි.
“ගෝඨා ගෝ හෝම්” අරගලය ගෘන්නෝමයක් බවට පත් කර නොගත්තේ කවුද, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකර ගැනීමට “ගෝඨා ගෝ හෝම්” අරගලකරුවෝ ක්‍රියා නොකළේ ඇයි යන්න අවංකව සංවාදයට ලක්කළ යුතුය.
iiවන නෛතික විප්ලවයට සුදුසුම කාලය එළඹෙමින් ඇත.
http://neethiyalk.blogspot.com/2025/04/ii.html?m=1