Fri. Nov 22nd, 2024
Spread the News

ආන්දෝලනාත්මක සුදු කොඩි කතාවේ සුලමුල

source:

උ……..සා…….වි…….ය.
නි…..ශ්………ශ……බ්……ද……….. වනු·
නඩු අංක ( එච්. සී. 5311/2010
ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා

පුරා වසර දෙකකට ආසන්න කාලයක්‌ කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ මුළු මහත් රට පුරා මෙන්ම ජාත්‍යන්තරය ද අවධානය යොමු කර සිටි “සුදු කොඩි නඩුව” පටන් ගනු ලැබුයේ එසේය. සිද්ධියට අදාළව පොලිස්‌ විමර්ශන පවත්වා, චෝදනා ගොනුකර, නඩු විභාගයක්‌ පවත්වා, තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට හරියටම වසරකුත් මාස නවයක්‌ ගත වී තිබිණි. වර්ෂ 2010 පෙබරවාරි මස 18 දා පොලිස්‌පතිවරයාගේ නියෝගයක්‌ මත විමර්ශන ආරම්භ වූ සුදු කොඩි සිද්ධිය වර්ෂ 2010 ජුලි මස 21 දින කොළඹ මහධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමෙන් නඩු විභාගයක්‌ වී වර්ෂ 2011 නොවැම්බර් මස 18 දා තීන්දු ප්‍රකාශයෙන් අවසන් වූයේය. ඒ අනුව සිද්ධියට අදාළ නඩු විභාගය සඳහා කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව වාර 57 ක්‌ කැඳවා තිබිණි.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විත්තිකරු කරමින් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුව සිද්ධියට අදාළව කියෑවුණු සුදු කොඩි නිසාවෙන් “සුදු කොඩි නඩුව” ලෙසින් ප්‍රසිද්ධියට පත්ව තිබුණේය. රටේ එසවුණු ‘සුදු කොඩි’ යළි එසවීමක්‌ නොවීමට මූලික වූ පුද්ගලයකු වන හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඔහු පැවසූ යෑයි කියෑවුණු “සුදු කොඩියක්‌” පාරාවළල්ලක්‌ වී ආවේය.

දශක තුනකට ආසන්න කාලයක්‌ රටේ නන් දෙසින් රැව් දෙන්නට වූ සුදු කොඩි යුද්ධය නිමාවට පත්වීත් තුඩ තුඩ රැව් දෙන්නට සමත් වූ මාතෘකාවක්‌ සපයන්නට වූයේ එනිසාය. කොටි ත්‍රස්‌තවාදීන්ගේ කුරිරු ඝාතන ක්‍රියා හේතුවෙන් රටේ සෑම තැනම විවිධ තරාතිරමේ පුද්ගලයන් උදෙසා ‘සුදු කොඩි’ එසවෙන්නට වූ අයුරු අප තුළ තවම මතකයෙන් ගිලිහී නැත. රජය මගින් ත්‍රස්‌තවාදයට එරෙහිව ගෙන ගිය මානුෂීය මෙහෙයුම නිසාවෙන් යළි ‘සුදු කොඩි’ එසවීමක්‌ නොවුණු අතර මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී එසවුණා යෑයි කියනු ලබන ‘සුදු කොඩියක්‌’ දෙස මුළු රටම බලා සිටින්නට වූයේය.

ත්‍රස්‌තවාදයට එරෙහි රජය මගින් ගෙනගිය මානුෂීය මෙහෙයුම අති සාර්ථක ලෙස අවසන් වූයේය. කුරිරු ත්‍රස්‌තවාදය සදහටම රටින් තුරන් කර දැමීමට රජයට හැකි විය. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ අධිෂ්ඨානශීලී කැප කිරීමත් නොපසුබස්‌නා වීර්යයත් නිසාවෙන් ත්‍රස්‌තවාදය පරාජයට පත් වී සියලු ජන කොටස්‌ වෙත බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට ඉඩ ප්‍රස්‌ථාව උදා වූයේය.

යුද ජයග්‍රහණයත් සමඟ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුර කාලය තවත් වසර දෙකක්‌ ඉතිරිව තිබියදී ජනාධිපතිවරණයට යැමට තීන්දු කරනු ලැබුවේය. වසර තිහක කාලයක්‌ පුරා පැවැති යුද්ධය ජයගත් ජනාධිපතිවරයාට අභියෝගයක්‌ එල්ල කළ හැකි අපේක්‍ෂකයෙක්‌ නොමැති වීම හා තත් කාලීනව දේශපාලන වශයෙන් වෙන්දේසියේ දැමිය හැකි දෙය හොඳම යුද ජයග්‍රහණය වීම නිසා ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට මෙම තීරණය ගනු ලැබීය. එකට හමු නොවන රේල් පීලි දෙකක්‌ ලෙසින් දිවෙන දේශපාලන මති මතාන්තර දෙකක සිටි එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණ එකට සන්ධාන ගත වී ඔවුන්ගේ පොදු අපේක්‍ෂකයා ලෙස හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුයේද තත් කාලීනව දේශපාලන ලෙසින් වෙන්දේසියේ දැමිය හැකි හොඳම දෙය යුද ජයග්‍රහණය නිසාවෙනි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය වූ කලී යුද්ධයේ වීරයා තේරීමේ ජනමත විමසුමක්‌ වැනි විය. යුද්ධයේ සැබෑ වීරයා යුද්ධයට අණ දුන් සේනාධිනායක ජනාධිපතිවරයාද, යුද්ධය මෙහෙයවූ යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද යන්න එහිදී විමසීමට ලක්‌විය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපේක්‍ෂකයා ලෙසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙසින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේය. යුද්ධය අවසන් වී පැවැති ජනාධිපතිවරණය උදෙසා මාධ්‍ය වලින් ද දැඩි උනන්දුවක්‌ දක්‌වනු ලැබූ බවක්‌ පෙනෙන්නට විය. ඇතැම් මාධ්‍ය උණුසුම් පුවත් මවමින් විවිධ ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙන යැමේ තරගකාරී බවකින් කටයුතු කළේය. ඒ අතර අපේක්‍ෂකයන් දෙදෙනාගේ කතාබහ, ඔවුන් යුද්ධයට දැක්‌ වූ මෙහෙය, එහිදී ගත් ක්‍රියාමාර්ග විවිධාකාරයේ පුවත් ලෙසින් ඉදිරිපත් විය.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා 2009 දෙසැම්බර් 08 දා සන්ඩේ ලීඩර් පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව ද එයාකාරයේ උණුසුම් පුවතක්‌ ජනතාව අතරට ගෙන ගියේය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය 2009 දෙසැම්බර් 08 දා කොළඹ රාජකීය මාවතේ ෆොන්සේකා මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගොස්‌ සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා ගනිමින් යුද්ධයේ අවසන් අදියරේ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධියක්‌ සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු මත ලිපියක්‌ සකස්‌ කොට එම 13 දා පුවත්පත මගින් පළ කරනු ලැබුවේය.

ත්‍රස්‌තවාදයට එරෙහිව රජය මගින් ගෙන ගිය මානුෂීය මෙහෙයුමේදී ගැලවීමක්‌ නොමැති වූ කොටි නායකයන් හා ඔවුන්ගේ පවුල්වල අය ආරක්‍ෂාව පතා හමුදාව වෙත සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණ ඇති බවත් හමුදාව මගින් ඔවුන්ව වෙඩි තබා ඝාතනය කර ඇති බවත්, 2009 දෙසැම්බර් 13 දා සන්ඩේ ලීඩර් පුවත්පත සිය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කරනු ලැබුවේය.

මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී සිදු වූ සිද්ධීන් කා අතරත් වඩාත් කතාබහට ලක්‌වන විට හමුදා සේවයෙන් විශ්‍රාම ගොස්‌ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙසින් ඉදිරිපත්ව සිටි සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද්ධ හමුදාවේ 58 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ශවේJද්‍ර සිල්වා මහතාට දුරකථනය මගින් කථා කොට සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන කිසිදු එල්.ටී.ටී.ඊ. නායකයකුට යටත් වීමට ඉඩ නොදෙන ලෙසට ද ඔවුන් සියලුදෙනා මරා දැමිය යුතු බවට කියා ඇති බවට තමාට දැන ගන්නට ලැබුණේ යෑයි පවසමින් සන්ඩේ ලීඩර් පුවත්පත ප්‍රවෘත්තියක්‌ පළ කර තිබිණි.

සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට ලබා දුන්නේ යෑයි කියන එම සම්මුඛ සාකච්ඡාවෙන් කියෑවුණු ප්‍රවෘත්තිය ජනාධිපතිවරණයේදී විවිධ කෝණ ඔස්‌සේ පුළුල් කතා බහට ලක්‌වෙමින් ගලා යන්නට වූ අතර රජය එම පුවත්වලින් ලියෑවුණු සිද්ධිය එක හෙළා ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය. ලෝකයේ විවිධ රටවල් හා සංවිධාන මේ පිළිබඳව රජයෙන් විමසීම් කරන්නට විය. ජිනීවා හි මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්‌ නවනීදම් පිල්ලෙයි මහත්මිය කළ විමසීමකට රජයේ නිවැරැදි බව දක්‌වා කරුණු කියන්නට සිදුවිය.

සිද්ධියට අදාළව පොලිස්‌පතිවරයාගේ දැනුම්දීම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 2010 පෙබරවාරි 18 දා පරීක්‍ෂණයක්‌ ආරම්භ කරමින් ඊට සම්බන්ධ කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන සටහන් කර ගනු ලැබීය.

සුදු කොඩි සිද්ධියට අදාළව මුලින්ම විමර්ශන කටයුතු භාරව කටයුතු කරනු ලැබූයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී විමල් සමරසේකර මහතාය. සිද්ධියට අදාළව “සන්ඩේ ලීඩර්” පුවත්පතේ හිමිකරු වන ලාල් වික්‍රමතුංග මහතාගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සමරසේකර මහතා විමර්ශන කටයුතුවලින් ඉවත් කරනු ලැබූ අතර 2010 අප්‍රේල් 10 දා සිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂක අනුර සිල්වා මහතා වෙත එහි විමර්ශන කටයුතු භාර විය. නඩු විභාගය අවසන් වන තෙක්‌ සුදු කොඩි නඩුවේ විමර්ශන නිලධාරියා ලෙස ඔහු කටයුතු කරනු ලැබූ අතර සිද්ධියට අදාලව ඒ මහතා අධිකරණය හමුවේ සාක්‌කි ලබාදීමක්‌ද සිදු කරනු ලැබීය.

සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබූ විමර්ශනයේ වාර්තාවක්‌ කොළඹ හිටපු ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම් තුනක්‌ එම මහත්මිය ප්‍රතික්‍ෂේප කරනු ලැබුයේ ඒවායේ සාක්‌කි සම්පිණ්‌ඩ වාර්තා හා සරත් ෆොන්සේකා මහතා සැකකරුවකු ලෙස නම් කර නොතිබීම මතය. ඒ අනුව 2010 මැයි මස 11 දා සිව් වැනි වතාවටත් වැඩිදුර වාර්තා මගින් කරුණු දැක්‌වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිද්ධියට අදාළ විමර්ශනයේ සැකකරුවකු ලෙස නම් කර ඊට අදාළව කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගෙන ඇති බවත් යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නාවික හමුදා මූලස්‌ථානයේ රඳවා සිටින ඒ මහතාව සුදුකොඩි සිද්ධියට අදාළව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හමුදාපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කෙරෙහි සැලකිලිමත් වෙමින් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය නිකුත් කළ නොතීසියකට අනුව 2010 මැයි 12 දා ප්‍රථම වරට සුදුකොඩි සිද්ධියට අදාළව නාවික හමුදා මූලස්‌ථානයේ රැඳවා සිටි සරත් ෆොන්සේකා මහතාව යුද හමුදාව මගින් කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා අධිකරණය අමතමින් හිටපු යුද හමුදාපතිවරයා “සන්ඩේ ලීඩර්” පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව තුළින් බරපතළ වරදක්‌ කර ඇති බවත් ගමක ගමරාළ කෙනෙක්‌ මෙවැනි ප්‍රකාශයක්‌ කළේනම් එය එතරම් ප්‍රශ්නයක්‌ නොවන බවත් කියා සිටියේය.

සැකකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිවේදීන් විශාල පිරිසක්‌ සමඟ පෙනී සිටි නීතිඥ නලීන් ලද්දුවහෙට්‌ටි මහතා කරුණු දක්‌වමින් මෙම සිද්ධියට

අදාළව සන්ඩේ ලීඩර් පුවත්පතට අදාළ ලිපිය සකස්‌ කළ මාධ්‍යවේදිනී ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ගයක්‌ නොමැතිවීම පුදුමයට කරුණක්‌ බව කියා සිටියේය.

ඒ වන විටත් ජෙනරාල් තනතුර ඇතිව සිටි සරත් ෆොන්සේකා මහතා විශේෂ පුද්ගලයෙක්‌ බවත් ඔහුගේ ජීවිත ආරක්‍ෂාව හමුදාව තහවුරු කළ යුතු බවත් පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය සැකකරු හමුදා භාරයටම පත් කරන බව දැනුම් දුන්නාය.

සැකකරු වරදක්‌ කර ඇත්නම් එම නීති කෘතියට මූලිකත්වය ගෙන නීතිපතිවරයා කටයුතු කරනු ඇතැයි කී රාජරත්න මහෙස්‌ත්‍රාත්වරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ඕනෑම සැකකරුවකුගේ ආරක්‍ෂාව අධිකරණය භාරයට පත්වන හෙයින් යුද හමුදාව භාරයේ සිටින සැකකරුගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවට අවධාරණය කළාය.

මුළු රටම භීතියට පත් කළ ත්‍රස්‌තවාදය සහමුලින් නැතිකර දැමීමට යුද්ධයේදී මූලිකත්වය ගෙන සාර්ථක ජයග්‍රහණයක්‌ තහවුරු කළ සැකකරුට අනෙක්‌ නඩු කටයුතු පසෙකලා ඉක්‌මනින් චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද මහෙස්‌ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියාය.

සැකකාර සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ විනයාරක්‍ෂණාධිපති බ්‍රිගේඩියර් ජගත් විෙ-සිරි මහතා නඩු වාර්තාවේ අත්සන් කර බාර ගන්නා ලෙසට රාජරත්න මහත්මිය නියම කළාය.

ඊට පසු අවස්‌ථාවකදී පැමිණිල්ලට අදාළව වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් කරුණු දැක්‌වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාව ඇතුළත් සටහන් පොත විමර්ශනයට අදාළව ඇගෙන් ඉල්ලා සිටියද ඇය එම සටහන් පොත ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත් එම සටහන් පොත අධිකරණ නියෝගයක්‌ මගින් තමන් වෙත භාරදෙන ලෙසට ඉල්ලා සිටියේය.

අධිකරණය මගින් කළ නියෝගයකට අනුවනීතිඥවරයකු සමග පෙනී සිටි ජෑන්ස්‌ මහත්මිය අදාළ සම්මුඛ සාකච්ඡාව සටහන් කොටගෙන තිබූ සටහන් පොත කොළඹ හිටපු ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය වෙත භාර දෙනු ලැබුවාය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතාගේ හා විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලීන් ලද්දුවහෙට්‌ටි මහතාගේ පරීක්‍ෂා කිරීමකින් අනතුරුව අදාළ සටහ න් පොතේ පිටු ගණන ගැන නිරීක්‍ෂණය කර ඒ පිළිබඳ පැමිණිලි ගොනුවේ සටහන් යෙදූ මහෙස්‌ත්‍රාත්වරිය එම සටහන් පොත මුද්‍රd තබා අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට නියෝග කළාය.

කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ සිද්ධියට අදාළ කරුණු විමර්ශනය අවසන් වී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හිටපු නීතිපති මොහාන් පීරිස්‌ මහතා විසින් 2010 ජුලි මස 21 දා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේය.

