Tue. Nov 26th, 2024
Spread the News

සියවසක සියපත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ
source:
ගැඹුරු කළල් දිය මත පිපී හිනැහෙන නෙළුමක දසුන සොඳුරු ය. ඒ දසුන ඇස මතු නොව සිත ද සනසාලයි. පහන් කරයි. සියපත සුවඳ මඳ හා මුසුව දසත දසදිග විහිදේ. ඒ සිනිඳු පෙති අතුරෙහි සැඟවුණු මියුරු රොන් දිය නිර්ලෝභීවම බිඟුන් මන දොළ සපුරයි. පසුව එකිනෙක පරවී නිල් දිය තලය වැළඳගන්නා මල්පෙති සදාතනික ලෝ දහමක අරුත කියයි.

ලෝභයෙන් ඇලෙමින්, ද්වේශයෙන් ගැටෙමින්, මෝහයෙන් මුලාව සසර සරණා පුහුදුන් දනා අතුරෙහි කලාතුරකින් උඩුගම් බලා යාත්‍රා කරනා බුදු සව්වෝ පහළ වෙති. උන්වහන්සේලාගේ දර්ශන මාත්‍රය පවා පුහුදුන් සිත් සුවපත් කරයි. නිවා සනසයි. එවන් ලොව්තුරු ගමනක පිය සටහන වූ කලී අඳුර වියරු වූ විජිතයට ගලනා සඳ කත් දියකි. ඒ සඳ වතුරින් දහස්‌ දනන් හද නිවී සැනැහේ.

අපවත් වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක මාහිමියන් වහන්සේද ඒ සුපිළිපන් බුදු සව් මග යළි යළිඳු පෙහෙළි කළ අජානේය පුරුෂ රත්නයකි. එය අතිශයෝක්‌තියක්‌ හෝ හුදු පුද්ගල වර්ණනාවක්‌ නොව අනඳ මෙත් බෝසත් සිරිත නුවණින් විමසන්නෙකුට මැනැවින් පසක්‌ වන්නකි. ඉසි කෝ මද මානාදියෙන් දුගඳ ම විහිදෙන ලොවක එවැනි සුවඳ විහිදෙන චරිතයක්‌ පිළිබඳ නැවත සාකච්ඡා විය යුතු කාලය එළඹ ඇතැයි සිතේ.

ඉකුත් සියවස පුරාම පහළ වූ මහරු මහනීය යතිවර චරිත කීපයම පරහිත සාධනීය චරණය අපට හඳුනාගත හැකිය. වජිරාරාමාධිපතිවැ වැඩ විසූ අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඥන මහනායක මාහිමි, විදුදය සරසවිය බිහි කළ අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත නායක හිමිපාණෝ, අග්ගමහාපණ්‌ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණේ, රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන්, මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණේ ආදී මහ තෙරවරු ඒ අතර වෙති. මේ යුග කාරක මහතෙරුන් වහන්සේලා අපිස්‌ සතොස්‌ පැවිදි කිස මේ යෑයි ලොවට දක්‌වා සිය ඓතිහාසික මෙහෙවර නිමාකොට එහි සුවඳ පමණක්‌ම ඉතිරිකොට අපවත් වී වදාළහ.

සබරගමුවේ කඳු පංතිවලින් වටවු බළන්ගොඩ කිරිඳිගලදී 1896 අගෝස්‌තු 24 වැනිදා අප මහනාහිමියන්ගේ උපත සිදුවිය. පැවිදි වීමෙන් අනතුරුව උන්වහන්සේ ගුරු ඇසුරේ පන්සලේම අධ්‍යාපනය ලදහ. වසර නවයක්‌ පුරා උන්වහන්සේ රාත්‍රියට සැතපී ඇත්තේ පැය දෙකහමාරයි. දන් වැළඳීමට, බුදුන් වැඳීමට හා වත් පිළිවෙත්වලට හැරුණු කොට ඉතිරි මුළු කාලයම අධ්‍යාපනයට වෙන් විය. උදේ ආහාරය ලුණු කැඳ කෝප්පයක්‌ පමණය. එයින් සෑහී ඉගෙනුම අරඹයි. සවසට දවස පුරා කට පාඩම් කළ දෑ සියල්ල ගුරු හිමියන් පාමුල හිඳ මතකයෙන් කියාගෙන යා යුතුය. ඉතා සාවධානව එයට ඇහුම්කන් දෙන සීලානන්ද මහ තෙරණුවෝ වරදින සෑම තැනක්‌ම නිවැරැදි කළහ. පෙළ බස කටට හුරු කිරීම සඳහා උන්වහන්සේ සිය අතවැසි සිසුන් හා පාලියෙන් වාද විවාද කළහ. භාෂා ශාස්‌ත්‍රයන්හි ඉතා සියුම් තැන් පවා සිය අතවැසි සිසුනට කියා දුන්හ. උදාහරණ ලෙස සිදත් සඟරා කතුතුමන්ගේ දුර්වලතා පවා උන්වහන්සේ පෙන්වා දුන්සේක. උන්වහන්සේ කුමරතුඟු වියරණ මග සතතයෙන්ම පිළිගත්තේ සිය සියුම් දැනුමට පවා එය සාකල්‍යයෙන්ම එකඟ වූ බැවිනි. ඒ බව සිය සිසුනට ද කියා දුන් බව මහනාහිමියන් මහත් ගුරු බැතියෙන් සිහිපත් කර ඇත.