චෝදනා පත්‍රය

වර්ෂ 2009 ක්‌ වූ දෙසැම්බර් මස 08 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ 07 රාජකීය මාවතේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ සමග පැවැති පුවත්පත් සම්මුඛ සාකච්ඡාවේදී ත්‍රස්‌තවාදයට එරෙහිව රජය මගින් ගෙන ගිය මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේa අඥපතිව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කතා කොට “යටත් වීමට උත්සාහ දරණ කිසිදු එල්. ටී. ටී. ඊ. නායකයකුට යටත් වීමට ඉඩ නොදෙන ලෙසටද ඔවුන් සියලුදෙනාම මරා දැමිය යුතු බවට ද කියා සිටි බවට පැවසීමෙන් මහජනයා බියවැද්දිය හැකි හෝ මහජනයා කැළඹිය හැකි ව්‍යාජ ප්‍රකාශයක්‌ කට වචනයෙන් හෝ වෙන කවර හෝ ක්‍රමයකින් පැතිරවීමෙන් හෝ විසුරුවා හැරීමෙන් හා කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ජාතිවාදී හැඟීම් ඇවිස්‌සෙන සුළු යම් කරුණක්‌ සම්බන්ධයෙන් තොරතුරු සැපයීමෙන් හදිසි අවස්‌ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝජනයන්හි අංක 28 හා 29 නියෝගයන් උල්ලංඝනය කළ බවද එසේ හෙයින් එම නියෝගවල 45(1) නියෝග යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්‌ සිදු කළ බවට ද ලංකාණ්‌ඩුවට විරුද්ධත්වයක්‌ දැක්‌වීමේ හැඟීම් ඇවිස්‌සීමෙන් හෝ ඇවිස්‌සීමට තැත්කිරීමෙන් හෝ ජනතාව අතර සතුරු වූද අසමගි වූද හැඟීම් වැඩිදියුණු කිරීමට තැත් කිරීමෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේa 120 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්‌ සිදු කළ බවටද හිටපු නීතිපති මොහාන් පීරිස්‌ මහතා විසින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි අධි චෝදනා ගොනු කර තිබිණි.

මේ අතර සරත් ෆොන්සේකා මහතාට ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍ර විභාග කිරීම විශේෂ අධිකරණ කටයුත්තක්‌ ලෙස සලකමින් ජූරි සභාවක්‌ නොමැතිව මහාධිකරණයේ විශේෂ අධිකරණයක්‌ ඉදිරියේ විනිසුරුවරුන් තිදෙනෙක්‌ විසින් විභාගයක්‌ පැවැත්විය යුතු බව හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා විසින් කරනු ලැබූ නියෝගයක්‌ පරිදි මහාධිකරණ විනිසුරුවන් වන දීපාලි විඡේසුන්දර (සභාපති විනිසුරුවරිය) ඩබ්ලිව් එම්. ටි. බී. වරාවැව සහ එම්. ඉසෙඩ් රාශින් යන මහත්ම මහත්මීන් ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක්‌ හමුවේ මෙම නඩු විභාගය කැඳවන්නට යෙදුණි.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට එරෙහි ගොනු කර තිබූ චෝදනා පත්‍රය මහාධිකරණ භාෂණ පරිවර්තක විසින් කියවා දෙනු ලැබූ අවස්‌ථාවේදී චෝදනාවලට තමන් නිවැරැදිකරු බවට ඒ මහතා දන්වා සිටියේය.

පැමිණිල්ල මගින් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනාවන් ඔප්පු කිරීමට සාක්‌කිකරුවන් 20 දෙනකු නම් කර තිබූ අතර පළමු කොට සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය සාක්‌කි විමසීමට කැඳවනු ලැබීය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ ජෑන්ස්‌ මහත්මිය සාක්‌කි දෙමින් .ඨදඒ ධාeර එයෑප එද ඉe Sයදඑ, – Saර්එය ඡදබිeන් (ගෝඨා ඔවුන්ට වෙඩි තබන ලෙසට අණ කළා (සරත් ෆොන්සේකා) යනුවෙන් තමන් සිය පුවත්පතට 2009 දෙසැම්බර් 13 දා ප්‍රවෘත්තියක්‌ පළ කළ බවත් එය සකස්‌ කරනු ලැබූයේ සරත් ෆොන්සේකා මහතා පැවසූ කරුණු මත බවත් කියා සිටියාය. ප්‍රවෘත්යන් කියෑවෙන සිද්ධිය ආන්දෝලනාත්මක එකක්‌ වූ නිසා පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙසින් පළ කළ බව ද කියා සිටි ජෑන්ස්‌ මහත්මිය විත්තිකරු හමුදා සේවයේ යෙදී සිටියදීම හඳුනන බවත් සිය පුවත්පතේ කළමනාකාරීත්වය ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීමට තීරණය කර තිබූ බවත් කියා සිටියාය.

යුද්ධයේ අවසන් අදියරයේදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සරත් ෆොන්සේකා මහතාගෙන් විමසීම් කරන විට එතැන සිටි ඡායාරූප ශිල්පියාට හා මාධ්‍යවේදියාට ඉවත්වන ලෙසට ලාල් වික්‍රමතුංග මහතා කළ දැනුම් දීමක්‌ අනුව ඔවුන් පිටතට ගිය බවද කියා සිටි ජෑන්ස්‌ මහත්මිය එහිදී ලාල් වික්‍රමතුංග මහතා සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්නයක්‌ අසමින් ලසන්ත මැරුවේ කවුද? කියා විමසීමක්‌ කළ බවත් පවා සිටියාය.

අනතුරුව මානුෂීය මෙහෙයුමේ අවසන් භාගයේදී යටත් වීමට පැමිණි කොටි නායකයන් කීපදෙනකු මරාදමා ඇති බවට ආරංචියක්‌ තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ යනුවෙන් තමන් කළ විමසීමකදී සරත් ෆොන්සේකා මහතා ඔහුට යම් අයෙක්‌ එවැනි දෙයක්‌ කී බවට ඔහු කියා සිටි බවද සාක්‌කි දෙමින් පැවසූ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්‍ෂකයෙක්‌ වූ හෙයින් අනෙක්‌ ප්‍රතිවාදියා වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරයා නීත්‍යනුකූල නොවන අයුරින් නියෝග නිකුත් කිරීම පිළිබඳ ප්‍රවෘත්ති සකස්‌ කර පළ කරන්නට වූ බවත් ඒ මහතා එම පුවත කිසි විටක ප්‍රතික්‍ෂේප කිරීමක්‌ කළේ නැති බවත් පැවසුවාය.

තමන් අධිකරණය භාරයට පත් කළ සටහන් පොතේ පසුපිටු ගැලවී යැම පිළිබඳ කිසිවක්‌ කියන්න බැරි බව පැවසූ සාක්‌කිකාරිය සටහන් පොත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී බාර දෙන විට හොඳින් තිබූ බවත් තමන් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාගෙන් ඇසූ කිසිම ප්‍රශ්නයක්‌ සටහන් කර ගත්තේ නැති බවත් කියා සිටියාය.

විත්තිකරු සමග කළ සම්මුඛ සාකච්ඡාවෙන් සකස්‌ කළ ලිපියට අදාළව උසාවි එන්න වේ යෑයි තමන්a නොසිතූ බව ද සාමාන්‍යයෙන් සම්මුඛ සාකච්ඡා පටිගත කරනු ලැබූවද සරත් ෆොන්සේකා මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව පටිගත කිරීමට යන්ත්‍රයක්‌ ගෙන යැමට නොහැකි වූ බවද ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් සාක්‌කි දෙමින් කියා සිටියාය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලීන් ලද්දුවහෙට්‌ටි මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකාර ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය, සරත් ෆොන්සේකා මහතා නඩුවට අදාළ ප්‍රකාශය තුන්වැනි පාර්ශ්වයකින් අසා දැනගත් එකක්‌ බවට තම ලිපියට ඇතුළත් නොකළ බවත් ඒ පිළිබඳව සඳහන් කිරීමට පසුව සිතා සිටියත් පුවත්පත මුද්‍රණය කර අවසන් වී තිබූ නිසා එය සිදු කිරීමට නොහැකි වූ බවත් කීවාය.

සාක්‌කිකාර ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගේ සටහන් පොතේ අදාළ ප්‍රශ්නගත ප්‍රකාශය ලියා තිබූ පිටුව හා අනෙක්‌ පිටුවල වෙනසක්‌ ඇති බවට නලීන් ලද්දුවහෙට්‌ටි මහතා කළ පෙන්වාදීම විනිසුරු මඩුල්ලේ ද නිරීක්‍ෂණයන්ට ලක්‌ වූ අතර ඒ වෙනුවෙන් සාක්‍ෂි ලබාගෙන පැහැදිලි කිරීමට සටහන් පොත භාරගත් කොළඹ හිටපු ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය කැඳවන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක්‌ කරනු ලැබුවේය.

කර්තෘ සංසදයේ සම්මාන උළෙලකට සුදු කොඩි කතාවට අදාළව “සන්ඩේ ලීඩර්” පුවත්පතට තමන් විසින් සකස්‌ කළ ප්‍රවෘත්තිය ඉදිරිපත් කළ බවට විත්තියේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු කියා සිටි ජෑන්ස්‌ මහත්මිය ඊට සම්මානයක්‌ නොලැබීම පිළිබඳ තමන් කනගාටු වූ බවද කියා සිටියාය.

මේ වනවිට නඩු විභාගය පවතින අවස්‌ථා කීපයකදී අධිකරණ ශාලාවේ විදුලිය ඇනසිටීම පිළිබඳව දැඩි දෝෂදර්ශනයට ලක්‌ කළ විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව විමර්ශනයක්‌ පවත්වන ලෙසට ද නියෝග කළේය.

සාක්‍ෂිකාර ජෑන්ස්‌ මහත්මියගේ සාක්‍ෂි ලබාදීම යම් මාධ්‍ය ආයතනයක්‌ විකෘති කරනවා නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවත් එසේ නැතිව එම මාධ්‍ය ආයතනවලට එරෙහිව තමන්ගේ පුවත්පත වන “සන්ඩේ ලීඩර්” පුවත්පත මගින් කිසිදු ප්‍රවෘත්තියක්‌ පළ නොකරන ලෙසට විනිසුරු මඩුල්ල මගින් ජෑන්ස්‌ මහත්මියට දැඩි ලෙස අවවාද කරනු ලැබුයේ විත්තියේ නීතිඥවරයා කළ දැනුම්දීමක්‌ අනුවය.

නඩු විභාගය පවතින අතරතුර සාක්‍ෂි සටහන් ලබා ගැනීමටද එරෙහිව ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය වෙත විනිසුරු මඩුල්ල තරයේ අවවාද කරනු ලැබුවේය.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා කළ දැනුම්දීමක්‌ අනුව ඔහුව අධිකරණය වෙත රැගෙන එන හා ආපසු ගෙන යන විටදීත් අධිකරණ භූමිය තුළදීත් ඔහුට පූර්ණ ආරක්‍ෂාවක්‌ සපයන ලෙසට විනිසුරු මඩුල්ල බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කළේය.

ඉන් අනතුරුව සාක්‍ෂි සඳහා කැඳවනු ලැබුයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතා මෙහෙයවීම මත සාක්‍ෂි දුන් ඒ මහතා අධිකරණයට කරුණු දක්‌වමින් මානුෂීය මෙහෙයුqමේදී යටත්වීමට පැමිණි කිසිවකුට හමුදාව මගින් වෙඩි තැබීමක්‌ සිදු නොකළ බවත් ජාත්‍යන්තර ප්‍රජාව පැවැති යුද්ධයේදී මානුෂික අයිතිවාසිකම් කඩවීමක්‌ ගැන නිරන්තර අවධානයෙන් සිටියත් සිවිල් ජනතාවට සුළු හෝ හානියක්‌ නොවන ලෙසින් යුද්ධය පැවැති බවත් කියා සිටියේය.

“සන්ඩේ ලීඩර්” පුවත්පත මගින් සිදධියට අදාළව පළවූ ප්‍රවෘත්තිය යුද වැදුණු රණවිරුවන්ට කළ අවමානයක්‌ බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී පෙන්වා දුන්නේය.

ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සාක්‍ෂි මෙහෙයවීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්‌ඩාර මහතාට නඩු විභාගයෙන් ඉවත්ව යැමක්‌ සිදු වූ අතර ඒ වෙනුවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බුවනෙක අළුවිහාරේ මහතාව පත් කරනු ලැබීය.

සුදු කොඩි කතාවෙන් පසු ලංකාව මානව හිමිකම් කඩ කර ඇති බවට ජාත්‍යන්තර සංවිධාන මගින් වාර්තා නිකුත් කිරීමක්‌ කළ බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කේෂනුකා සෙනෙවිරත්න මහත්මිය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියාය.

ජනාධිපතිවරණ සමයේදී සරත් ෆොන්සේකා මහතා 2009 දෙසැම්බර් 23 දා රත්නපුර පැවැති රැලිsයකදී කළ කතාවක්‌ ඇතුළත් දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය කළ ප්‍රවෘත්තියේ සංයුක්‌ත තැටිය අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල සම්පූර්ණ ප්‍රවෘත්තිය ඇතුළත් සංයුක්‌ත තැටිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට එම නාලිකාවට නියෝගයක්‌ ද නිකුත් කළේය.
‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගේ සටහන් පොත භාර ගනු ලැබූ කොළඹ හිටපු ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය සාක්‍ෂි දෙමින් අදාළ සටහන් පොත තමන් භාරයට ගන්නා විට එහි වෙන්වීමක්‌ නොතිබූ බවට කියා සිටියාය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දීමට කැඳවනු ලැබුයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බුවනෙක අලුවිහාරේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දුන් රාජපක්‍ෂ මහතා වර්ෂ 2009 දෙසැම්බර් 13 දා සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ ආකාරයේ නියෝගයක්‌ තමන් විසින් කිසි විටෙක සිදු කොට නැති බවත් එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක්‌ බවත් කියා සිටියේය.

තමන් විසින් එවැනි නියෝගයක්‌ සිදු කළේ දැයි විත්තිකරු කිසිවිටෙක තමන්ගෙන් විමසීමක්‌ නොකළ බවද පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා රජයක්‌ ලෙස භාර වීමට යමෙක්‌ පැමිණියේ නම් භාරගත යුතු බවත් පැවැති මානුෂීය මෙහෙයුමේදී හමුදාවට 11968 ක පිරිසක්‌ භාර වූ අවස්‌ථාවේදී ඒ අයට හොඳින් සලකා පුනරුත්ථාපනයට යෙදවීමට උපදෙස්‌ ලබා දුන් බවත් පැවසුවේය.

ත්‍රස්‌තවාදයට එරෙහි රජය මගින් ගෙන ගිය මානුෂීය මෙහෙයුමේදී කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්‌ටර්, භාෂා පරිවර්තක ජෝර්ඡ් මාස්‌ටර් වැනි නායකයන්ද කාන්තා අංශයේ නායිකා කමලනී හා වෛද්‍යවරුන්ද වූ බව කියා සිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ පුවත තුළින් රජයටත් තමාටත් විශාල විරෝධතා රැසකට මුහුණ දෙන්නට සිදුවූ බවත් හිටපු යුද හමුදාපතිවරයා විසින් එම ප්‍රකාශය කර තිබූ නිසා බොහෝ දෙනකු එය විශ්වාස කළ බවත් දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පවා රජයට එරෙහිව ක්‍රියා කරන්නට පෙළැඹුණු බව ද පෙන්වා දුන් රාජපක්‍ෂ මහතා හමුදාවට එරෙහිව පරීක්‍ෂණ පවත්වන ලෙසට ඔවුන්ගෙන් බලපෑම් එල්ලවූ බවට කියා සිටියේය.

එහිදී විත්තිය වෙනුවෙන් කළ ප්‍රශ්න කිරීමකදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව ගල්කිස්‌ස දිසා අධිකරණය හමුවේ වන්දි නඩුවක්‌ ගොනුකර ඇති බවට කරුණු අනාවරණය වීමක්‌ සිදුවිය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස කැඳවන්නට යෙදුණු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී පොලිස්‌ පරීක්‍ෂක අනුර සිල්වා මහතා සාක්‍ෂිදෙමින්a සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය මෙම නඩුවට අදාළ පැමිණිල්ලේ පැමිණිලිකාරියද යන්න හා පොලිස්‌පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට නියෝග කළ දිනය තමන්a නොදන්නා බවත් සිද්ධියට අදාළව මුලින් පරීක්‍ෂණ කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නිමල් සමරසේකර මහතාගේ ඉවත්ව යැමෙන් 2010 අප්‍රේල් මස සිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ නියෝගයක්‌ අනුව තමන් විමර්ශන කටයුතු භාරව ක්‍රියා කළ බවත් පැවසුවේය.