බළන්ගොඩ මහනායක හාමුදුරුවන් ලද අධ්‍යාපනයේ වටිනාකම විශද වන්නේ උන්වහන්සේගේ පසුකාලීන ජීවන චරිතය අධ්‍යයනය කිරීමේදීය. උන්වහන්සේ අටවක මැණිකක්‌ සේ බැලූ බැලූ අතින් බබළන්නේ මේ නිසා විය යුතුය. 1953, 1954 වර්ෂවල බුරුමයේ පැවැති ඡට්‌ඨ මහා ධර්ම සංගායනාවේ උත්තර මණ්‌ඩලයේ සාමාජික ධුරය ද පසුව එහි මුලසුන ද උන්වහන්සේ විසින් දරන ලද්දේ එම භාරදූර වගකීම් දැරූ පඬිවරුන්ට සාපේක්‍ෂව අඩු වයසක දීය. ත්‍රිපිටක සංශෝධන පිළිබඳ කටයුතුවලදී බුරුම හා සියම් පඬිවරු සමග විවිධ කරුණු පිළිබඳව කළ තර්ක විතර්ක කරුණු දැක්‌වීම්වලදී අවසානයේ උන්වහන්සේ සහේතුකව ඉදිරිපත් කළ මතයම පිළිගැනීමට ලක්‌ වූ බව ආනන්ද මෛත්‍රෙය චරිත කතාවෙහි සඳහන් වේ. අවසානයේ උන්වහන්සේ ප්‍රකට කළ අසහාය පාණ්‌ඩිත්වය පිළිබඳව අතිශය ප්‍රසාදයට පත් බුරුම රජය උන්වහන්සේට “අග්ගමහාපණ්‌ඩිත” උපාධිය පිරිනැමීය. කිසි දිනක පිරිවෙනකට නොගිය උන්වහන්සේ බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන ආරම්භ කොට එහි පරිවේණාධිපති ධුරය ඉසිලූයේ තිස්‌ හතරවැනි වියේදීය. කිසි දිනක විශ්වවිද්‍යාලයට ඇතුළුවීමක්‌ තබා බාහිර උපාධියක්‌වත් නොහදාළ උන්වහන්සේ 1959 ඇරඹුණු විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයේ ආරම්භක මහාචාර්යවරයෙකු විය. එහි මහායාන බුද්ධ ධර්ම අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා වූහ. පසුව එහිම උපකුලපතිවරයා වූහ. පිරිවෙන් නොගිය උන්වහන්සේ ලියූ කෘති පිරිවෙන්වල නිර්දේශීත ග්‍රන්ථ බවට පත්ව ඇත. සරසවි නොගිය උන්වහන්සේගේ කෘති අදටත් සරසවිවල නිර්දේශීත කෘති බවට පත්ව ඇත. දිලෙන අටවක මැණිකක්‌ සේ ශාස්‌ත්‍ර පිළිබඳව ද ඉංග්‍රීසි, හින්දි ආදී ප්‍රාචීන භාෂා ශාස්‌ත්‍ර පිළිබඳව ද ඉංග්‍රීසි, ප්‍රංශ ග්‍රීක්‌, ලතින් ආදී ප්‍රාචීන භාෂා පිළිබඳව ද විශාරද දැනුමකින් යුතු වූහ. එම අසහාය පාණ්‌ඩිත්වය පැහැදිලිවම එක්‌ භවයක ප්‍රතිඵලයක්‌ විය නොහැකිය. උන්වහන්සේ භව ගණනක්‌ පුරා පුහුණු කළ මහා දැනුම් කෝෂයක මුහුකුරා යාමක්‌ම විය යුතුය. කෙසේ නමුත් තමන් නියෝජනය කරන ක්‍ෂේත්‍රය පිළිබඳවත් නිසි අවබෝධයක්‌ නොමැතිව පාලුගෙයි වළං බිඳින්නා සේ විචාර විවේචන කරන පුහු පණ්‌ඩිතයන්ගෙන් පිරි ලොවක උන්වහන්සේ අස්‌වනු පිරි බිමටම බර වූ වී කරලක්‌ සේ නිහඬව සිය දැනුම දානය කළ සේක.