නඩු විභාගයේ පැමිණිල්ලේ සාක්‍ෂි කැඳවීම 2011 පෙබරවාරි 08 දායින් අවසන් වූ අතර නම් කර තිබූ සාක්‍ෂිකරුවන් විසි දෙනකුගෙන් දාහත්දෙනකු සාක්‍ෂි ලබාදෙන ලදී.

අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්‍ෂි කැඳවීමට තීරණය වුවද සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලීන් ලද්දුවහෙට්‌ටි මහතාගේ ඉල්ලීමකට අනුව විත්තිකරුගේ විත්ති වාචිකය කැඳවීමට විනිසුරු මඩුල්ල අවසර ලබාදුන්නේය.

ඒ අනුව විත්ති කූඩුවේ සිට විත්ති වාචිකය ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් මාතෘ භූමිය අවමානය ලක්‌ කරන හෝ තම නියෝග අනුව උපන් දේශය බේරා ගැනීමට සටන් වැදුණු රණවිරුවන් අපහසුතාවට පත් වන කිසිදු ප්‍රකාශයක්‌ නොකළ බවය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය තමාගෙන් අසන ලද ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුර ඇගේ වචන යොදා විකෘති කොට පළ කර ඇති බවද කියා සිටි ෆොන්සේකා මහතා මරණ මංචකය අබියසට තෙවරක්‌ ගොස්‌ පැමිණි තමා 40 වසරක්‌ වූ සිය හමුදා ජීවිතය තුළදී හෝ අන් කිසිම අවස්‌ථාවකදී හෝ මව්බිම පාවාදීමක්‌ නොකළ බවද කියා සිටියේය.

තිස්‌ වසරක්‌ පුරා රට තුළ පැවැති යුද්ධය තමාගෙන් පසු පත්වන හමුදාපතිවරයකුට භාරදීමක්‌ සිදු නොකරන බවට රටට, ජනතාවට ලබාදුන් පොරොන්දුව අභිමානවත් ලෙසින් ඉටු කරමින් තමා සැබෑ දේශප්‍රේමියකු බවට ඔප්පු කර ඇති බවද පෙන්වාදුන් සරත් ෆොන්සේකා මහතා ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය හා ලාල් වික්‍රමතුංග මහතා අදාළ ප්‍රවෘත්තිය පළවූ පසුව තමන් වෙත පැමිණ කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප නොකරන ලෙසත් තමන් එම කතාව ප්‍රතික්‍ෂේප කරනු ලැබුවහොත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇයව අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත් බැගෑපත්ව කියා සිටියේ යෑයි පැවසුවේය.

තමන් සන්ඩේ ලීඩර් පුවත්පතට එහි මාධ්‍යවේදී රශ්මික්‌ විඡේවර්ධන මහතා සමග පුවත්පත් සාකච්ඡාවක්‌ සිදු කළා මිස ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය සමග කිසි දිනක පුවත්පත් සාකච්ඡාවක්‌ සිදු නොකළ බවත් විඡේවර්ධන මහතා සමග සිදු කළ පුවත්පත් සාකච්ඡාවට ඇයද සහභාගි වූවාට ඇය තමාගෙන් කිසිදු ප්‍රශ්නයක්‌ ඇසුවේ නැති බවත් ඇය එහිදී සටහන් පොතක්‌ භාවිත කළේ නැති බවත් සරත් ෆොන්සේකා මහතා විත්ති වාචිකයේදී කියා සිටියේය.

අසත්‍ය පුවතක්‌ පළ කර එයින් බේරීමට අන් අයකුගේ වුවමනාවකට නිර්මාණය කළ සටහන් පොතක්‌ ජෑන්ස්‌  මහත්මිය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවද කියූ හිටපු යුද හමුදාපතිවරයා තමා දේශපාලනයට පිවිස රට තුළ දෙවැනි මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබුයේ බොරු දේශප්‍රේමීත්වයක්‌ පෙන්වා ජනතාව මුළා කරන දේශපාලනඥයන් ඇති කර තිබෙන දූෂිත දේශපාලන සංස්‌කෘතීන්ට එරෙහිව බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

පැවැති මානුෂීය මෙහෙයුමේදී සුදු කොඩි ඇතිව හෝ නැතිව පැමිණි කිසිම ත්‍රස්‌තවාදියකුට වෙඩි සිදු නොවූ බවද යටත් වූ විශාල පිරිසකට හොඳින් සැලකූ බව ද අවධාරණ කළ සරත් ෆොන්සේකා මහතා තමන්ට එරෙහි මෙම අධිකරණ ක්‍රියාදාමයේදී මුළු අධිකරණ පද්ධතියට ම ආදර්ශයක්‌ වෙමින් මුළු රටේම ගෞරවයට පාත්‍ර වෙමින් යුක්‌තිය හා සාධාරණත්වය මත පිහිටි තීන්දුවක්‌ ලබාදෙනු ඇතැයි විත්තිකූඩුවේ සිට විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව එම සංගමයේ විශේෂ නියෝජිතයෙක්‌ ලෙස ඕස්‌ටේ්‍රලියානු ජාතික මාර්ක්‌ ත්‍රොaපල් මහතා සුදු කොඩි නඩුව විභාග වන අයුරු නිරීක්‍ෂණයට පැමිණියේය.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතා විත්ති කූඩුවේ සිට දින 06 ක්‌ විත්ති වාචිකය සිදුකළ අතර අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්‍ෂි කැඳවීමට අධිකරණය මගින් අවසර ලබාදුන්aනේය.

ඒ අනුව සිද්ධියට අදාළව විමර්ශන පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂක අනුර සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ හා ශේ්‍රෂ්ඨාධිකරණයේ විභාග වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ පෙත්සම් කීපයක්‌ විභාග වූ බවත් විත්තියේ සාක්‍ෂි මගින් තහවුරු කරගනු ලැබීය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයා විසින් පත් කළ දරුස්‌මාන් කමිටුවේ වාර්තාවේ කිසිදු තැනක සුදු කොඩි සිද්ධිය ගැන සඳහන් වීමක්‌ නොවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධාන කටයුතු භාර මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල් සී. ඒ. එච්. එම්. විඡේරත්න මහතා විත්තිය වෙනුවෙන් සාක්‍ෂි දෙමින් කියා සිටියේය.

විත්තිය වෙනුවෙන් සාක්‍ෂිකරුවන් දොළොස්‌දෙනකු නම් කර එයින් සාක්‍ෂිකරුවන් 08 දෙනකු සාක්‍ෂි සඳහා කැඳවනු ලැබූ අතර ඒ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංගී්‍රසි භාෂා මහාචාර්ය ඈෂ්ලි හල්පේ, කර්තෘ සංසදයේ සුකුමාර් රොක්‌වුඩ් මහත්වරුන් හා කොළඹ මහාධිකරණයේ හා ශේ්‍රෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරු වූහ.

නඩු විභාගයට අදාළව දෙපාර්ශ්වයේම සාක්‍ෂි කැඳවීමෙන් අනතුරුව නීතිඥ දේශන පැවැත්වීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ දේශනය පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අලුවිහාරේ මහතා අධිකරණය අමතමින් විත්තිකරු සිය විත්තිවාචිකය පවත්වමින් හමුදාවේ විනය පවත්වාගෙන යැමට ඔහු දැඩිව පියවර ගත් බවට කියා සිටියත් තමන් යටතේ සිටි නිලධාරීන් භාරවීමට පැමිණි කොටි නායකයන්ට වෙඩි තැබීම වැනි හමුදාවේ ගෞරවයට විශාල කැළලක්‌ ඇතිකරන විනය විරෝධී ක්‍රියාවක්‌ කළ විට එයට එරෙහිව පියවර නොගැනීම ගැටලු සහගත බවට පෙන්වා දුන්නේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග තිබූ පෞද්ගලික විරසකයක්‌ හේතුවෙන් විත්තිකරු මෙවැනි වෙඩි තැබීමක්‌ ගැන මාධ්‍යවේදීන්ගෙන් දැන ගන්නට ලැබුණේ යෑයි කියා ඇති බවද පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාව කොටි ත්‍රස්‌තවාදීන් හා හමුදාව අතර ගැටුම් පැවැති කාලයේදී සිදුවූ දෙයක්‌ අරබයා මෙම නඩු විභාගය පැවැති බවත් එවැනි දෙයක්‌ සිදුවී නැති බවට විත්තිය මගින් ද පිළිඅරන් ඇති බවත් කියා සිටියේය.

පැමිණිල්ලේ සාක්‌කි කැඳවීමෙන් අනතුරුව විත්තිකරුගේ විත්ති වාචිකය කැඳවීමට අධිකරණය තීරණය කළේ චෝදනා පිළිබඳව සෑහීමකට පත් වූ නිසාවෙන් බවත් විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ විත්ති වාචිකය තුළින් පැමිණිල්ල තහවුරු වී ඇති බවත් අළුවිහාරේ මහතා කියා සිටියේය. එහිදී විනිසුරු වරාවැව මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අමතමින් විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශවලින් ද පැමිණිල්ල ඔප්පු කරන්න හදන්නේ පැමිණිල්ලේ සාක්‌කිවලින් නොවේ දැයි විමසීමක්‌ කරනු ලැබුවේය.

විත්තිකරුගේ හමුදා සේවය පැමිණිල්ල මගින් අවතක්‌සේරුවට ලක්‌නොකරන බවට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඔහුගේ හමුදා සේවය, ඔහු හමුදා සේවයට ලබාදුන් දායකත්වය අදාළ ප්‍රකාශය කළාද, නැති ද යන්න තීරණය කිරීමට බලපෑමක්‌ කර ගත නොහැකි බවත් විත්තිකරු යටතේ සියලු හමුදාවන් පැවැති මානුෂීය මෙහෙයුමේ ක්‍රියාන්විතව යෙදී සිටි බවත් පැවසුවේය.

අදාළ පුවත්පතේ පළවූ විත්තිකරු ලබාදුන් පිළිතුරද ඔහු විත්ති කූඩුවේ සිට විත්ති වාචිකය ද පිළිගත්තේය කියා අධිකරනය සිතා බැලිය යුතු බවත් විත්ති වාචිකය තුළින් ඔහු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කෙතරම් විරසකව සිටියාද යන්නත් එවැනි විරසකව පසුවූ පුද්ගලයකු මෙවැනි පෙළඹීමකට හේතුවන බවත් පැවැසූ අළුවිහාරේ මහතා විත්තිකරුගේ විත්ති වාචිකය කිසි ලෙසකින් පිළිගත හැකි එකක්‌ නොවන බවත් එය ප්‍රතික්‍ෂ්ප කරන ලෙස ඉල්ලා සිටින බවත් දැනුම් දුන්නේය.

පැමිණිල්ල මගින් කැඳවන්නට යෙදුනු කිසිදු සාක්‌කියක්‌ විත්තිය අභියෝගයට ලක්‌කර නැති නිසා ඒවා පිළිගත හැකි සාක්‌කි බවත් විත්තිය මගින් කැඳවන්නට යෙදුනු සාක්‌කි තුළින් පැමිණිල්ල තවත් තහවුරු කළ බවත් පැවැසූ බුවනක අළුවිහාරේ මහතා විත්තියේ සාක්‌කිකරුවන්ගේ පක්‍ෂග්‍රාහී බව හා එම සාක්‌කි තරයේ පිළිගත හැකි ඒවා නොවන බව එම පැමිණිල්ල මගින් ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට ඇතැයි පෙන්වා දුන්නේය.

විත්තිකරුට එරෙහි නගා ඇති පළමු චෝදනාව අදාළ ප්‍රකාශය සිදුකිරීම එය කටකතාවක්‌ වීම හා ඒ තුළින් මහජන බියවැද්දීමක්‌ හා කැළඹීමක්‌ ඇතිවීම යන පදනම් තුනක්‌ යටතේ විග්‍රහයට ගත හැකි බවද කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්‌කිකාර ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගේ සාක්‌කිය තුළ විත්තිකරු අදාළ ප්‍රකාශය කළ බවට තහවුරු වී ඇති බවත් එවැනි ප්‍රකාශයක්‌ පැවසීමෙන් කටකතාවක්‌ කර ඇති බවට පෙනී ගොස්‌ ඇති බවත් කියා සිටියේය.

විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ විත්ති වාචිකය තුළින්ම එය කටකතාවක්‌ හා ව්‍යාජ ප්‍රකාශයක්‌ බවට තහවුරු වන බවත් එම ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක්‌ හෝ බියවැද්දීමක්‌ සිදුවිය හැකි යන්න අධිකරණය සිතා බැලිය යුතු බවත් පෙන්වා දුන් අළුවිහාරේ මහතා ජාත්‍යන්තරව රජයට විශාල විරෝධයක්‌ එල්ල වූයේ ඒ නිසා යෑයි පැවැසුවේය.

වසර 30 කට ආසන්න කාලයක්‌ පුරා පැවැති ජාතීන් අතර බෙදී වෙන්වීම නිමා වූ අවස්‌ථාවක යම් කෙනකුගේ ක්‍රියාදාමයක්‌ තුළින් එය නැවත ඇතිවීමක්‌ සිදුවුවහොත් එයින් ජාතිවාදී හැඟීම් ඇවිස්‌සීමක්‌ සිදුවන බවද අවධාරණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තිකරු විත්ති කූඩුවේ සිට අදාළ ප්‍රකාශය නොකළ බවට කියා සිටියද මාධ්‍යවේදීන් දෙදෙනකුගෙන් එය දැනගන්නට ලැබුණේ යෑයි කියා සිටියේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.

පැමිණිල්ල මගින් කැඳවනු ලැබූ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගේ සාක්‌කිය පිළිගන්නේ නම් විත්තිකරුට එරෙහි නගා ඇති තුන් වැනි චෝදනාවද පිළිගන්නා ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටි අළුවිහාරේ මහතා විත්තිකරුට එරෙහි නගා ඇති චෝදනා ඔප්පු කිරීමට දෙස්‌ විදෙස්‌ නඩු තීන්දු කීපයක්‌ ද ගෙන හැර පාමින් අධිකරණයට දක්‌වා සිටියේය.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ දේශනය පවත්වමින් අධිකරණය අමතන්නට වූ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා පැමිණිල්ල මගින් විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා තුනම දොaෂ සහිත පිළිගැනීමට හැකි ඒවා නොවන බවත් එම චෝදනා කිසිවක්‌ විත්තිකරුට අදාළ කරගත හැකි ඒවා නොවන බවත් කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනාවන්ට අදාළව පවතින මෙම නඩුවේ නීතිමය තත්ත්වය හා සාක්‌කි මෙන්ම ඒවා නඩුවට කොතෙක්‌ දුරට බලපාන්නේ දැයි යන කරුණු දෙක යටතේ විමසීමක්‌ කළ යුතු බවද පෙන්වා දුන් ලද්දුවහෙට්‌ටි මහතා මෙම නඩු විභාගය මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් වාද විවාද වූ නඩුවක්‌ වන අතර මාධ්‍ය භාවිතය එහි හසුරුවන්නන්ට අනුව සිදු කළ හැකි එකක්‌ බවට කියා සිටියේය.

මෙම නඩුවට අදාළව පැමිණිල්ල මගින් ගොනු කර ඇති චෝදනා තුනම සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මියට එරෙහිව එල්ල කරන්න සූදානම්ව ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සකස්‌ කර අවසන් මොහොතේදී විත්තිකරු භාරයට පත් කරනු ලැබූ බවට නීතිඥ ලද්දුවහෙට්‌ටි මහතා සිය දේශනය අරඹමින් කියා සිටියේය.