උන්වහන්සේගේ චරිතයෙහි තවත් විශේෂ ලක්‍ෂණයක්‌ නම් සාම්ප්‍රදායිකත්වය හා නූතනත්වය එකට කැටිකොට ප්‍රතිමූර්තිමත් කළ බවයි. අතිශය සාම්ප්‍රදායික භික්‌ෂූන්වහන්සේලා ඉතා ඈත අතීතයේ පටන් අරණ්‍යවාසී භික්‌ෂූන් ලෙස හුදකලාව සිය විමුක්‌ති සාධනය උදෙසා වෙහෙස වූහ. මහනුවර යුගයේ සසුන දරුණු ලෙස පිරිහීමට ලක්‌ වූ අවධියක මෙම සාම්ප්‍රදායික විමුක්‌තිකාමී භික්‌ෂූ පරමාදර්ශය යළි විද්‍යමාන වන්නේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගෙනි. උන්වහන්සේගෙන් පසුව නූතන යුගය තුළ එක්‌ තනි භික්‌ෂු පරපුරක්‌ සාම්ප්‍රදායිකත්වය හා නූතන සංකල්ප එකට කැටිකොට විමුක්‌තිකාමී භික්‌ෂු පරමාදර්ශයට අල්ප මාත්‍රයකුදු හානියක්‌ නොකොට භික්‌ෂූත්වය ආදර්ශනය කළෝ නම් ඒ පැළැණේ වජිරඥන මහ නාහිමියන් බම්බලපිටිය වජිරාරාමය මුල්කොට ඇරඹි වජිරාරාම සඟ පරපුරය. එම වජිරාරාම සම්ප්‍රදාය සෙවණෙහි එයටම තත්පරව මඩිහේ පඤ්ඤාසීහ, අම්පිටියේ ශ්‍රී රාහුල, කොටහේනේ නාරද, කොටහේනේ පියදස්‌සි, වැලිගම ඥානරතන, පඹුර මෙත්ෙත්‍යය, සෝම ෙ€මින්ද ආදීන වජිරාරාම සඟ පරපුර තුළින්, එම ලක්‍ෂණය ආදර්ශනය කරන භික්‌ෂුන් වහන්සේ සොයා ගැනීම අදට ද අපහසු නැත. නමුත් එම සම්ප්‍රදායෙන් බැහැරව පරමාදර්ශී භික්‌ෂූත්වයේ ලක්‍ෂණ වු සම්ප්‍රදායික භාවය හා නූතන සංකල්ප ඉතා සාර්ථකව සංකලනය කරගනිමින් සිය විමුක්‌තිකාමී භික්‌ෂු පරමාදර්ශයට අබැටක හෝ පසුගාමී බවක්‌ ඇති කර නොගත් සංඝ පීතෲන් වහන්සේ නමක්‌ බිහි වී නම් ඒ පැහැදිලිවම බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක මාහිමියන් වහන්සේය.