විත්තිකරුට එරෙහි නගා ඇති දෙවැනි චෝදනාවේ සඳහන් හදිසි අවස්‌ථා නියෝගයන්හි 29 වැනි නියෝගයෙන් කියෑවෙන්නේ කෙළින්ම හෝ අන්‍යාකාරයකින් ජාතිවාදී හැඟීම් ඇවිස්‌සෙන සුළු යම් කරුණක්‌ සම්බන්ධයෙන් තොරතුරු සැපයීමෙන් යන්න බවද පෙන්වා සිටි නීතිඥවරයා විත්තිකරු එවැනි කිසිදු ප්‍රකාශයක්‌ මුද්‍රණය කර හෝ පළකර නැති බවට පැහැදිලි බවත් තොරතුරු සපයන්නාට එරෙහිව එම නියෝග ප්‍රකාරව චෝදනා එල්ල කළ නොහැකි බවත් පැවැසුවේය.

විත්තිකරු මුද්‍රණකරුවෙක්‌ හෝ ප්‍රකාශකයෙක්‌ හෝ නොවන බවද කී ලද්දුවහෙට්‌ටි මහතා මෙම ප්‍රශ්නය ගැන ප්‍රකාශය ඇතුළත් පුවත මුද්‍රණය කළේ සන්ඩේ ලීඩර් පුවත්පත් ආයතනය හිමි ලාල් වික්‍රමතුංග මහතා බවත් එය ප්‍රකාශනය කර ඇත්තේ එම පුවත්පතේ කර්තෘ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය බවත් ඒ අනුව එම චෝදනාව විත්තිකරුට අදාළ කරගත නොහැකි බවට පෙන්වා දුන්නේය.

පැමිණිල්ල කියන අයුරින් චෝදනා පත්‍රයේ සඳහන් කිසිවක්‌ විත්තිකරු නොකී බවත් ඔහු යමක්‌ එදින ජෑන්ස්‌ මහත්මිය සමග සාකච්ඡා කළා නම් සාකච්ඡා කළේ ඉංගී්‍රසි භාෂාවෙන් බවත් පැවැසූ නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා විත්තිකරු පැවසූ වදන් පරිවර්තනය කළ අයෙක්‌ නොමැති නිසා එම චෝදනා සාවද්‍ය ඔප්පු කළ නොහැකි ඒවා බවට කියා සිටියේය.

මෙවැනි නඩු විභාගවලදී ලබා දී ඇති තීන්දු අනුව භාෂාවක්‌ පරිවර්තනය වී ඇත්නම් එම පරිවර්තනය ඉතා වැදගත් බවට දන්වා ඇති බවත් ඒ තුළින් ම පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට කැඳවනු ලැබූ සාක්‌කි විමසීමක්‌ නොකළ යුතු බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

පැමිණිල්ල විසින් විත්තිකරු වරදකරු කරන ලෙසට ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සාක්‌කිකාර ජෑන්ස්‌ මහත්මිය ලබාදුන් සාක්‌කිය පමණක්‌ පදනම් කොට ගෙන බව ද අදාළ පුවත්පත් සාකච්ඡාවට හතරදෙනෙක්‌ ගොස්‌ සහභාගි වී තිබියදී අනෙක්‌ තුන්දෙනා සාක්‌කි සඳහා කැඳවනු ලැබුවේ නැති බව ද කියා සිටි ලද්දුවහෙට්‌ටි මහතා ජෑන්ස්‌ මහත්මියගේ සාක්‌කිsය කිරා මැන බැලිය යුතු එකක්‌ හෙයින් විටින් විට එකිනෙකට පරස්‌පර වෙනස්‌ දේවල් කියූ ඇගේ සාක්‌කිය පිළිගන්නවාද, ලංකාවේ සිටින එකම තරු හතරේ ජෙනරාල්වරයාගේ සාක්‌කිය පිළිගන්නවාද කියා අධිකරණය ඉතා කල්පනාකාරී ලෙස සිතා බැලිය යුතු බවට පැවසුවේය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ 2009 දෙසැම්බර් 13 දා පළ වූයේ එහි මාධ්‍යවේදී රශ්වික්‌

විඡේවර්ධන මහතා විත්තිකරු සමඟÊකළ සම්මුඛ සාකච්ඡාවක්‌ බවත් එය රශ්වික්‌ මහතා ඇසූ ප්‍රශ්න හා විත්තිකරු ඒවාට ලබාදුන් උත්තර ලෙසින් පළ වී තිබූ බවත් පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා සාක්‌කිකාර ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය එහි ගොස්‌ ඇත්තේ සම්මුඛ සාකච්ඡාව නැරඹීම සඳහා බව ද ඇය විත්තිකරු සමඟÊකථා කර ඇත්තේ සම්මුඛ සාකච්ඡාවෙන් පසු පැවැති පිළිසඳරේදී බව ද කියා සිටියේය.

ජෑන්ස්‌ මහත්මිය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපහාස වන ආකාරයේ ලිපි ලියා පළ නොකරන බවට අධිකරණයට පොරොන්දු වී නැවත ලියා පළ කර අධිකරණයටත් අපහාස කර ඇති සමයක මෙම ප්‍රශ්නගත ලිපිය ලියා පළ වූ බවට ඇගේ සාක්‌කිය තුළින් පිළිගත් බව ද ජෑන්ස්‌ මහත්මිය අගවිනිසුරුතුමියට අපහාස වන ආකාරයේ බොරු චෝදනා එල්ල කොට පසුව ඒවා පිළිගෙන සමාව ගත් තැනැත්තියක්‌ බව ද ලද්දුවහෙට්‌ටි මහතා සිය දේශනය තුළින් කරුණු දක්‌වමින් කියා සිටියේය.

සාක්‌කිකාර ජෑන්ස්‌ මහත්මිය නඩුවට අදාළව ඉදිරිපත් කළ සටහන් පොතේ අදාළ පිටුවේ ඇති වෙනස නුදුටුවේ ඇයි දැයි එය ඇය අධිකරණයෙන් වසන් කිරීමට උත්සාහ කළේ දැයි ප්‍රශ්නයක්‌ මතුවන බව කියා සිටි ලද්දුqවහෙට්‌ටි මහතා ඒ අනුව එම සටහන් පොතේ ඇති වෙනස පැමිණිල්ල මගින් ද පිළිගෙන ඇති තත්ත්වයක නඩුවෙන් බැහැර කරලිය යුතු එකක්‌ ලෙසට තීරණය කරන ලෙසට විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

ජෑන්ස්‌ මහත්මියගේ සාක්‌කිය සාධාරණ සැකයෙන් තොරව නොව ෙච්තිය රජු ද අභිබවා ගොස්‌ ඇති එකක්‌ බව ද ඇය නොලිය යුතු දෙයක්‌ ලියා එයින් බේරීමට විත්තිකරුව අසුකර එයින් ඉවත් වී ඇති බව ද කියා සිටි විත්තියේ නීතිඥවරයා ජෑන්ස්‌ මහත්මිය කිසිදු වගකීමකින් හා දැනුවත් භාවයකින් තොරව රටේ විවිධ පුද්ගලයන්ට ඇගේ පුවත්පත තුළින් පහර දෙනු ලැබූ තැනැත්තියක්‌ ලෙසට ප්‍රසිද්ධ කාන්තාවක්‌ බව කියා සිටියේය.

මාධ්‍යවේදියකු ඕනෑම පුවතක්‌ පළ කිරීමට ප්‍රථම එය අදාළ පුද්ගලයන්ගෙන් තහවුරු කර ගත යුතු බව ද පෙන්වා සිටි ලද්දුවහෙට්‌ටි මහතා ඇය ඇගේ ලිපිය සකස්‌ කර පළකිරීමට ප්‍රථම මෙම ප්‍රශ්නගත සිද්ධිය දන්නා ප්‍රධාන පුද්ගලයා වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විමසීමක්‌ කර නැති බව ද ඇය හැඳින්විය හැක්‌කේ පුවත්පතක කර්තෘවරියක්‌ ලෙසට නොව ෙච්තිය රජුගේ බිසව ලෙසට බව ද කියා සිටියේය.
‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය අදාළ පුවත පළ කරනු ලැබුයේ සම්මානයක්‌ ලබා ගැනීමේ උන්මාදයෙන් බවට ඇගේ සාක්‌කි විමසීමේදී හෙළිදරව් වූ බව ද ඇයට අදාළ ලිපියට සම්මාන නොදුන්නාට ඇය කර්තෘ සංසදයට ද පුවත්පත මගින් පහර දෙනු ලැබූ බව ද කියා සිටි නලින් ලද්දුවහෙට්‌ටි මහතා මෙතරම් වැදගත් සම්මුඛ සාකච්ඡාවකට ඇය පටිගත යන්ත්‍රයක්‌ ගෙන නොයැම සැකයට බඳුන් වන්නක්‌ නොවේ දැයි අධිකරණයෙන් විමසා සිටියේය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ 2009 දෙසැම්බර් 13 දා පළ වූ මෙම පුවතටම සමාන පුවතක්‌ ඩේලි මිරර් පුවත්පතේ 2009 මැයි 21 දා පළ වී තිබුණු බව ද අධිකරණයට දන්වා සිටි විත්තියේ නීතිඥවරයා ඩේලි මිරර් පුවත්පතේ ලිපිය අකුරෙන් අකුර කොපි කර ජෑන්ස්‌ මහත්මිය සන්ඩේ ලීඩර් පුවත්පතට ලිපියක්‌ සකස්‌ කර ඇති බවත් ඒ අනුව මෙම ප්‍රශ්නගත ලිපියේ ඇති වචන විත්තිකරුගේ වචන ද ඩේලි මිරර් පුවත්පතේ වචන ද යන්න අධිකරණයේ අවධානයට ගත යුතු බවත් පෙන්වා සිටියේය.

තමන් ලියු ලිපියට සම්මාන ලබා ගැනීමේ කෑදරකමින් හා පත්තරේÊවිකුණා ගැනීමේ ෙච්තනාවෙන් වෙනත් පුවත්පතක ලිපියක්‌ කොපි කර එය තමන් කළ සාකච්ඡාවකින් සකස්‌ කළ ලිපියක්‌ ලෙසින් ජෑන්ස්‌ මහත්මිය ලියා පළකර ඇති බවත්, කී ලද්දුවහෙට්‌ටි මහතා විත්තිකරු ඉතා පැහැදිලිව ඔහුගේ විත්ති වාචිකයේදී එවැනි දෙයක්‌ නොකියූ බවත්, එවැන්නක්‌ තුන්වැනි පාර්ශ්වයකින් දැන ගත් දෙයක්‌ බවත් ඔහුට කියන්න පුළුවන් එවැන්නක්‌ දැන ගත්තේ යෑයි පමණක්‌ බවත් කියා සිටියේය.

මෙම නඩුවට අදාළව පැමිණිල්ල මගින් කැඳවනු ලැබූ වෙනත් සාක්‌කිවලින් වැදගත් කරුණු අනාවරණය වීමක්‌ සිදුÊනොවූ බව පෙන්වා දුන් නීතිඥවරයා මෙම නඩුව පවතින්නේ ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මිය බොරු කියනවාද ඇත්ත කියනවාද යන්න මත බවත් පැමිණිල්ල මගින් විත්තිකරුට එරෙහි කිසිදු චෝදනාවක්‌ ඔප්පු කර නැති බවත් අවධාරණය කළේය.

මෙම නඩුවේ විමර්ශන නිලධාරි පොලිස්‌ පරීක්‍ෂක අනුර සිල්වා මහතාට විමර්ශනයන්ට අදාළව විශාල තෑගි ප්‍රදානයක්‌ හිමි වූ බවත් ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ පැවැති පුද්ගලයකු කෲර ලෙස වධ හිංසනයට ලක්‌ කිරීමේ නඩුවක්‌ නීතිපතිවරයා විසින් ඉල්ලා අස්‌කරගෙන ඇති බවත් කී විත්තියේ නීතිඥවරයා මෙම නඩුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කිරීම අධිකරණයේ අවධානයට ලක්‌ වියයුතු කරුණක්‌ බවත් කියා සිටියේය.

පැමිණිල්ල මගින් කැඳවන්නට වූ සාක්‌කි විමසීමේදී නීතියේ යුවතිය අතැති තරාදියේ එක්‌ පැත්තකට ‍ෙෆඩ්රිකා ජෑන්ස්‌ මහත්මියගේ සාක්‌කියේද අනෙක්‌ පැත්තට විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් වූ සාක්‌කි හා සැලකිරීම් ද දමා සාධාරණ සැකයක්‌ මතුවන්නේ දැයි සිතා බලන ලෙස විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටි නලින් ලද්දුවහෙට්‌ටි මහතා රට වෙනුවෙන් තුන් වතාවක්‌ දැඩි ලෙස තුවාල ලැබූ තුන්වැනි වතාවේදී මරණය අභියසට ගොස්‌ රටේ වාසනාවට ජීවිතය බේරා ගත් විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ විත්ති වාචිකයේදී ඔහුගේ හමුදා ජීවිතය පිළිබඳව පැවසූ වදන් වලට දැඩි අවධානය යොමු කරන ලෙසට ඉල්ලා සිටියේය.

මෙම නඩුව ද වචන මත පවත්නා නඩුවක්‌ හෙයින් ඔහුගේ සෑම වචනයක්‌ම පිළිගන්නා ලෙස ද නඩු විභාගයේදී වැදගත්ම තහවුරු කර ගැනීමක්‌ කර ගත හැකි ලාල් වික්‍රමතුංග මහතා පැමිණිල්ලේ සාක්‌කිකරුවකු ලෙස කැඳවනු නොලැබීම සැකයට බඳුන් වන්නක්‌ බැවින් එම සැකයේ වාසිය විත්තියට ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි ලද්දුවහෙට්‌ටි මහතා සන්ඩේ ලීඩර් පුවත්පත විත්තිකරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්‌ථාවේ උදව් කිරීමට තීරණය කර තිබූ බවට දන්වා සිටියද විත්තිකරුගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයා වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් ද ඔවුන් මුද්‍රණය කළ බවට තහවුරු වී ඇතැයි කීවේය.

වැරැදිකරුවන් දහසක්‌ නිදහස්‌ වුණාට කමක්‌ නෑ. ඒත් නිවැරැදිකරුවෙක්‌ වැරැදිකරුවෙක්‌ කළහොත් එය ඉතා හාස්‍යජනක බවත්, නිවැරැදිකරුවන් වැරැදිකරුවන් නොකරන ලෙසට එංගලන්ත විද්වතකු වූ බ්ලැක්‌ ස්‌ටෝන් සාමිවරයා වරක්‌ ප්‍රකාශ කර ඇති බව ද කියා සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා රටේ සිටින එකම තරු හතරක ජෙනරාල්වරයකු වන යුද වීරයා ලෙස සම්මානයන්ට පාත්‍ර වූ විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් වූ සාක්‌කි හා නඩුවට අදාළව ඔහු කළ ප්‍රකාශ පිළිගන්නවාද……. උසාවියට බොරු කියූ, අපහාස කළ ජෑන්ස්‌ සාක්‌කිකාරියගේ සාක්‌කි පිළිගන්නවාද කියා අධිකරණය තීරණය කළ යුතු බව අවධාරණය කළේය.

සුදු කොඩි නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ තීන්දු තුනෙන් දෙකට බෙදුණු එකක්‌ වූ අතර විනිසුරුවරුන් දෙදෙනෙක්‌ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු චෝදනාවට ඔහු වැරදිකරු බවට තීරණය කළ අතර අනෙක්‌ විනිසුරුවරයා ඔහු නිවැරදිකරු කරමින් සියලු චෝදනාවලින් නිදොස්‌කොට නිදහස්‌ කර හැරිය යුතු බවට ප්‍රකාශ කළේය.

සභාපති විනිසුරු දීපාලි විඡේසුන්දර මහත්මිය හා එච්. ඉසෙඩ් රාශින් මහතා සරත් ෆොන්සේකා මහතා පළමු චෝදනාවට වැරදිකරු කරමින් ඒ මහතාට වසර තුනක සිර දඬුවමක්‌ හා රුපියල් 5000 දඩ මුදලක්‌ නියම කළ අතර දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක අමතර සිර දඬුවමක්‌ පනවන ලෙසට නියෝග කළේය.

සමන්ත ඉලේපෙරුම
පින්තූර-කමල් බෝගොඩ

Protected by Security by CleanTalk