උන්වහන්සේ ව්‍යක්‌ත ය. විනීත ය. විශාරද ය. බහුශ්‍රැතය. ධර්මධර ය. ධර්මානු ධර්ම ප්‍රතිපන්නය. අග්ගමහාපණ්‌ඩිත සාහිත්‍ය ශූරී, සාහිත්‍ය චක්‍රවර්ති, සම්මාන ආචාර්ය උපාධි ආදිය ලදහ. බුරුම රජය විසින් ලංකා ඉතිහාසයේම ප්‍රථම වරට පිරිනැමුණු “අභිධජ මහා රට්‌ඨගුරු” උපාධියෙන් හා සංඝරාජ ධුරයෙන් පිදුම් ලද්දාහ. උන්වහන්සේ මුළු මහත් බෞද්ධ ලෝකයටම සංඝරාජ මානව වැඩහුන් සේක. නමුත් උන්වහන්සේ ඒ සියල්ල සිනහවෙන් ඉවසා මොළකැටි ළදරුවෙකු සේ අහිංසකවම පසු වූහ. තරාතිරම නොබලා ඕනෑම අයෙකු හා ප්‍රියශීලී වූහ. ගී්‍රස්‌මයෙහි තමා තැවෙමින් ද, වර්ෂාවේ තමා තෙමෙමින් ද බොහෝ දෙනාට සෙවණ සාදන මහා වෘක්‌ෂයක්‌ සේ උන්වහන්සේ බහුජන හිතසුව පිණිසම කැප වූහ. ලෙඩ ඇඳෙහි වැතිරගන්නා තෙක්‌ම දුගී දුප්පත් දනන් කෙරේ කරුණාවෙන් ගම් දනව් පුරා පිඬු සිඟා වැඩියහ. අසරණයන්ට මතු නොව තිරිසනුන්ට පවා සියතින් උවටැන් කළහ. සිය ඇඳි වත පවා බොහෝ වාරයන්හි දන් දුන්හ. උන්වහන්සේගේ හදවත නෙළුම් මලක්‌ සේ පිවිතුරු වීය. එයින් මනුෂ්‍යත්වයේ ගුණ සුවඳම විහිදිණි. ඒ ගුණ සුවඳ අසිරිමත් ය. එය සිහිපත් වන විට දැනෙන්නේ බෝසත්වරයෙකු පාමුල සිටිනා සෙයකි.

කොතරම් වියත් වුවද, පණ්‌ඩිත වුවද, බුහුමන් උන්වහන්සේ පැවිදි වූ දින සිට අපවත් වන තුරු අත් නොහළ දෙයක්‌ විය. ඒ තමන් වහන්සේගේ පැවිද්දෙහි මූලික අරමුණයි. “සබ්බ දුක්‌ඛ නිස්‌සරණ නිබ්බාණ සච්ඡකරණත්වාය” සියලු දුක්‌ නැති කොට නිවන් පිණිසම වූ පැවිද්ද, ඒ මුඛ්‍ය අරමුණින් බොහෝ දුර ඉගිලෙන ලොවක උන්වහන්සේ සිය අරමුණ මතම රැඳී උන් සේක. ඒ නිසාම කලින් කල හුදකලා වූහ. කොතරම් කාර්ය බහුල වුවද කොහි සිටියේ වුවද භාවනාව අත් නොහළහ. උන්වහන්සේගේ භාවිත මනස අවසාන කාලය වන විට කුමන තරමේ දියුණුවක්‌ ලබාගන්නට ඇත්දැයි යන්න උපකල්පනය කිරීම අපට තරම් නොවේ. නමුත් සතතයෙන්ම උන්වහන්සේ ලෞකිකත්වයට සමු දී මිටින් හළ කුරුල්ලෙකු සේ නිදහස්‌ අවකාශය දෙසටම පියාසර කළ සේක. නිවුණු මගක සුවය මේ මේ යෑයි අපට ද කියා දෙමින් උන්වහන්සේ නිවුණු සැනසුණු මගක වැඩි සේක. අවසානයේ තමන් වහන්සේ මේ භවයෙහි ලද කායික ප්‍රතිලාභයට සමු දී 1998 ජුලි 18 වැනි දින අපවත් වී වදාළ සේක.

මේ උන්වහන්සේගේ 115 වැනි ජන්ම සමරුවයි. ඉකුත් සියවස පුරා සුවඳ බෙදා හළ මහනීය සියපතෙහි සුවඳ තවම දැනේ. නමුත් මේ සියවස සුවඳ කරන්නට තව තවත් සියපත් පිපිය යුතු පිනි කැට ඉහිරෙන හිමිදිරිය එළඹ ඇත. සිය හෙට දවස උදෙසා යුග පුරුෂයන් අයදින මොහොතයි.

මීගොඩ සුඛිත හිමි
සිරි වජිරාරාමය, බම්බලපිටිය

Protected by Security by CleanTalk